නිවෙසේ හෝ ව්‍යාපාරයේ භූත ප්‍රේත දෝෂ තිබේද දැනගනිමු

අප්‍රේල් 26, 2024

සූර්යයා වටේ ග්‍රහලෝක වශයෙන් සඳු, අඟහරු, බුධ, ගුරු, සිකුරු, ශනි, රාහු හා කේතු වශයෙන් ග්‍රහලෝක 9ක් කැරකෙනවා. පෘථිවියත් ඒ අතරම වෙනවා. අපට නොතේරුණාට අපිවත් රැගෙන විශාල වශයෙන් පෘථිවිය කැරකෙනවා. ග්‍රහලෝක එකිනෙකා වෙනස්ව විශ්වයේ පිහිටියාට ප්‍රේත, භූත කියල වෙනමම ග්‍රහ ලෝක නැහැ.

මේ මනුෂ්‍යයා ජීවත්වන ලෝකය තුළම විශ්වාසය පෙරදැරි කරගෙන එක එක බලවේග පවතිනවා. ඒක හැම දෙනාම පිළිගත් කාරණාවක්. ඇත්තටම කිව්වොත් චුති චිත්තය මතම මිළඟ භවය ලබනවා. වස්තු නිධාන සම්බන්ධව නිදන් වදුළේ සඳහන් කර ඇති විස්තරවලින්ම මේවා ඔප්ප ුවෙනවා.

ප්‍රේතයා කියන්නෙ භූතයා කියන්නෙ ස්ථිර ආත්මයක් නොලැබූ අතරමං වූ ප්‍රාණ ආත්ම. සමහර විට මේ ආත්මවලට තුන් මංසල්වල, සිව්මංසල්වල, පාළු ස්ථානවල, සොහොන් පිටිවල සැරිසැරීමට අවසර දී තිබෙනවා. මේ අයටත් එක එක ශක්ති නැතිවාම නොවේ. ඒ අය වැඩිපුරම මේ තත්ත්වයට පත්වන්නෙ පින් කළ හැකි භවයේදි කළ කුසල් කර්ම අඩු වී අකුසල කර්ම වැඩි වූ විටයි. අපි ජීවත් වූ කාලය තුළ එක කුසලයක් හෝ කෙරිය යුතුමයි කියන්නේ ඒ නිසාමයි. විශේෂයෙන් ප්‍රේතයා හෝ භූතයාම කිසියම් දෙයක් නොලැබීම නැත්නම් නොලැබී යාම නිසා චුති චිත්තයේදී එය මෙනෙහි වූ විට එයින් ඇති වූ චිත්ත පීඩාව සමඟ තණ්හාව නිසා මීළඟ භවයේදී ප්‍රේත හෝ භූත ආත්ම ඇතිවෙනවා. උදාහරණ වශයෙන් අපි හිතමු. බොහෝ මුදල් ඉඩකඩම්, ආහාර පාන තිබූ කෙනෙක් ඉන් සම්පූර්ණ ප්‍රයෝජනය ගැනීමට පෙර මිය යනවා. ඊට ප්‍රථම මරණාසන්න මොහොතේ මෙය සිහි වී ඇති කරගත් වෛරය, තරහව සමගයි මිය යන්නෙ. ඔබ දැකලා ඇති සමහර අය මරණාසන්නයේ යමක් කියන්ට තැත් කරනවා. නමුත් බැරි වනවා. තවත් සමහරු චිත්ත වේදනාවෙන් ඇඹරෙනවා. කිසිත් නොකියා මැරෙනවා. සමහර අය දීර්ඝ කල්පනාවෙන් ඔහුගේ දේපොළ, වස්තු සිහි කරමින්ම පණ යනවා. මේ ඔක්කොම ප්‍රේත භූත ආත්මවලට යනවා. ඉන් සමහර කොටසකට පින් අනුමෝදන් විය හැකියි. සමහරුන්ට බැහැ. නමුත් කරන ලද කුසලාකුසල අනුව ප්‍රතිඵල තමුන් විසින්ම ගෙවන්න ඕන බව බුදු දහමේ උගන්වනවා. මතකනේ මල්ලිකා දේවියගේ කතා පුවත. ඉතා පැහැදිලිව බෞද්ධ පොත්පත්වල සඳහන් වෙලා තිබෙනවා. කොච්චර පින්කම් කළ කෙනෙක් වුණත් එක සතියක් නිරයේ උපන්නාලු.

වෛද්‍ය විද්‍යාවේ තිබෙනව වගේ කිරුම් මිනුම්වලින් ඔප්පු කරන්ට බැරි වුණාට මේ වගේ දෘශ්‍යමාන අදෘශ්‍යමාන බලවේග විශ්වයේ තිබෙනවා. යහපත් විදියට සැරිසරන අයත් නැතිව නොවේ. එහෙත් එවැනි අය මනුෂ්‍ය ලෝකයේ උත්පත්තිය ලබන්නෙ ඉතාම කලාතුරකින්.

සමහර පවුල් ව්‍යාපාර තිබෙනවා. කිසිම හේතුවක් රහිතව හිටි හැටියෙම කඩා වැටෙනවා. බටහිර ඇත්තො නම් මේ හොල්මන්, ප්‍රේත, භූත ආකර්ෂණය විශ්වාස නොකරනවා යැයි විශ්වාසයක් පැවතුණත් ඒක මිථ්‍යාවක්. ඒ අයගේ කාටහරි අවශ්‍ය වූ අවස්ථාවක මේ වතාවන් ගුප්තවේදියට කියලා කරවා ගන්නවා. හැබැයි අප්‍රසිද්ධියේ. සමහර රටවල්වල හොල්මන්, ප්‍රේත, භූත විෂයක් හැටියට පරීක්ෂණ පවත්වනවා.

ඒ ආකාරයට පරීක්ෂණ පවත්වන ආයතන පවා තිබෙනවා. බටහිර ජර්මනියේ, කොලොන්ස් කියන ගම්මානයේ මේ විෂයය තිබෙනවා. පරීක්ෂණත් කරනවා. එසේ හොල්මන් ප්‍රදේශ, ගෙවල් ඒ විදියටම පවත්වාගෙන යනවා. ඒ පැත්තේ ඒ ගෙවල් වෙනස් කරන්නෙ නැහැ. අලුත්වැඩියා කරන්නෙ නැහැ. හැමදාම ගරා වැටිලා. ඒ ප්‍රදේශයම ජනාවාසයෙන් තොරයි. මිනිසුන් තනියෙන් ඇවිදින්නෙත් නැහැ. මහා මූසල පරිසරයක්. මේ විස්තර වගකීමෙන් සඳහන් කරනවා. මෙහි සිදුවන විපර්යාස, ජීවීන් අති ප්‍රබල කැමරා කාචවලත් සටහන් වෙනවා.

යහපත් ලෙස කාලා බීලා තම ව්‍යාපාරවල නිවැරැදිව නිරත වෙලා සිටි සමහර පවුල් එක පාරටම කඩාවැටෙනවා. පවුලේ සමඟිය නැතිවෙනවා. දරුවන් අතර තිබූ දෙමහල්ලන් අතර තිබූ සමාදානය අඩපණ වෙනවා නොවේ අඩපණ කරනවා. ඒවා ප්‍රේතයාගේ වැඩ. සමහර ස්ථානවල නිවා දමා තිබූ විදුලි බුබුලු දැල්වෙනවා. ඒවා අමතක වීමකින් වුණා යැයි සිතා බොහෝ දෙනා නිහඬ වෙනවා. රාත්‍රී කාලයට කවුදෝ ඇවිදින ඡායාව පෙනෙනවා. ශබ්ද ඇහෙනවා. බැලුවාම කවුරුත් නැහැ.

ඔබ දැකලා ඇති, අහලා ඇති සමහර පරණ බැංකු. මූල්‍ය ගොඩනැඟිලිවල රාත්‍රී කාලයට උඩු මහලේ ආරක්ෂක නිලධාරීන් ඉන්න කැමැති නැහැ. රාත්‍රී කාලයට විශේෂයෙන් යමෙකුට කවුදෝ මුදල් ගණන් කරනවා, කවුදෝ කතා කරන හඬ දෝංකාරය එනවා. සමහර වෙලාවට කවුදෝ ස්නානය කරනවා. දෙදෙනෙක් ගිහිල්ල බැලුවාම කවුරුත් නැහැ. මේවා වැඩිපුරම පවතින්නෙ අරක් ගත් ස්ථානවල. ඒ කිව්වේ මුල් කාලවලදී මේ සඳහා මූලික පියවරවල් නොගත් ස්ථානවලදී. හදිසි මරණ වෙන ස්ථානවලදී, සියදිවි හානිකරගන්නා ස්ථානවලදී සිදු වන මරණ ටිකක් භයානකයි. මේ අයට කිසදු පින් අනුමෝදනාවක් වෙන්ට බැහැ. කොපමණ ජනාකීර්ණ ප්‍රදේශයක් වුණත් කොළඹ ජාවත්තෙ එක්තරා නිවෙසකට රාත්‍රී 10ට පසුව කොහේදෝ සිට අතරමගදී ලස්සන ගැහැනියක් කුලී රථයකට නැඟ විත් ගොසින් උඩුමහලට යනවා. මුදල් දෙන්ටවත් පහළට බසින්නෙ නැහැ. මඳ වේලාවක පසු ඇගේ ස්වාමියා විත් ඒ මගේ මියගිය නෝනා කියලා ගාස්තුව දෙනවා. මේ ප්‍රේත සරදම්, මේ ප්‍රේත වර්ගය කාටවත් රිදවන්නෙ නැහැ. නමුත් සිද්ධිය දැන ගන්න අයට සිහිය නැතිවෙනවා. ඒ අය භයවෙනවා. මේ අයට පින් දුන්නට පින් අනුමෝදන් වන්ටත් බැහැ. මේ ප්‍රේතයෝ ඉවත් කරන්ට වන්නෙ ප්‍රේත තටුවක් දීමෙන්ම පමණයි. ඒක එම ස්ථානයෙදීම කළයුතු වෙනවා. මේ ප්‍රේත තටුවට නොඉඳුලෙන් බතක්, පලතුරු, කැවිලි, බුලත්, සුරුට්ටුවක් වැනි සියලුම දේ තිබිය යුතුයි. ගැහැනු ආත්මයක් නම් ඒ අයට පලඳනාවන්ද තබන්න ඕනෑ.

ඔබේ නිවසේ මෙවැනි කරදර තිබේ නම් ඔබ ප්‍රථමයෙන් පිරිසුදු සාම්බ්‍රානි ටිකක් ගෙන පිරිමි පොල්කටු 3ක් ගිනිබත් කර මුළු නිවසටම දුම් අල්ලන්න. ඔබේ ආගමේ හැටියට කිසියම් ගාථාවක් හෝ ඔරසමක් කියමින්. එහෙම දින 3ක් උදේ - හවස කරනකොට තාවකාලිකව නවතීවි. දැන් හඳුනාගන්න ඒ කරදර ඇති කළේ ප්‍රේතයා බව. දෙවනුව, හඳුනාගත් බලවේගයට උචිත දේ කරවාගන්න. මේවා ගොඩක් මුදල් වැයවන දේවල් නොවේ.

බොහෝවිට ප්‍රේතයා, භූතයා අපේ දියුණුව කඩන්නේ ඒ අය හැම තිස්සෙම පීඩිතව ඉන්නේ. බඩගිනි අයට පින් දීලා හරියන්නෙ නැහැ. අවශ්‍ය දේ දෙන්ට ඕනෑ. මේ ප්‍රශ්න ලංකාවේ විතරක් නොවේ තිබෙන්නේ. පිටරටත් ඕනතරම් තිබෙනවා. අපි ප්‍රතිකාර කරන්ට ඕනෑ මුදල් බලාපොරොත්තුවෙන්ම නොවේ. මේ ශාස්ත්‍රය ඉදිරියට ගෙනයන්ට, අපි උත්සාහ ගන්ට ඕනෑ.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.