දුක දිනා ජය ගත හැකි ඒරාෂ්ටක කාල

ඔක්තෝබර් 11, 2024

රජයේ ඉහළම මූල්‍ය ආයතනයක උසස් තනතුරක් දැරූ ‘මකර’ ලග්නය හිමියකුගේ කේන්ද්‍ර සටහන පරීක්ෂා කිරීමට මා හට අවස්ථාව ලැබුණි.

එම කේන්ද්‍ර සටහනෙහි 4 වැනි භාවය තුළ සඳු ග්‍රහයා තැන්පත්ව සිටින බව මා හට පෙනුණි. ඒ අනුව 1998 අපේ‍්‍රල් 16 වැනිදාත්, 2000 ජූනි 5 වැනිදාත් අතර කාලය තුළ සහ 2001 ජනවාරි 25 වැනිදාත්, 2001 පෙබරවාරි 9 වැනිදාත් අතර කාලය තුළ විස්මිත සිදුවීම් සිදුවන්නට ඇති බව මම ඔහුට පැවසුවෙමි. මා එසේ පැවසීමට හේතු වූයේ ඔහුට ඒ වන විට අති ප්‍රබල ජන්ම ඒරාෂ්ටකයක් පැවතීමය. මා සඳහන් කළ ලෙසින්ම ඔහුට ජීවිත කාලය තුළ වැඩිම විදෙස් ගමන් යෙදී තිබුණේ එම කාලය තුළයි. එම කාලය තුළ ඔහුට ප්‍රබලම යුරෝපා රටවල පවා සංචාරය කිරීමට භාග්‍යය ලැබුණි. කෙසේ වෙතත් ඉහත කී විදේශ ගමන් නිසා එම ජන්මියාට ටික කලකට හෝ තම දරුවන්ගෙන් තම බිරිඳගෙන් තම පවුල් පරිසරයෙන් ඈත් වී සිටින්නට සිදු වූවා විය හැකිය. ඒ නිසා එම කාලය අපල කාලයක් ලෙසද කෙනකුට තර්ක කළ හැකිය.

ඒරාෂ්ටක කාලසීමාවක් සෞඛ්‍ය තත්ත්වය කෙරෙහි බලපාන්නේ කෙසේද යන්න පිළිබඳව තරමක් දීර්ඝ ලෙස කතාබහ කරන්නට මීළඟට බලාපොරොත්තු වෙමි. ප්‍රබල ඒරාෂ්ටක කාලසීමාවක් ගතකරන තැනැත්තකු වරෙක මට ඔහුගේ කේන්ද්‍ර සටහන ඉදිරිපත් කළේය. එහිදී මා හට පෙනී ගියේ ඒරාෂ්ටක කාලසීමාව තුළ ඔහු ‘ගැස්ට්‍රයිටීස් රෝගයෙන් තදබල ලෙස පීඩා විඳිමින් සිටි බවය. මගේ නිරීක්ෂණ අනුව පෙනී යන්නේ තදබල ඒරාෂ්ටක කාලවල ගැස්ට්‍රයිටිස් වැනි අසනීප වැඩිවන බවය. නිතර සිතුවිලිවල ගැලී සිටීම ‘ගැස්ට්‍රයිටීස්’ රෝගය උත්සන්න වීමට හේතුවන බව වෛද්‍යවරු කියති. ඒරාෂ්ටක කාලවලදී සිදු වන්නේද සහන හෝ අසහන පිළිබඳව නිතර මෙනෙහි කිරීම බව අප සාකච්ඡා කළ සිදුවීම්වලින් පෙනේ. එම නිසා ඒරාෂ්ටක කාලවල ගැස්ට්‍රයිටීස් රෝගයෙන් පීඩා ඇතිවීම බටහිර වෛද්‍ය විද්‍යාවට ද එකඟ කරුණක් බව පෙනේ.

කෙසේ වෙතත් එම තැනැත්තාට අදාළ ඒරාෂ්ටකය පැවැති කාලවකවානුව තුළ ඔහුගේ පවුලට වඩා උගත් පවුලක තැනැත්තියක සමඟ අතිනත ගැනීමට වාසනාව උදා විය. එනම් සෞඛ්‍යය අතින් අසුබ ප්‍රතිපල ලැබුණද ඔහුට එම කාලය තුළ විශේෂ සුබ ප්‍රතිපල ද ලැබී ඇත.

තදබල ඒරාෂ්ටක කාලවකවානු තුළ සුළු හෝ ශල්‍යකර්මයක් යෙදෙන්නට ඉඩ ඇති බව පෙනේ. එහෙත් මෙයින් අදහස් වන්නේ ඒරාෂ්ටක අපල පවතින කාලය තුළ අනිවාර්යයෙන්ම ශල්‍යකර්මයක් සිදුවන බවක් නොවේ. එයට හේතුව සමහර අයට තම ජීවිත කාලය තුළම ශල්‍යකර්මයක් සිදු නොවීමය. කෙසේ වෙතත් යම් අයකුට ශල්‍යකර්මයක් සිදු කරන්නේ නම් එය සිදුකරන කාලය බොහෝ විට ඒරාෂ්ටක කාලයක් වීමේ ඉඩකඩ වැඩිය. මා දන්නා අඳුනන කන්‍යා ලග්න හිමියකුගේ චන්ද්‍රයා ලග්න භාවයේ විය. ඒ අනුව 2009 සැප්තැම්බර් 9 වැනිදාත්, 2011 නොවැම්බර් 18 වැනිදාත් අතර කාලය තුළ මොහු ප්‍රබලතම ජන්ම ඒරාෂ්ටකයක් ගත කළේය. එම කාලසීමාව තුළ ඔහුට රෝහලක් තුළ නේවාසිකව සුළු ශල්‍යකර්මයක් කිරීමට සිදු විය. එමෙන්ම කුම්භ ලග්නය දරන හිතවතකුට 2009 සැප්තැම්බර් 9 වැනිදාත්, 2011 නොවැම්බර් 18 වැනිදාත් අතර කාලය තුළ ප්‍රබලම අෂ්ටම ඒරාෂ්ටකයක් ගත විය. එම කාලය තුළ ඔහුට ‘බයිපාස්’ ශල්‍යකර්මයක් සිදු කළ අතර එය සම්පූර්ණයෙන්ම සාර්ථක විය. මා දන්නා ගුරුතුමියකගේ “මිථුන” ලග්නය දරන කේන්ද්‍රයෙහි 5 වැනි භාවයෙහි චන්ද්‍රයා තැන්පත්ව ඇත. ඒ අනුව, 2011 වසරෙහි නොවැම්බර් 18 වැනිදාත්, 2012 වසරෙහි මැයි 13 වැනිදාත් අතර කාලය තුළ සහ 2012 අගෝස්තු 6 වැනිදාත්, 2014 නොවැම්බර් 3 වැනිදාත් අතර කාලය තුළද ඇයට ජන්ම ඒරාෂ්ටකයේ උච්චතම අවස්ථාව ගත විය. මේ ජන්ම ඒරාෂ්ටකයේ උච්චතම අවස්ථාව නිසාදෝ 2011 වසරෙහි නොවැම්බර් 18 වැනිදායින් පසු ඇයගේ යටපත්ව පැවති අසනීපය යළිත් මතු විය. සමහර අවස්ථාවලදී ඇවිදීම් පවා අපහසු වන තරම් අසනීපය උග්‍ර වූ අතර විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් දිගින් දිගටම ප්‍රතිකාර ගැනීමට ඇයට සිදුවී ඇත. මේ රෝගී තත්ත්වයක් වරින්වර ඇති වුවද ඒවායින් සුවය ලබා සාමාන්‍ය මට්ටමට පත්වීමට ද ඇයට වාසනා ගුණය ලැබුණි.

තුලා ලග්නය දරන මාගේ ඥාතිවරයකුගේ කේන්ද්‍රයේ සඳු ග්‍රහයා 11 වැනි භාවයේ තැන්පත්ව ඇත. ඒ අනුව, 2007 ජූලි 17 වැනිදාත්, 2009 සැප්තැම්බර් 12වැනිදාත් අතර කාලය තුළ ඔහුට ජන්ම ඒරාෂ්ටකයේ උච්චතම අවස්ථාව ගත විය. එම කාලය තුළ ඔහුට “අර්ශස්” රෝගයෙන් පීඩා විඳීමට සිදුවූ අතර රෝහලෙහි නේවාසිකව ශල්‍යකර්මයක් කර ගැනීමටද සිදු විය. එම ශල්‍යකර්මය සම්පූර්ණයෙන්ම සාර්ථක වුවද එයින් පසු සති කිහිපයක් ඔහුට ඉතා අපහසුවෙන් කාලය ගත කිරීමට සිදු විය. එහෙත් එම කාලයෙන් පසු සම්පූර්ණ සුවය ලැබූ ඔහුගේ ජීවිතයෙහි විශාල වෙනසක් සිදු විය. එනම් අදාළ රෝගී තත්ත්වය නිසා සමාජ අවස්ථාවන්ට සහභාගි වීමට අපහසුව තිබු ඔහුට දැන් ඒ සඳහ අවස්ථාව ලැබී ඇත.

ඒරාෂ්ටක කාලවකවානු තුළ තවත් පුද්ගලයන් කිහිප දෙනෙකුට මුහුණදීමට සිදුවු අපූරු අත්දැකීම් පිළිබඳව සාකච්ඡා කරන්නට මීළඟට බලාපොරොත්තු වෙමි.

මා දන්නා “මේෂ” ලග්නය දරන එක්තරා තැනැත්තියකගේ උත්පත්ති කේන්ද්‍ර සටහනේ 2 වැනි භාවය තුළ චන්ද්‍රයා තැන්පත්ව ඇත. ඒ අනුව එම කේන්ද්‍ර සටහන පිළිබඳව හැදෑරීමේදී මා හට පෙනී ගියේ 2000 වසරෙහි ජුනි 5 වැනිදාත්, 2001 වසරෙහි ජනවාරි 20 වැනිදාත් අතර කාලය තුළද 2001 වසරෙහි පෙබරවාරි 9 වැනිදාත්, 2002 වසරෙහි ජූලි 27 වැනිදාත් අතර කාලය තුළද 2002 වසරෙහි දෙසැම්බර් 31 වැනිදාත්, 2003 වසරෙහි අපේ‍්‍රල් 11 වැනිදාත් අතර කාලය තුළද ඇයට ජන්ම ඒරාෂ්ටකයේ උච්චතම අවස්ථාව ගත වී ඇති බවය. ඒ අනුව එම කාල සීමාවන් තුළ විශේෂ යමක් සිදු වූයේ දැයි මම ඇයගෙන් විමසුවෙමි.

ඉතා උද්‍යෝගිමත් ලෙස පිළිතුරු දීමට පටන් ගත් ඇය පැවසුවේ එම කාලසීමාව ඇයගේ ජීවිතයේ කිසිදා අමතක නොවන කාලසීමාවක් බවය. ඉහත සඳහන් කාල පරාස අතුරින්ද 2002 වසරෙහි දෙසැම්බර් 31 වැනිදාත්, 2003 වසරෙහි අපේ‍්‍රල් 11 වැනිදාත් අතර කාලය පිළිබඳව ඇය විශේෂයෙන් සඳහන් කරයි. පසු කලෙක ඇය විසින් ලබා ගත් අති විශිෂ්ට අධ්‍යාපන ජයග්‍රහණවලට අදාළ මූල බීජ වැපුරුයේ එම කාලය තුළදී බව ඇය තරයේ විශ්වාස කරයි. එහෙත් ඇය සමඟ තව දුරටත් කතාබහ කිරීමේදී පෙනී ගියේ එම මූල බීජ වැපුරුවේ රෝස මල් ඇතිරූ මාවතක් දිගේ නොවන බවය. ඇය ඒ වන විට පාසල් ශිෂ්‍යාවක ලෙස අධ්‍යාපනය ලබමින් සිට ඇති අතර සම වයසේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් සමඟ ඇතිවූ මත ගැටුම් උග්‍ර වීම හේතුවෙන් හඬා වැළපෙන්නට පවා සිදුවී ඇත.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.