මැණික් වුණත් පලඳින්නේ බලාගෙනයි

ඔක්තෝබර් 11, 2024

ග්‍රහ අපල දුරුවීමට කළයුතු වත්පිළිවෙත් ඡ්‍යොතිෂ් ශාස්ත්‍රයෙහි පැහැදිලිව දක්වා ඇත. ආගමානුකූලව ජීවිතය ගත කිරීම, බෝධිපූජා, දේව පූජා සහ ග්‍රහ පූජාවන් පැවැත්වීම, බලි ශාන්තිකර්ම ඉටුකිරීම, ග්‍රහ දාන පිරිනැමීම, දෙවියන්ට බාරහාර වීම, ඖෂධ වර්ග මිශ්‍ර ජලය ස්නානය කිරීම, විවිධ මල් පූජා කිරීම, යන්ත්‍ර පැලඳීම ග්‍රහයන්ට හිමි වෘක්ෂලතාවලට සාත්තු කිරීම, මැණික් වර්ග, ශරීරයට ස්පර්ශ වනසේ පැලඳීම ඉන් කිහිපයකි.

මේ ලිපිය මගින් ඔබ දැනුවත් කිරීමට බලාපොරොත්තු වන්නේ මැණික් ගල් පැලඳීම පිළිබඳවයි. පෙර කල විසූ රජ දරුවන්, ප්‍රභූ නායකයන් තමන් වාඩි වූ ආසනවල, හිස පැලඳි ඔටුනුවල, තමන් භාවිත කළ අසිපත්වල මැණික් ගල් සවි කළ බව පතපොතේ සඳහන් වෙයි. එසේ කළේ තම පෞරුෂය, අභිමානවත් බව විදහා දැක්වීම සඳහා පමණක් නොව තමන්ට අනුශාසනා කළ රාජකීය ඡ්‍යොතීර්වේදීන්ගේ උපදෙස් මත ග්‍රහ අපල දුරුකර යහපත උදාකර ගැනීම සඳහා බව ද සිතිය හැකිය.

වර්තමානයේ බොහෝ රටවල විශාල ධනවතුන් කෝටි ගණන් වටිනා මැණික් වර්ග තමන්ගේ විශාල මන්දිරවල ආරක්ෂා සහිතව තබා ගන්නේ තම ධනවත්භාවය ප්‍රකාශ කිරීමට මෙන්ම සෞභාග්‍යවත්භාවය වැඩිදියුණු කිරීම සඳහාය.

එසේ වුවත් මැණික් ගල් පැලඳීම තම අභිමතය පරිදි සිදුකළයුතු දෙයක් නොවේ. එසේ කිරීමෙන් තම බලාපොරොත්තු ඉටු නොවන අතර අනිටු ප්‍රතිඵල ද ලැබිය හැකිය. ජන්ම පත්‍රයක තත්කාලීන අශුභ ග්‍රහයන්ට හෝ මාරක බාධක ග්‍රහයන්ට හෝ ගැළපෙන මැණික් පැලඳීම නොකළ යුතු ය. එසේ කිරීමෙන් ශුභඵල අත් නොවේ. මැණික් පැලඳීමේදී ජන්මපත්‍රය හිමි අයගේ ශාරීරික දෝෂ පිළිබඳවද (වාතය, පිත, සෙම) සැලකිලිමත් විය යුතු ය. ශාස්ත්‍රානුකූලව මැණික් පැලඳීමෙන් තුන් දොස් සමනය වන අතර මෙයට පටහැණිව ක්‍රියා කිරීමෙන් තුන් දොස් කිපී බලවත් රෝග තත්ත්වයන් උදාවිය හැකි ය.

සිසිල් ගුණයෙන් යුත් මැණික් වර්ග හා ඌෂ්ණ ගුණයෙන් යුත් මැණික් වර්ග වශයෙන් මැණික් වර්ග කොටස් දෙකකට බෙදිය හැකිය. පුෂ්පරාග, පච්ච, තෝරමල්ලි, සුදු නිල, කාක නිල, ගෝමේද සහ මුතු සිසිල් ගුණයෙන් යුත් මැණික් වර්ග වේ. මෙයින් කාක නිල අධික ශීත ගුණයෙන් යුක්තය. රතුකැට, කොරල්, වෛරෝඩි, පද්මරාග, ඌෂ්ණ ගුණයෙන් යුක්තය. එක් එක් ග්‍රහ අපලවලදී පැලඳිය යුතු මැණික් ගැන ද දැනුමක් ලබා ගැනීම ඉතා වැදගත් ය. පද්මරාග රවිගේ අපලය සඳහා ද, මුතු සඳුගේ අපලය සඳහා ද කොරල් සහ රතුමැණික් කුජගේ අපලය සඳහා ද පච්ච, තෝරමල්ලි බුධගේ අපලය සඳහා ද, පුෂ්පරාග ගුරුගේ අපලය සඳහාද, දියමන්ති සහ සුදු මැණික් සිකුරුගේ අපලය සඳහා ද, නිල් මැණික් සහ කාක නිල සෙනසුරු අපලය සඳහා ද, ගෝමේද රාහුගේ අපලය සඳහා ද, වෛරෝඩි කේතුගේ අපලය සඳහා ද සුදුසු බව ඡ්‍යොතිෂ නියමයයි.

මුතු පැලඳීම විශේෂයෙන් කාන්තාවන්ට සුබයි. ස්ත්‍රී ගුණාංග, ලාලිත්‍යය, සුන්දර බව ඉන් ඔප්නැංවේ. අධ්‍යාපන කටයුතු සපලවීමට පොතපත කෙරෙහි ආශාව ඇතිවීමට ගෝමේද පැලඳීම ශුභයි. පද්ම රාග පැලඳීමෙන් අධික රුධිර පීඩනය ආදී ශරීරයේ ලේ ධාතුවට සම්බන්ධ අසනීපවලට සුවය ලැබේ. කාකනිල, නිල් මැණික් පැලඳීමෙන් නීති ප්‍රශ්නවලින් මිදීමට පුළුවන. මුත්‍රා දෝෂ හමේ රෝග ආදියට ද සුදුසු ය. පිළිකා මර්දනය සඳහා වෛරෝඩිය පැලඳීම ශුභයි. නිතර කෝපවන, අකීකරු හා කලහකාරී බවෙන් යුක්ත අයට වෛරෝඩිය පැලඳීම සුදුසුය.

මුද්දකට හෝ වෙනයම් ආභරණයකට හෝ මැණික් ගල් ඇල්ලීමේදී එය ශරීරයට ස්පර්ශ වන අයුරින් සකස් කළ යුතු ය. පළුදු සහිත මැණික් ගල් පැලඳීම හෝ ඒවා නිවෙසේ තබා ගැනීම හෝ සුදුසු නැත. එසේ කිරීමෙන් පවුලේ විනාශය, ධන හානිය අසමගිය, විරෝධතා, සතුරු කරදර ඇතිවිය හැකිය. නව ග්‍රහයන් සඳහා පලඳින නවරත්න මුදුවෙහි මැණික් සවි කරන නිශ්චිත ක්‍රමයක් ඇත. මෙහි දැක්වෙන සටහනින් එය හොඳින් පැහැදිලි වේ.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.