දැනගෙන වළකමු පියයුරු පිළිකා

ඔක්තෝම්බර් මාසය විශ්ව පියයුරු පිළිබඳ දැනුවත් කිරීමේ මාසය ලෙස නම්කර ඇත.
ඔක්තෝබර් 11, 2024

ශ්‍රී ලංකාවේ කාන්තාවන්ට වැලඳෙන පිළිකා අතරින් බහුලම පිළිකාව පියයුරු පිළිකාවයි. පිළිකා අතරින් සියයට විසිපහක්ම අයත් වන්නේ පියයුරු පිළිකාවටයි. මේ පියයුරු පිළිකාව මාරාන්තික වුවත්, කල්තියා හඳුනාගැනීමෙන් ප්‍රතිකාර කළහොත් සම්පූර්ණයෙන්ම සුවපත් කරගත හැකිය. කාන්තා රූ සපුව වඩාත් ඔපවත් කරන ජීවිතයක් රැකදෙන පියයුරු කාන්තා සිරුරේ අනර්ඝම නිමැවුමකි. එය නිරෝගීව තබාගැනීම කාන්තාවන් වූ ඔබ සැමගේ වගකීමයි. ඒ සඳහා ඔබ විසින්ම සුදුසු පරිදි ක්‍රියා කළ යුතු ය.

පියයුරු පිළිකාවක් වැලඳීමට හේතු වන්නේ ජානවල සිදුවන යම් යම් අසාමාන්‍ය තත්ත්වයන්ය. පියයුරුවල ගැටිත්තක් ඉදිමීමක් හැඩයේ වෙනසක් හෝ පෙනුමේ වෙනසක් තන පුඩුවක් ගිලීයාමක් හෝ පියයුරුවල වළගැසීමක් පියයුරු මතුපිට සම තුළ දදයක්, තුවාලයක්, දොඩම් ලෙල්ලක පෙනුමක් තන පුඩුවෙන් කිරි නොවන යම් ද්‍රාවණයක් පිටවීම හෝ පියයුරට දැනෙන අසාමාන්‍ය වේදනාවක් වේ නම් ලැජ්ජාව නිසා එය සඟවාගෙන නොසිට වහාම වෛද්‍යවරයකුගෙන් උපදෙස් ලබාගත යුතුය. පියයුරු පිළිකාවක් වැලඳීමට හේතුවන්නේ ස්ත්‍රියක්වීම, වයස්ගතවීම, ලේ නෑයෙකුට හෝ ඩිම්බකෝෂ පිළිකාවක් වැලඳී තිබීම යන කරුණුය. ඊස්ට්‍රජන් හෝමෝනයට දීර්ඝකාලයක් නිරාවරණය වීම. අවුරුදු දොළහට ප්‍රථම වැඩිවියට පත්වීම හෝ අවුරුදු පනස්පහ පසුවනතුරු අර්තවහරණය සිදු නොවීමත් ය. මේ අතර ප්‍රවේණික හේතුවලින් පියයුරු පිළිකාව ඇතිවන්නේ සියයට පහක් දහයක් අතර සංඛ්‍යාවකටය. ඉන් වැඩි සංඛ්‍යාවකට අයහපත් චර්යා සහ පාරිසරික හේතු ප්‍රධාන වේ.

අවුරුදු විස්සට වැඩි සෑම කාන්තාවක්ම මාස තුනකට වරක්වත් ස්වයං පියයුරු පරීක්ෂාවක් මඟින් තමන්ගේ පියයුරුවල මෙහි සඳහන් කොට ඇති වෙනස්කම් ඇද්දැයි පරීක්ෂා කරගත යුතු ය. එසේ සොයාබැලීමේ දී පියයුරක යම් වෙනසක් ඇති බව පෙනී ගියේ නම් වහාම පවුල් සෞඛ්‍ය නිලධාරිනියකට, වෛද්‍යවරයකුට හෝ සුවනාරී සායනයකට යෑමෙන් උපදෙස් ලබාගත හැකිය. පියයුරු යම් හේතුවක් නිසා පිළිකා තත්ත්වයකට පත්ව ඇත්නම් ඒ සඳහා කඩිනමින් ප්‍රතිකාර ලබාගත යුතුය. දැන දැනත් එයට ප්‍රතිකාර නොකළහොත් පසුවන විට පියයුරු පිළිකාව ශරීරය පුරා විහිදී ඉතා භයානක තත්ත්වයක් උද්ගත වේ.

සෑම කාන්තාවකටම තම පියයුරු ස්වයං පරීක්ෂණයකට ලක්කොට එහි පවත්නා තත්ත්වය ගැන තේරුම්ගත හැකිය.

පළමුව අතේ ඇඟිලි එක්කොට ඇඟිලිවලින් පියයුරු පිරිමදිමින් පරීක්ෂා කරන්න. පියයුරෙහි සමට යටින් පවතින නම් වෙනස් වීමක් ඇද්දැයි විමසිලිමත්වන්න.

වම් අත දකුණු පියයුරටත් දකුණු අත වම් පියයුරටත් තබමින් පරීක්ෂා කරන්න.

පියයුර පිට පැත්තේ සිට තනපුඩුව දක්වා අත තදකරමින් පරීක්ෂා කරන්න.

අනතුරුව කිහිල්ලද පරීක්ෂා කරන්න. මහපටඟිල්ල හා දබරඟිල්ලෙන් තනපුඩුව සෙමෙන් මිරිකා ලේ හෝ වෙනත් ශ්‍රාවයක් පිටට එන්නේ දැයි බලන්න.

ස්නානය කරන විටදී මෙන් ඇඳක හාන්සි වී පියයුරු දෙස විමසිලිමත්ව බලන්න.

දකුණු උරහිසට යටින් කොට්ටයක් තබා දකුණු අල්ල මත හිසතබාගෙන වම් අතින් දකුණු පියයුර පරීක්ෂා කරන්න.

පසුව වම් උරහිසයටින් කොට්ටය තබා වම් අල්ල මත හිස තබාගෙන දකුණු අතින් වම් පියයුර පරීක්ෂා කරන්න.

සෑම මසකට වරක්ම මාස් ශුද්ධියෙන් සතියකට පසුවද මාස්ශුද්ධිය නතර වූ අය මාසයේ කිසියම් නියමිත දිනෙක පියයුරු පරීක්ෂා කිරීමට අමතක නොකළ යුතු ය.

පියයුරුවල අසාමාන්‍ය වේදනාවක් පවතින්නේ නම් වහාම පවුල් සෞඛ්‍ය නිලධාරිනිය හෝ වෛද්‍යවරයකුට ඒ බව පවසා අවශ්‍ය ප්‍රතිකාරවලට යොමුවන්න.

පියයුරු පිළිකාවක් ඇති වුවහොත් එහි වර්ධනය ද ඉක්මන් වේ. පියයුරු පිළිකාව ඉතා අවදානම් තත්ත්වයක පවතින්නේ නිසි ප්‍රතිකාරවලට යොමු නොවීම නිසාය. අවුරුදු විස්සට වැඩි සෑම කාන්තාවක්ම මාස තුනකට වරක් ද අවුරුදු හතළිහට වැඩි කාන්තාවන් මාසයකට වරක් ද ස්වයං පරීක්ෂණයක් කිරීම වැදගත් ය.

මෙහිදී නිවෙසේ ආවරණය වූ කාමරයකට ගොස් උඩුකය සම්පූර්ණයෙන් නිරාවරණයකොට කැඩපතක් ඉදිරියට ගොස් පියයුරු දෙස බැලීමෙන් යම් වෙනසක් ඇතොත් තේරුම්ගත හැකිය. තරුණ වියේ පසුවන කාන්තාවන්ට වඩා වයසට පත්වන කාන්තාවන්ට පියයුරු පිළිකා වැළඳීමේ ඉඩ වැඩි බව සනාථ වී ඇත. පියයුරු පිළිකා කලින් හඳුනා ගැනීමෙන් කරනු ලබන මූලික ප්‍රතිකාර මඟින් සුවපත් කරගත හැකිය. එහෙත් විශාල පිරිසක් මිය යන්නේ ඒ පිළිබඳ නොදැනුවත්කම හේතුවෙනි. වයස හතළිහත්, සැත්තෑවත් අතර වූ කාන්තාවන් අවුරුදු දෙකතුනකට වරක් හෝ පියයුරු ස්වයං පරීක්ෂණකට ලක්කර ගැනීම වඩාත්ම සුදුසුය. මේ වන විට පියයුරු පිළිකාවලට ලක් වූ කාන්තාවන්ගෙන් සියයට පණහක්ම වයස අවුරුදු පණහට අඩු කාන්තාවන් බව හෙළි වී තිබේ.

අර්තාවරණයෙන් පසුව අධික ලෙස තරබාරුවීම හෝර්මෝන ප්‍රතිස්ථාපන ප්‍රතිකාර දීර්ඝ ලෙස ගැනීම, දුම්පානය කිරීම, ව්‍යායාම නොකිරීම, මධ්‍යසාර ගැනීම මෙන්ම දරුවන් නොමැතිවීම නිසා මවුකිරි නොදුන් කාන්තාවන්ටද පියයුරු පිළිකා වැළඳීමේ අවදානම් තත්ත්වය වැඩිවී ඇත. ගර්භාෂයෙන් මෙලොවට බිහිවෙන සිඟිති දරුවාගේ දිවි රැකුමට මෙන්ම සිරුරේ වර්ධනයට ප්‍රධාන වූ ආහාරය වන මව්කිරි සපයනු ලබන පියයුරු කාන්තා ජීවිතයේ රූසපුව ඔබවත් කරන අගනාම ඉන්ද්‍රියයකි. එය ආරක්ෂාකාරීව පිරිසුදුව තබාගැනීමට උනන්දු විය යුතුය. එසේ නොවුවහොත් සිදුවන්නේ ජීවිතය කෙටිකරන පියයුරු පිළිකාවෙන් මියයෑමටය.

පිළිකාවක් එක සෛලයක න්‍යෂ්ටියේ ඇතිවන වෙනසකින් වුව ඇති විය හැකිය. මෙය එක් රෝගයක් නොවන අතර විවිධ රෝග රැසකට හේතුවකි. පිළිකා පිළිබඳ පර්යේෂණවලින් සොයාගෙන ඇත්තේ ලෝකයේ අඩුම පිළිකා තත්ත්වයට පත්ව ඇත්තේ නිර්මාංශ ආහාරවලට යොමුවූවන් බවයි. සමහර වෛද්‍ය වාර්තා පෙන්වා දී ඇත්තේ කාන්තාවන්ට හට ගැනෙන පිළිකාවලින් සියයකට හැටකටම හේතු වී ඇත්තේ ආහාර හේතූන් බවයි. සමහර කාන්තාවෝ රැකියාව නිම වී නිවසට ආ විගසම තද හිසේ කැක්කුම තුනටියේ වේදනාව කියා ඇඳක දිගා වී සිටීමට පුරුදුව සිටිති. එවැනි අය බලා නොසිට වෛද්‍ය උපදෙස් ලබාගැනීමට කටයුතු කළ යුතුය. කලක සිට පවතින කැස්ස, කටහඬ වෙනස්වීම සුවනොවන තුවාලයක් තිබීම ඉන්නන් ලප ඇතිවීම, මල මුත්‍රා සමඟ ලේ පිටවීම, අජීර්ණතාවයක් පැවතීම ආදී ලක්ෂණ පිළිකා තත්ත්වයක් ඇතිවීමේ ලක්ෂණ විය හැකිය. එබැවින් එවැනි ලක්ෂණ පවතී නම් වෛද්‍ය ප්‍රතිකාරවලට යොමුවීම වඩාත්ම වැදගත්ය.

ආයුර්වේද වෛද්‍ය

මැණික් නේරංජනා හෙට්ටිආරච්චි

සටහන - බී.ඇල්. ප්‍රේමරත්න 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 11 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.