ඔක්තෝබර් 11-17 අතර උපන් ඔබ...

ඔක්තෝබර් 11, 2024

 

ඔක්තෝබර් 11

(පෞද්ගලික අංකය 2/7)

ගායනය, වාදනය, නර්තනය හා සිතුවම්කරණයට ඔබ තුළ ඇත්තේ සුවිශේෂී ළැදියාවක්. ප්‍රණීත ආහාර රස බැලීමටත්, විසිතුරු විලාසිතා හැඩ බලන්නටත් ජීවිතය විඳින්නටත් ඔබ හරි ආසයි. අසරණ අයට උපකාර කිරීමෙන් ඔබ පුදුමාකාර සතුටක් ලබන්නේ. ඉතා සංවේදී නිසා වචනයක් වැරදුණොත් ඇති මානසිකව කඩා වැටෙන්න. පිරිසක් මැද තීන්දු තීරණ ගන්නවාට වඩා නිතරම පසු බහින්නයි කැමැති. එහෙත් හදිසි අවස්ථාවකදී ඔබ ගන්න තීන්දු තීරණ පලදරන්නේ විදුලි වේගයෙන්. ඔබේ අනාගතය කලින්ම දැකීමේ ඉවක් ඔබ සතුයි. වායෝ ත්‍රිවංකයට අයත් නිසා ස්වශන අබාධ සුළිසුළං විතරක් නෙවෙයි ගුවන් අනතුරුවලට පවා මැදි වීමේ අවදානමක් ඔබට තිබෙනවා. සෙම් රෝග හා බඩේ අජීර්ණවලිනුත් ඔබට වැඩි වශයෙන් පීඩා විඳීන්න වනවා. එවැනි අබාධත් මානසික ආතතියත් අතර යම් සම්බන්ධතාවයක් පවතින බව පෙනී යනවා. නිතර තම ඇතුළාන්තයට නැඹුරුව මානසික ගැටුම්වලට මැදිවෙලා පීඩා වින්ඳත් බාහිර ලෝකයට ඔබ පෙනෙන්නේ සරල සුන්දර චරිතයක් විදිහටයි. ඔබ සාගරයක් තරමට ආදරය බාහිර ලෝකයාගෙන් අපේක්ෂ කරන්නේ ඔබේ දෙපා දොවමින් ඔබ ළඟ රැඳෙන ආදරය, සෙනෙහස ගැන තැකීමක් නැතිව. හින්දි සිනමාවේ නොමැකෙන නමක් රැන්දූ අමිතාබ් බච්චන් (1942) කියන්නේ ජාත්‍යන්තරය ජයගත් පෞරුෂයක් හිමි ප්‍රවීණයෙක්. ඔබත් ඒ වගේ විය හැකියි.

ඔක්තෝබර් 12

(පෞද්ගලික අංකය 3)

සුන්දරත්වය වගේම කලාකාමීත්වය ඔබ තුළ ඇති සිකුරුගේ බලය විසින් හොඳීන් ඔප් නංවලා තියෙන්නේ. ආදරණීය බව වගේම සංග්‍රහශීලීත්වයත් මේ කාලයේ උපන් අය තුළත් අඩු-වැඩි වශයෙන් බලපවත්වනවා. හැබැයි ඔබ කෙනෙකුට යමක් දෙන්නේ අවශ්‍යතාවය ගැන හිතලා විතරයි. ඔයාගේ හිත ඇතුළේ තියෙන සුවිසල් සිහින යාථර්ථයක් බවට පත් කරන්න හැම ශතයක්ම හැම තත්පරයක්ම ඔයාට වැදගත් වනවා. සොඳුරු ආඥාදායක්තවයේ පටන් ඒකාධිපතීත්වය දක්වා අවස්ථානුකූලව ක්‍රියාත්මක වන්න ඔබ හොඳීන් දන්නවා. උත්පත්තියෙන් මාළිගා උරුම නැතිවට ඔබ කවදාවත් තැවෙන කෙනෙක් නොවෙයි.

ඔබ සතු නිර්මාණශීලීබව, අධිෂ්ඨානය හා කැපවීම තුළින් ජීවිතය ජය ගන්නා තෙක් කටුකොහොල් මතින් පිය මැන යන්නට විශ්ව මාතාව ඔබ බලගන්වා තිබෙනවා. ඔයා බලාපොරොත්තු වන තරම් ආදරයට වඩා ආදරයක් ලෝකයෙන් ඔයාට හිමි වුණත් ඒක තේරුම් ගැනීමට ඇති නොහැකියාව දෛවයෙන් ලද සරදමක්. ඔබ හැම වැඩක්ම පැහැදිලිව පිරිසිදුව කරන්න කැමති කෙනෙක්. ඒවාට බාධා වනවාට ඔබ කැමැති නැහැ. ඒ වගේම තමයි ආත්මාභිමානය කියන කාරණය ඉදිරියේදී ඔයා වඩාත් ආත්මාර්ථකාමී වෙනවා. ඔබ අන් අයට ගරු කරනවා වගේම අන් අයගෙන් ඔබට නිසි ගරුත්වය බලාපොරොත්තු වනවා. විටෙක දැඩි නීති රෙගුලාසී පනවා හෝ තමටන්ට වුවමනා දේ ඉටු කර ගැනීමට තරම් ඔබ දක්ෂයි. කලක් ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ ධම්මික රණතුංග (1962) මහත්තයත් ඔබේ දවසේමයි ඉපදිලා තියෙන්නේ.

ඔක්තෝබර් 13

(පෞද්ගලික අංකය 1/4)

මතක ඇති දා පටන්ම ඔබ සමාජයත් එක්ක ගැටුණේ සාධාරණත්වය වෙනුවෙන්. අනුන් වෙනුවෙන් කෙතරම් දේවල් කළත් තමන් වෙනුවෙන් අබැටක තරම් දෙයක් ඔබ බලාපොරොත්තු වෙන්නේ නෑ. මොහොතකට විතරක් 'දැන් නම් හොඳටෝම ඇති” කියලා හිතෙනවා වුණාට ඔබ කිසිදාක හති වැටෙන කෙනෙකුත් නෙවෙයි. ඔබ වගේ අය විශ්ව මාතාව මෙලෝකයට දායාද කර තිබෙන්නේ සාමාජ ප්‍රතිශෝධන මඟින් අනෙක් අයව දැනුම්වත් කරන්න. විවාහය හා හවුල් ව්‍යාපාර කටයුතු ආදියෙන් ඔයා එච්චර සාර්ථක වන බවක් පේන්න නෑ. සමාජය විසින් බාගෙට පිස්සු හංවඩුව ගහපු යාළුවන් තමයි ඔබට වැඩියෙන්ම හමුවන්නේ. එහෙත් කිසිම දවසක තම මිතුරන්ට ද්‍රෝහි වන චරිතයක් නෙවෙයි ඔබ. දිනෙක කලාත්මක වශයෙන් ඉහළ තලයක පිළිගැනීමක් ලබා ගන්න ඔබ සමත් වනවා. ගුප්ත ශාස්ත්‍ර විතරක් නෙවෙයි ටෙලිපති, මෝහනය හා වශීකරණය වැනි ක්‍රමවලින් වැඩ ගන්නත් ඔබ උපන් සමතෙක්. ඔබගේ ආර්ථික තත්ත්වයත් ඉබිගමනින් වුවත් ජය ටැඹ කරා ළඟා වන බවක් පෙන්නුම් කෙරෙනවා. රිය අනතුරු, ගිනි අනතුරු, අකුණු අනතුරු හා සුළඟින් හා ගුවන් ගමන්වලදී වන අනතුරුවලින් දෛවෝපගත ලෙස අවදානමක් ඔබ කෙරෙහි පවතිනවා. පෞද්ගලික අංකය තුළ යුරේනස් ඉක්මවා රවිගේ බලය ඉස්මතුව ඇත්නම් පමණක් වඩාත් සමාජශීලී ස්වභාවයක් ඔබේ චරිතය තුළින් ඉස්මතු වේවි. මෙදින ජන්ම ලාභය ලද නිදහස් අධ්‍යාපනයේ පියා වන සී.ඩබ්ලිව් ඩබ්ලිව් කන්නංගර (1884) මැතිතුමා වගේ දවසක නමක් රන්දන්න ඔබත් උත්සහා කරන්න.

ඔක්තෝබර් 14

(පෞද්ගලික අංකය 5)

ආකර්ෂණීය බව හා වේගවත් බව හොඳීන් ඔබ තුළ දැකිය හැකි වෙනවා. ඉතා ප්‍රතිපත්තිගරුක හා වගකීම් සහගත ඔබ තම යුතුකම් ඉටු කිරීමේදී දිවි හිමියෙන් කැපවෙනවා. තමන්ගේ තත්ත්වය රැකගෙන වැදගත් විදිහට ඉන්න හැම විටම ඔයා උත්සාහ කරනවා. ඒ හැර අනවශ්‍ය ආරවුල්වලට මැදිවීමට කිසිවිටෙකත් උත්සාහ නොකරන චරිතයක්. තැනේ හැටියට පහසුවෙන්ම හැඩ ගැසීමේ ඔබ සතු දක්ෂතාවය විස්මිතයි. ඔබේ හැකියා ගැන මනා තක්සේරුවකින් ඒවා පලදායි ආකාරයට ක්‍රියාවේ යෙදවූ විට ළඟාවිය හැකි උපරිම තත්ත්වය ගැනත් හොඳාකාරවම දන්නවා. රෝගී සමීප ඥාතියකු නැත්නම් සහකරු හෝ දරුවකුගේ ආවතේව හා සියලු වගකීම ඔයා පිට පැවරෙන්නේ ඔයාගේ අත්තටු බරකරලා. හම්බ ර කරන සියල්ල අනුන්ටම පූජා කරනවා ඇර කෙතරම් උත්සාහ කළත් තමන්ගේ ජීවිතයේ සැඳෑසමය වෙනුවෙන් එක පිච්චියක් ඉතුරු කිරීම බැරිම දෙයක් වෙලා.

තරුණ කාලයේදී නම් දෝතට ගඟක් ගලනවා ගානට ධනය ගලා එන්නේ. සූදුව හා කොටස් වෙළෙඳපළ ආයෝජනය වැනි මාර්ගවලින් සාක්කු පුරවමින්. ඒත් වයස 50 න් පස්සේ ආර්ථිකය වගේම මැදිවිය ඉක්මවීමත් සමඟ ඔබේ සෞඛ්‍ය තත්ත්වයත් ආරක්ෂා කර ගන්න හිතනවා නම් හොඳයි. වායෝ ත්‍රිවංකයේ බලපෑම නිසා සුළි සුළං හෝ ගුවන් අනතුරු ආදියට මැදිවෙන්නත් ඉඩ වැඩි වෙනවා. හිටපු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක ටී.එම්. දිල්ශාන් (1976) මහත්තයත් ඔබේ උපන් දිනය බබළවූ සුපිරි තරුවක් තමයි.

ඔක්තෝබර් 15

(පෞද්ගලික අංකය 5)

මේ ලෝකයට සුන්දර ගැහැනුන් හා මිනිසුන් වැඩි වශයෙන් දායාද කරන උපන් දිනයක් තමයි මේ. සුළු වියදමක් කරලා මහා ආටෝපයක් මවා පාන්න තරම් සුපිරු ගණයේ හැකියාවක් ඔබට තිබෙනවා. එනිසාම යහළු-යෙහෙළියොත් සුළුපටු සතුටක් නෙවයි නේද ඔයා ඇසුරේ ලබන්නේ. සුරාව, නුරාව, සුඛෝපභෝගී ජීවිතය සංගීතය හා නර්තනය වැනි දේ ජීවිතයට නැතිවම බැරි වෙනවා. ඔබ තුළ ඇති ආකර්ෂණීය බව නිසාම ප්‍රේම සබඳතාත් බොහෝමයක් ඇති වෙනවා. 'සතුට තියෙනවා නම් පුද්ගලයා අදාළම නෑ' කියා ඔබ සිතන්නේ. ඒ නිසා එක විවාහයක නවතින්න බැරි වෙච්චි දවසක ඔබට හොඳටම දුක හිතෙයි. ඒ බලාපොරොත්තු කඩවීම් හා නඩුහබවලට නිතර පැටලෙන්නේ ඔබේ වරදින්ම කියලා කියන්නත් බෑ.

කලා අංශය ඔබේ දක්ෂතා පෙන්වීමට හොඳ තෝතැන්නක්. හවුල් ව්‍යාපාර ආදියෙනුත් ලාභ ඉපයිය හැකි වෙනවා. කුඩා කාලයේදී සෙංගෙඩි අබාධත්, තරුණ වියේදී වැරදි පෝෂණ පුරුදු නිසා ඇති වන ගැටලුත් ප්‍රජනක පද්ධතිය ආශ්‍රිත ගැටලුත් ඇති විය හැකියි. වයස 51 පමණ සිට ඔබ නොසැලකිලිමත් වුණොත් සෞඛ්‍ය තත්ත්වය පිරිහීම වේගවත් වේවි. නරි බෑණා වේදිකා නාට්‍යය රචනා කළ දයානන්ද ගුණවර්ධන (1934) මහත්මයාත් ඔබට සමාන බොහෝ පෞරුෂ ලක්ෂණ දැරූ විශිෂ්ඨ ගණයේ චරිතයක්.

ඔක්තෝබර් 16

(පෞද්ගලික අංකය 2/7)

ඔබ සතු හැකියා විවිධාකාරයි. විශේෂයෙන්ම කලා ක්‍ෂේත්‍රය තුළ ඔබට බොහෝ දස්කම් දැක්විය හැකියි. පෑනෙන් දස්කම් විස්කම් පාන ඔබ ලේඛණය හා කාව්‍යකරණයට සුවිශේෂී ළැදියාවක් දැක්විය හැකියි. රංගනය හා සංගීත හැකියාව නිසා ඔබ වැනි අය වේදිකාවටත් නැතිවම බැරි වෙනවා. එසේ නොමැතිනම් ඔබ සිතුවම්කරණය තුළින් හෝ සුපිරි දක්ෂතා දක්වනවා. ඔබේ එඩිතරභාවය, අවංකභාවය හා නිර්භීතකම නිසාම නිතරම සෘජු චරිත ස්වභාවයක් තමයි පෙන්නුම් කෙරෙන්නේ. මේ යහපත් ගතිගුණ නිසාම ඔබට බොහෝ අලාබ හානිවලට මැදිවන්නත් සිදු වනවා. විශේෂයෙන්ම ව්‍යාපාරික සහකරුවන් සමඟ විතරක් නෙවෙයි ජීවන සහකරුවන් එක්ක පවා කටයුතු කිරීම ඔබට බොහෝ අපහසු වනවා. තමන් උසස් යැයි මවා පාමින් සමාජය තුළ ඉහළින් වැජැඹෙන ප්‍රභූ පැලැන්තියේ නිරුවත තම පන්හිඳ හරහා අනාවරණයට ඔබ වැනි අය අතීතයේදී පවා විශාල වෙහෙසක් දරා තිබෙනවා. ජීවිතයේ සාර්ථකත්වය බිංදුවේ සිට අනන්තය දක්වා වැඩි වර්ධනය කර ගැනීමට උත්සාහය හා කැපවීම තුළින් ඔබ සමත් වනවා. පොඩි අවුලකට තිබෙන්නේ ඔයා උත්සහයෙන් ගොඩ නඟා ගන්නා සමස්තය නොසිතූ නිමේශයක දී ඔයාගේ ඇස් පනාපිටම කඩා වැටීමකට ලක්විය හැකි වීමයි. නිතරම සමාජය විනිවිද දකිමින් විවිධ චරිත ස්වභාවයන් සියුම්ව විශ්ලේෂණය කරන අතරම ඔයා ඔයා ගැනත් අභ්‍යන්තර වශයෙන් සැබෑ තක්‍සේරුවක් කරගත යුතු වනවා. ප්‍රවීන රංගධර ශ්‍රීනාත් මද්දුමගේ (1963) කියන්නේ ඔයාගේ ජීවන සිදුවීම්වලට බොහෝ සමීප බවක් ඇති කෙනෙක්.

 

ඔක්තෝබර් 17

(පෞද්ගලික අංකය 8)

ඔයා කාන්තා පාර්ශ්වයට අයත් කෙනෙක් නම් එතෙර දේශපාලන විප්ලව ගැනත්, එවැනි විප්ලව තුළින් පොදු මහජනයාට ප්‍රතිලාභ අත්කරගත හැකි අකාරයත් පිළිබඳ කරුණු කාරණා එක් රැස් කරමින් පොත් පත් ඇසුරේ වැඩි වශයෙන් කල් ගෙවන බවක් පෙනී යනවා. නීති ක්ෂේත්‍රය හා විද්‍යා තාක්ෂණ අංශවලින් සුපිරි වැඩකරුවන් හැටියට තමයි පුරුෂ පාර්ශ්වය කැපී පෙනෙන්නෙ. උත්පත්තියෙන් ආර්ථික විමුක්තිය ලබා ගෙන තියෙනවා නම් හැර ජීවිතය එතරම් සැපදායක වන බවක් පේන්න නෑ. ඔබ හැම විටම ඔබගේ සේවා පරිසරය තුළ ප්‍රධානත්වය ලුහුබැඳ ගොස් ලබා ගැනීම කළ යුතුම වෙනවා. එසේ නොවුණහොත් වඩා දුක්ඛිත අත්දැකීම් සමුදායකට මැදිවන බවක් පෙනී යනවා. ඔබ පිළිබඳ විවිධ කටකතා පැතිරීම, නොකළ වැරදිවලට පවා දඬුවම් විඳීමට සිදුවීම පවා මේ අතර වෙනවා. මෙහිදී ඇති වඩාත් ඛේදණීය තත්වය වන්නේ තමන්ගේ නිවැරිදිභාවය ගැන කරුණු ඉදිරිපත් කරන්න තියා කටක්වත් අරින්න ඉඩක් නොලැඹෙන එකයි. පවුල් අසාර්ථක වීම් හා ඥාතින්ගෙන් හුදෙකලාවීම් ද මේ දිනය උපන් අයට සුලභ සිදුවීම් විය හැකියි. අවසානයේදී කවුරු නැතත් මට මං ඉන්නවාය යන හැඟීමෙන් ඔබ සාර්ථකව ජීවිතයට මුහුණ දෙන බවක් පෙන්නුම් කරනවා. එසේ තිබියදී වුවද ඔබේ අතමිට සරු සැම විටකදීම පොදු සමාජ යහපත වෙනුවෙන් නිර්ලෝභී ලෙස මුදල් විය පැහැදම් කිරීමට ද ඔබ මැළි වන්නේ නෑ. ඔබට හමුවන බාධක හා අභියෝග ජයගන්න විමසිල්ලෙන් කටයුතු කළ යුතු වෙනවා. එමෙන්ම දැනට ඔබ අනාගතය වෙනුවෙන් සිදු කර ඇති සියලු ආයෝජන ගැන පරීක්‍ෂාකාරී වීම වැදගත්. ක්‍රිකට් පිත්තෙන් සුපිරි දස්කම් පෑ ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද සිල්වා (1965) කියන්නේ පෞරුෂයෙන් හා ජීවන සිදුවීම්වලින් ඔයාට බොහෝ සමීප අත්දැකීම් ඇති අයෙක්.

 

විශේෂ ස්තූතිය -

අයිරිෂ් ජාතික කවුන්ට් ලුයිස් හැමන් සාමිවරයා

හා වෛද්‍ය බන්දුල සිරිවර්ධන

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 11 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.