ලග්න හයකට විස්මිත පල දෙමින් සිකුරු වෘශ්චිකයට එයි

සුබපල වැඩි කරගන්න ලක්ෂ්මී-පත්තිනි ‍ෙදවඟනන් පුදන්න
ඔක්තෝබර් 11, 2024

ගැබිනි මවුවරුන්ට සුබ කාලයක්

පලතුරු පලදාව වැඩි වෙයි

වෘෂභ, කන්‍යා, තුලා, වෘශ්චික, මකර, කුම්භ ලග්න හිමියන්ට විස්මිත සුබපල උදා කරමින් සහ මේෂ, මිථුන, කටක, සිංහ, ධනු, මීන ලග්න හිමියන්ට ද සුබදායක කාලයක් හිමිකරමින් 2024 ඔක්තෝබර් මස 13 වැනිදා ඉරිදා උදේ 6.00ට සිකුරු ග්‍රහයා සම රැසක් වන වෘශ්චික රාශියට පිවිසෙයි.

නොවැම්බර් මස 07 වැනි බ්‍රහස්පතින්දා අලුයම 3.31ට ධනු රාශි ගත වන තෙක් එහි සිකුරු ග්‍රහයා රැඳී සිටින කාලය තුළ කාන්තාවන්ගේ බලය විශේෂයෙන් තීව්‍ර වන්නේය.

ප්‍රණීත ආහාරපාන, අලංකාර ගෙවල් දොරවල් හෝ පවතින ගේදොර අලංකාරයට යොමු වීම, යානවාහන පහසුකම්, ඇඳුම් පැලඳුම් වාසි, ආදි ලෞකික සැපතට මුල්වන කරුණු වැඩි වැඩියෙන් ලබා දෙන කාලයකි. ප්‍රේම සබඳතා වර්ධනය වේ. රූපලාවණ්‍යාදී කටයුතු කෙරෙහි වැඩියෙන් යොමු වේ. තනතුරු ලාභ ආදියේදී කාන්තාවන්ට මූලිකත්වය ලැබේ. දරු සම්පත් බලාපොරොත්තු වන මවුපියන්ගේ පැතුම් ඉටු වන, ගැබිනි මවුවරුන් සංඛ්‍යාවේ වර්ධනයක් පෙන්වන කාලසීමාවකි.

රටක් වශයෙන් ගත් කල ලංකා කේන්දරයට යෝගකාරකයා වන සිකුරු පිහිටන්නේ ලංකා කේන්දරයේ 10 වැන්නේය. එය ගජකේශරී යෝගය උදා කළ ගුරු සහ සඳු මතින් ගෝචරය වීම මෙරට කාන්තා පක්ෂයේ දියුණුව අභිවෘද්ධිය උදෙසා විවිධ වැඩ පිළිවෙළවල ක්‍රියාත්මක වීමට හේතු වනබව පෙන්නුම් කෙරෙන අතර රසකැවිලි, ප්‍රණීත ආහාර, පලතුරු වර්ගවල බහුලතාවක් ඇති විය හැකිය.

එලෙස එකී ලග්නවලින් උපන් ජන්මීන්ට සිකුරුගේ වෘශ්චික රාශි ගෝචරයෙන් සුබපල ලැබෙන්නේ දැනට ඔවුන්ට සිකුරු ග්‍රහයාට අයත් මහ දශාවක් හෝ අතුරු දශාවක් ලබා ඇතිනම් පමණි. ඒ හැර ඕනෑම ලග්නයකින් උපත ලබා උත්පත්ති කේන්දරයේ සිකුරු ග්‍රහයා සිකුරුට සුබපල දෙන 1, 2, 3, 4, 5, 8, 9, 11, 12 යන භාවයක පාප පීඩිත නොවී පතිතව ඇති විටෙකදී මෙකී සිකුරු ග්‍රහයා ගෝචරය වන වෘශ්චික රාශිය ජන්ම සඳුගෙන් 1, 2, 3, 4, 5, 9, 11, 12 යන භාවයකට වැටී ඇති විටෙක දැනට සිකුරු ග්‍රහයාට අයත් මහ දශාවක් හෝ අතුරු දශාවක් ලබා ඇත්නම් එවන් ග්‍රහ පිහිටීමක් ඇති ජන්මීන්ට ද මෙකී සිකුරුගේ වෘශ්චික රාශි ගෝචරයෙන් සුබපල ලැබෙන්නේ ය.

සිකුරුගේ ගෝචරයන් සුබපල වඩාත් හොඳින් භුක්ති විඳීමට, සුබ වැඩකටයුතු සිකුරාදා දින ඉර උදාවත් සමඟ උදාවන සිකුරුගේ පංචම කාල හෝරාවේ මුල් විනාඩි 4 ඇතුළත පවතින සිකුරුගේ සුක්ෂ්ම කාල හෝරාව තුළ (හෝරාව ඉර උදාව සමඟ ගැන ගත යුතුය) විචිත්‍ර වර්ණයකින් යුතු වස්ත්‍රයකින් හෝ තනි සුදු වස්ත්‍රයකින් සැරසී ලක්ෂ්මී, පත්තිනි වැනි දේව මාතාවකට පහනක් තබා උතුර බලා තමාගේ සුබ වැඩ කටයුත්ත ආරම්භ කරන්න. ඉෂ්ට සිද්ධිය ඇති වන්නේය.

 

මේෂ ලග්නය

සිකුරු 8 වැන්න වූ වෘශ්චික රාශියේ ගමන් කිරීම ඔවුන්ට වෙනදාට වඩා කම්සැප ලබා දෙන ග්‍රහ ගෝචරයක් වන්නේ ය. එමෙන් තම සහකරු හෝ සහකාරියගෙන් අන්තිම කැමැති පත්‍රවලින් ධනය ලැබෙන ග්‍රහ ගෝචරයක් වන්නේ ය.

වෘෂභ ලග්නය

සිකුරු 7 වැන්නේ ගෝචර වීම දැනට සිකුරු ග්‍රහයාට අයත් මහ දශාවක් හෝ අතුරු දශාවක් ලබා ඇති තරුණ තරුණියන්ට ධනවත් බලවත් සහකාරයකු හෝ සහකාරියක් සමඟ යුග ජීවිතයට ඇතුළු වීමේ භාග්‍යය උදා කරවන අතර හවුල් ව්‍යාපාර කටයුතුවල යෙදෙන්නන්ට වෙනදාට වඩා ලාභ ලැබෙන කාලයක් වන්නේ ය.

මිථුන ලග්නය

සිකුරු 6 වැන්නෙහි ගෝචර වීම සුරතල් සතුන් ඇති කිරීමේ ව්‍යාපාර කටයුතුවලින් දැනට වඩා ලාභ ලැබෙන කාල සීමාවක් වන්නේ ය. උත්්පත්ති කේන්දරයේ, සිකුරු ග්‍රහයා 6, 8, 12 යන භාවයක යෙදීමෙන් විමල නම් විපරිත රාජ යෝග ඇති මිථුන ලග්න හිමියන්ට එම රාජ යෝගය සක්‍රීය වීමෙන් සමිති සමාගම්වල ව්‍යාපාර, ආයතනවල දේශපාලන සංවිධානවල නිලතල බලතල හිමිවන කාලයක් වන්නේ ය.

කටක ලග්නය

සිකුරු මහ දශා අතුරු දශා ලබා ඇති කටක ලග්න තරුණ තරුණියන්ට ප්‍රේම සම්බන්ධතා ඇති කරන ග්‍රහ තත්ත්වයකි. එමෙන්ම යම් යම් ව්‍යාපාර කටයුතුවලට මුදල් ආයෝජනය කර ඇති කටක ලග්න හිමියන්ට ලාභ ලැබෙන කාලයකි. සිකුරු මහ දශාවේ ගුරු අතුරු දශාව හෝ ගුරු මහ දශාවේ සිකුරු අතුරු දශාව ලබා ඇති කටක ලග්න ගැබිනි මාතාවන්ට පින්වත් නීරෝගි දරුවන් ලැබීමටද මෙකී සිකුරු ග්‍රහයාගේ වෘශ්චික රාශි ගමන හේතු වන්නේ ය.

සිංහ ලග්නය

සිකුරු සිව්වැන්න වූ වෘශ්චික රාශියේ ගෝචර වීම වටිනා ගේ දොර හිමි වීමටත්, ස්වයං රැකියා කටයුතුවලින් ලාභ ලැබීමටත්, විවාහ වන වයසේ පසු වන දැනට සිකුරු මහ දශා අතුරු දශා ලබා ඇති සිංහ ලග්න තරුණ තරුණියන්ට උගත් බුද්ධිමත්, ධනවත් සහකාරියක හෝ සහකරුවකු සමඟ යුග දිවියට ඇතුළුවීමේ වාසනාවත් උදාවන කාලයක් වන්නේ ය.

කන්‍යා ලග්නය

කන්‍යා ලග්න ජංගම වෙළෙඳුන්ගේ අතමිට සරු කිරීමට හේතු වන අතර කලාකරුවන්ගේ ස්වකීය කලා කුසලතා සඳහා සම්මාන සහතික ලැබීම ද උසස් කලා කෘතීන් බිහිවීම සිදුවන කාලයකි. එමෙන්ම මෙකී සිකුරු වෘශ්චික රාශි ගෝචරය සිදුවන කාලසීමාවේදී සිකුරු මහ දශා අතුරු දශා ලබා ඇති කන්‍යා ලග්න තරුණ තරුණියන්ට යුග ජීවිතයට පිවිසීමේ භාග්‍ය උදා වන්නේය.

තුලා ලග්නය

රැකී රක්ෂා, ව්‍යාපාර කටයුතුවලින් තැන්පත් ධනය වර්ධනය වීමටත්, පවුලේ සාමාජිකයන්ගේ අතමිට සරුවීමටත්, පවුල් ජීවිතය පී‍්‍රතිමත් සහ සැපවත් වීමටත් සිකුරුගේ වෘශ්චික රාශි ගෝචරය හේතු වන්නේ ය.

වෘශ්චික ලග්නය

හවුල් ව්‍යාපාරවලින් ධනය ලැබෙන මෙන්ම ප්‍රේම සම්බන්ධතා කේන්ද්‍ර කොටගෙන ඉක්මන් විවාහයක් සිදුවන ග්‍රහ ගෝචරයක් වන්නේ ය. එහෙත් සිවුවැන්නේ ගෝචරවන වක්‍ර සෙනසුරු ග්‍රහයාගෙන් ජන්ම, චන්ද්‍ර අෂ්ටම ඒරාෂ්ටක අපලයක් ලබා ඇත් නම් ඉහත කී කරුණුවල සුබ පල අඩු විය හැකිය.

ධනු ලග්නය

සිකුරු උත්්පතියෙන්් පාප පීඩිත වී ඇති දැනට සිකුරු මහ දශා, අන්තර් දශා ලබා ඇති අයට මුත්‍ර, වකුගඩු, ලිංග ආශි‍්‍රත රෝග වැලඳෙන්නේ උප්පති සඳු ග්‍රහයා මුල් කරගෙන ජන්ම කණ්ඨක ශනි, චන්ද්‍ර අෂ්ටම ඒරාෂ්ටක අපලයක් යෙදී ඇත්නම් පමණි. එසේම ඒරාෂ්ටක අපල ඇති සමහර ධනු ලග්න හිමියන්ට රැකියා ව්‍යාපාර කටයුතුවලින් අඩු ආදායමක් ලැබීමටත් අන්‍යයන්ට ණය වීමටත් හේතු සැලසේ. උත්පත්ති කේන්දරයේ සිකුරුගෙන් යෙදෙන හර්ෂ නම් විපරීත රාජයෝගය ඇත්නම් එය සක්‍රීය වීමෙන් නඩුහබ සතුරු ප්‍රශ්නවලින් ජය ලැබෙන අතර ඒවායින් මූල්‍ය හෝ ද්‍රව්‍ය ලාභ ඇතිවන්නේ ය.

මකර ලග්නය

දැනට ජන්ම හෝ චන්ද්‍ර අෂ්ටම ඒරාෂ්ටක අපල නැති සිකුරු මහ දශා අතුරු දශා ලබා ඇති මකර ලග්න හිමියන්ට හවුල් ව්‍යාපාර කටයුතුවලින් අතමිට සරු කිරීමට හේතු වන අතර, දරුවන් නොමැති මකර ලග්න හිමි කාන්තාවන්ට දරුවන් ලැබීමටත්, තරුණ තරුණියන්ට ප්‍රේම සම්බන්ධකම් මත ඉක්මන් විවාහත් සිදුවන කාල සීමාවකි.

කුම්භ ලග්නය

ජන්ම හෝ චන්ද්‍ර අෂ්ටම ඒරාෂ්ටක අපල නැති දැනට සිකුරු මහ දශා අතුරු දශා ගත කරන ජන්මීන්ට නිවාස, යාන වාහන ලැබෙන අතර, ඒ සම්බන්ධ ව්‍යාපාර කටයුතුවල යෙදෙන අයට වෙනදාට වඩා ලාභ ලැබෙන කාලයක් වන්නේ ය. එමෙන්ම, වරාය, නාවික, ධීවර වැනි අංශවල රැකියා කටයුතුවල යෙදෙන අයට රැකියාවේ උසස්වීම් හා වැටුප් වැඩි වෙන කාලයක් වන්නේ ය.

මීන ලග්නය

මීන ලග්නයට සිකුරු පාපියෙකි. දැනට, සිකුරු මහ දශා අතුරු දශා ලබා ඇති සඳු ග්‍රහයා මුල් කරගෙන ඒරාෂ්ටක අපල නොමැති මීන ලග්න කලාකරුවන්ට, කලාකාරියන්ට, රස කැවිලි, සිසිල් බීම, රෙදිපිළි අලෙවි කරන ජංගම වෙළෙඳුන්ට වෙනදාට ස්වකීය වෘත්තිය කටයුතුවලින් ලාභ ලැබෙන යහපත් කාලයක් වන්නේ ය.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.