සුබසෙත සුවසෙත

ඔක්තෝබර් 11, 2024

එස්.ඒ.එස්. ලක්දාස් - කොට්ටාව

ප්‍රශ්නය

මගේ දහසය හැවිරිදි දරුවා පාසල් සිසුවකි. ඉඳහිට උගුරේ බැරැන්ඩි ගතියක් පවතින අතර සෙමපටලැවෙන තත්ත්වයක් ද ඇත. සමහර වේලාවට ඇස් රිදෙන බව පවසන අතර ඇස්වලින් කඳුළු ගැලීමක්ද සිදුවේ. ආහාර ගැනීමටද මැළිකමක් දක්වන ඔහු හිස රිදෙන බවක් ද පවසයි. මේ රෝගී තත්ත්වය ගැන සැලකිලිමත් වී යම් උපදෙසක් හෝ ප්‍රතිකාරයක් ලබාදෙන මෙන් ඉල්ලමි.

පිළිතුර - රෝග ලක්ෂණ සඳහන් කර ඇතත් ළමයාගේ වයස් සීමාව අනුව ප්‍රතිකාර ලබාදිය යුත්තේ ළමයා පරීක්ෂා කිරීමෙන් පසුවය. මේ ළමයාට වැළඳී ඇත්තේ පීනස් රෝගයයි. පීනස් රෝග දහඅටක්ම ආයුර්වේදයේ පෙන්වා දී ඇති බැවින් කුමන පීනස් රෝගයක්ද කියා නිගමනය කළ හැකිවන්නේ රෝගියා පරීක්ෂා කිරීමෙන් පසුවය. දෛනික ජීවිතයේ දී පීනස් රෝගයක් ඇතිවීමට බොහෝ හේතූන් ඇත. නාස් පුඩුවලට දුම්, දූවිලි, පිවිසීම නිතර ශීත ජලය ස්නානය කිරීම, තෙතමනයේ සිටිම හා වැස්සට පින්නට අසුවීම වායු සමීකරණ ආශි‍්‍රතව සිටීම, කල්ගත වූ සෙම්ප්‍රතිශ්‍යාව තිබීම ආදී කරුණු ද හේතුවේ. පීනස් සුවයට ආයුර්වේද ප්‍රතිකාර විධි බෙහෙවින් උපකාරී වේ. එබැවින් ආයුර්වේද වෛද්‍යවරයකු වෙත ගොස් ළමයා පෙන්වා ප්‍රතිකාර ලබා ගන්න.

 

එල්.කේ. ලිලානි - මාම්පේ

ප්‍රශ්නය -

වෛද්‍යතුමනි, දහතුන් වියැති මගේ දියණිය පාසල් ශිෂ්‍යාවකි. ඇය දිනපතා පාසලට යන්නේ සුදු මේස් දෙකක් දමා සපත්තු දා ගෙනය. එසේ පාසලට ගොස් ගෙදර පැමිණි වහාම සපත්තු දෙක ගලවනවා. විනාඩි කීපයක් යන විට යටි පතුල කැක්කුම් දෙනවා. කටුවකින් අනිනවා වාගේ දැනෙනවා. හිරි වැටෙනවා කියා පවසනවා. වැස්සට සපත්තු දෙක තෙමෙන නිසා අපිරිසුදුවීමෙන් මෙසේ විය හැකි යැයි කියා සපත්තු දෙක සෝදා මේස් ද පිරිසුදු කර දමන්න දුන්නා. ඒත් ඒ තත්ත්වය අඩු වුණේ නැහැ. සපත්තු නොදා ඉන්න කොටත් මේ වේදනාව ඇතිවන බව කියනවා. සුදුසු බෙහෙත් ප්‍රතිකාරයක් ලබා දෙන මෙන් ඉල්ලා සිටිමි.

පිළිතුර

යටිපතුලේ වේදනාව හටගන්නේ ශරීරගතව ඇතිවන යම් රෝගී තත්ත්වයක් හේතුවෙනි. පාදය වෙහෙසට පත්වීම, පාදයට යම් උෂ්ණත්වයක් ඇතිවීම, පාදය හිරවන අයුරින් තදවන සේ පාවහන් පැලඳීම, ඇඟිලි තදට හිරවනසේ පාවහන් දමා ඇවිදීම හා පාවහන් පැලඳ සිටීම නිසාත් යටිපතුලේ වේදනාව ඇතිවිය හැකිය. පාවහන් දමා උස් ස්ථානවලට යෑම හා කඳු හා සමාන ස්ථානවලට යෑම නිසාත් යටි පතුලේ වේදනාව ඇතිවේ. සපත්තු දමා ඇවිදීමේදී තෙතබරින් යුත් සපත්තු නොපැලඳිය යුතුය. නිතරම වියළී ගිය පාවහන් පැළඳීමෙන් කකුලට පාදයට සුවයක් ඇතිවේ. පාවහන් දමා යම් ගමනක් ගොසින් පැමිණි විට පාදයේ ඇඟිලි හා යටිපතුල තෙත් ගතියෙන් ඇත්නම් උණුවතුරෙන් පාදය සෝදාගැනීමෙන් සුවයක් ලැබේ. රෝගී තත්ත්වයක් පැවතිය හැකි බැවින් වෛද්‍යවරයකුට පවසා වැඩි ප්‍රතිකාරයක් ගැනීම සුදුසුය.

 

සිරියාවතී පෙරේරා - බෙන්ගමුව

ප්‍රශ්නය

වෛද්‍යතුමනි, මගේ පියාගේ වයස අවුරුදු පනස් හයකි. ඔහු තවමත් නිවෙස්වල පින්තාරු වැඩට යනවා. දැනට සතියක දෙකක විතර කාලයක සිට රෑට පමණක් කැස්සක් ඇතිවෙනවා. මෙය බොහෝ විට ඇතිවන්නේ නින්දේදී. රෑට ඇඟ තෙමෙන ප්‍රමාණයට දහඩියත් දමනවා. රෑට කැස්ස ආවාම සෙම ගතියත් තියෙනවා.

පිළිතුර

සඳහන් රෝග ලක්ෂණ දී ඇති විස්තරය අනුව නම් ප්‍රතිකාර නියම කළ හැකි වන්නේ සෙම පරීක්ෂා කිරීමෙන් පසුවයි. එබැවින් ලේ මුත්‍රා පරීක්ෂා කරන ස්ථානයකට සෙම රැගෙන ගොස් පරීක්ෂා කර ප්‍රතිකාරවලට යොමුවන්න. පිරිසුදු කුඩා බෝතලයකට (කුප්පියකට) රැගෙන යන්න.

 

සේනක පිළපිටිය

ප්‍රශ්නය

වෛද්‍යතුමනි, මම පනස්හතර හැවිරිදි විවාහකයෙකි. පාපැදියෙන් ගොස් බඩු අලෙවි කිරීමේ නියැළී සිටින මා හට ආහාරගත් සැනින් වැසිකිලියාමේ තත්ත්වයක් පවතී. සමහරදාට කෑම කා අත සෝදාගත් සැණින්ම එසේ යාමට සිදුවේ. වෛද්‍යතුමනි, ප්‍රතිකාරයක් කියන්නේ නම් ඔබට පින්.

පිළිතුර

කෑ සැටියේ වැසිකිළියෑම රෝගයක්. මේ රෝග තත්ත්වයේ දී බඩපුරවා දැමීම, බඩ තුළ ගුඩු ගුඩු ගාන ශබ්දයක් ඇසීම, ක්ලාන්තය වගේම ඔක්කාරයද ඇතිවිය හැකියි. පිපාසය නිතර නිතර දැනීම වගේ අලස බවද ඇතිවේ. මෙවැනි රෝගවලදී රෝගියා සමඟ සාකච්ඡා කර බලා සුදුසු ප්‍රතිකාර ලබා දිය යුතු ය. එබැවින් ආයුර්වේද වෛද්‍යවරයකු වෙත ගොස් ප්‍රතිකාර ලබා ගැනීම සුදුසුයි.

 

ජනිතා වික්‍රම - අලව්ව

ප්‍රශ්නය

වෛද්‍යතුමනි,

මගේ දහතුන් හැවිරිදි දරුවා පාසල් ශිෂ්‍යයෙකි. දැනට සතියක පමණ කාලයක සිට පාසලට යන්න සූදානම් වෙලා හිස කකියනවා මට හරිම කම්මැලියි. බඩ රිදෙනවා යනකොට කකුල් දෙකත් රිදෙනවා. ටීචර් පාඩම් කියා දෙනකොට නින්ද යනවා. වාඩිවෙලා ඉන්න කොට පිටත් රිදෙනවා. වමනෙට වගෙත් එනවා කියමින් රෝගාබාධ රැසක්ම පවසනවා. උදේ පාසල් යන්න ලෑස්ති වෙලා මෙහෙම කියන කොට අප සිතුවේ බොරු ලෙඩ අරගෙන ගෙදර ඉන්න හදනවා කියලයි. දින දෙක තුනක් තරවටු කරගත් ඉස්කෝලෙට යැව්වා. නමුත් පන්තියේ ටීචර් ලිපියක් ළමයට දීල එවා තිබුණා ළමයට ලෙඩක් තියෙනවා බෙහෙත් අරන් දෙන්න කියලා. වෛද්‍යතුමනි මේ ගැන පිළිතුරක් බලා සිටිමි.

පිළිතුර

බොහෝ පාසල් දරුවන් මෙවැනි රෝග ලක්ෂණ දන්වනවා. දරුවන් මේ තත්ත්වයට පත්වන්නේ දෙමාපියන්ගේ නොසැලකිලිමත්කම නිසයි. පාසලට යන දරුවන්ට, උදේට පෝෂණීය කෑම වේලක් ලබා දිය යුතුයි. එය සිදුවන්නේ නැහැ. දරුවා අතට මුදල් දී කැන්ටිමෙන් මොනවහරි කන්න කියනවා, දරුවා මොකද කරන්නේ අන්නාසි, අච්චාරු, ලොවි, අඹ ගැට, ඇඹරැල්ලා වගේ දේවල් අරගෙන කනවා අතේ සල්ලි තියෙන නිසා පාසල් නිමවී එන විට අයිස්පලම්, අයිස්චොක් කූල්බීම ජාති වගේම ටොෆි, චොක්ලටුත් කනවා. එපමණක් නොවෙයි කූල්බීමත් බොනවා. මේ නිසා බඩේ දැවිල්ල, බඩේ රිදුම මළපහ කිරීමේ අපහසුතාවය වගේම ඉහත සඳහන් රෝග ලක්ෂණ ඇතිවෙනවා.

පවතින රෝගී තත්ත්වයෙන් නිදහස් කර ගැනීමට නම්, පාසලට යෑමට පෙර උදේ ආහාරයට මුංඇට, කවුපි, තම්බා කෑමට දෙන්න. කොළකැඳ කෝප්පයක් බීමට දිය හැකි නම් වඩාත්ම ගුණදායකයි. රතු කැකුළු බත්, ඉඳිආප්ප වඩාත් සුදුසුයි. තෙල්බැදුම් කෑම සීමා කළ යුතුයි. වැඩි මිරිස් යොදා තෙල් වැඩි ආහාර නොදිය යුතුය. උෂ්ණාධික ආහාර වගේම කෝපි පානය ද තක්කාලි, අන්නාසි, අච්චාරු දෙහි, දොඩම්, මිශ්‍ර ආහාරත් නොදිය යුතුයි. කැකුළු සහල්බත්, වැටකොළු, පතෝල, පිපිඤ්ඤා, මුකුණුවැන්න, ගොටුකොළ, නිවිති යන පළා වර්ගත් හාල්මැස්සන් හෝ පරා වැනි මාළුත් ඇඹුල් කෙසෙල් ගෙඩිත් ගුණදායකය.

 

කේ.ජී.ඒ. මහවඩුගේ - කොස්ගොඩ

ප්‍රශ්නය

වෛද්‍යතුමනි

මගේ පියාගේ වයස අවුරුදු හැට අටකි. ශක්ති සම්පන්නව හොඳට කා බී එහෙ මෙහෙ ඇවිදිමින් සිටියා. පසුගිය දිනක රාත්‍රි ආහාර ගෙන නින්දට ගියා. හැම දිනකම අලුයම හතරට, පහට අවදිව මිදුලේ සක්මන් කිරීම සිරිතක්. එදින ඔහු අවදි නොවූ නිසා පෙරවරු හයට පමණ කෝපි කෝප්පයක් දෙන්න කතා කළා. එවිටයි දැක්කේ ඇදේ මූත්‍රා ගොස් ඇති බව. ඒ වගේම කතා කරගන්නත් බැහැ. කටේ සෙම පිරිලා. ඒ වෙලාවෙ දැක්කා පණ නැති ගතියක්. ප්‍රතිකාරයක් ගන්න සූදානම් වන විට මෙන්න යථා තත්ත්වයට පත්වෙලා. ඔහුම ඇඳේ වාඩිවෙලා හොඳට කතා කළා. වෛද්‍යතුමනි නැවතත් මගේ පියා මේ තත්ත්වයට පත්වේද? ප්‍රතිකාරයක් ලබාදෙන්න.

පිළිතුර

ඔබ පියාට පෙන්නුම් කර ඇත්තේ පක්ෂාගාත රෝග ලක්ෂණයයි. එබැවින් නැවත රෝගය ඇතිවන තෙක් බලා නොසිට සුදුසුකම්ලත් වෛද්‍යවරයකු වෙත ගොස් ප්‍රතිකාර ලබා ගන්න. දුම්පානය, මත්පැන් භාවිතය, බුලත් කෑම ආදීන්ගෙන් ඉවත්විය යුතුය. ඔබ නොදැනුවත්ව සිටියත් ඔබ පියාට අධික කොලෙස්ටරෝල්, දියවැඩියාව, අධික රුධිර පීඩනය ආදී රෝග පවතින්නට ඇති. වෛද්‍ය උපදෙස් මත කටයුතු කරන්න. රෝගය ඇතිවීමට බලපාන කරණු ගැන අවබෝධයෙන් කටයුතු කිරීමෙන් එය පාලනය කර ගත හැකිය.

 

එච්. නන්දලාල් - වාද්දුව

ප්‍රශ්නය

වෛද්‍යතුමනි, මම තිස්අට හැවිරිදි සාමාන්‍ය රැකියාවක නියුතු අයෙකි. මට ප්‍රශ්නයක් වී ඇත්තේ කෑම කෑ හැටියේම වැසිකිලියට යාමට සිදුවීමයි. සමහරදාට හය හත්වතාවක්ම බඩඑළිය යනවා කොහොම බඩඑළිය ගියත් බඩගින්නක් දැනෙන්නේ නැහැ. සමහරදාට බඩ පෙරළෙනව බඩපුරවා දැමීමත් ඇති වෙනවා. මගේ ශරීරය වෙනදාට වඩා කෙට්ටු වන බවත් දැනෙනවා. සමහර වෙලාවට කාස්ඨක වෙලත් යනවා. වෛද්‍යවරයකු හමුවී ප්‍රතිකාර ගත්තත් සුවයක් නැහැ. එබැවින් සුදුසු ප්‍රතිකාරයක් ලබා දෙන්න.

පිළිතුර

මුලින්ම සඳහන් කළ යුතු වන්නේ ආයුර්වේද වෛද්‍යවරයකුගෙන් ප්‍රතිකාර ලබා ගන්නා ලෙසයි. එතෙක් බෙලිගැට මද, ඉඟුරු, කලාදුරු අල අතිවිඩයන් කෙළිද පොතු හා ඇට කෂාය පත අට එකට සිඳ බීම ගුණදායකයි. ආයුර්වේද වෛද්‍යවරයාගේ නියමය පරිදි කෑම බීම හා ප්‍රතිකාර ලබා ගැනීමෙන් අපහසුවකින් තොරව රෝගය සුවපත් කර ගත හැකියි.

 

සමන්තා එල්. ගුණසේකර - පානදුර

ප්‍රශ්නය

වෛද්‍යතුමනි,

පාසල් යන මගේ දියණියගේ වයස අවුරුදු එකොළහක්. ඇයගේ පෙර තිබුණ ශරීර ශක්තිය නැතිව දුර්වල වෙලා නිතරම හිස කැරකැවෙනවා කියනවා. පාසලේ උඩ තට්ටුව පියගැට පෙළින් නඟින විට තද වෙහෙසක් දැනෙනවාලු. ටික වෙලාවක් පියගැට පෙළේ නැවතී ඉඳලලු පඩි නගින්නෙත්. ටික දුරක් හෝ ඇවිදගෙන යන්නත් බැරිලු හරිම මහන්සියිලු. ඉගෙනීමට තිබුණ දක්ෂතාවයන් දැන් දැන් අඩුවෙමින් පවතිනවා මේ තත්ත්වය නැතිකර ගැනීමට ප්‍රතිකාරයක් ලබා දෙන්න.

පිළිතුර

ලබාදී ඇති විස්තරය අනුව නම් පෙනෙන්නේ ඔබේ දරුවාට මන්දපෝෂණය තත්ත්වයක් පවතින බවයි. මේ තත්ත්වයට පත්වන්නේ වැරදි ආහාර පුරුදු අනුවයි. මේ තත්ත්වයට හේතු රැසක්ම බලපානවා. දරුවන්ට ක්ෂණික ආහාර ලබාදීමත් තෙල්බැදුම් සහිත ආහාර ලබාදීමත් ඉතාම අහිතකරයි. ආහාරයට සාරණ, ගොටුකොළ, නිවිති, මුරුංගා, කතුරුමුරුංගා, තම්පලා ලබාදීම ඉතාම ගුණදායකයි. නැවුම්, එළවළු ඉතාම ගුණදායකයි. බෝංචි, සෝයාංබෝංචි, කඩල, මුංඇට, කවුපි, උඳු, සෝයාමීට් වැනි ආහාර වර්ගත් බිත්තර හා කිරි ද වඩාත්ම ගුණදායකයි. අභ්‍යන්තරවද රෝග රැසක් පැවතිය හැකි බැවින් ආයුර්වේද වෛද්‍යවරයකු වෙත ගොස් ප්‍රතිකාර ලබා ගන්න.

 

ඡ්‍යොතිෂවේදී - බී. ඇල්. ප්‍රේමරත්න

ආයුර්වේද වෛද්‍ය සුමිත් රාජපුර 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 10 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.