මා හඳුනන සුබසෙත

සැප්තැම්බර් 29, 2023

අගනුවර මැදින් දකුණු දිශාවට හැඩවෙමින් ගලා යන සිසිල් දිය දහර ගී‍්‍රස්මය නිවාලයි. දිවා කාලයට බොල්කඩ පොළොවෙන් අහසට බුර බුරා නඟින තද රශ්මිය මේ නදියෙන් සිසිල් කරයි. මේ නිල්දිය දහර මැදිකර ගත් මහා ගොඩනැඟිලි පර්වතයකි. ඉදිරියෙන් පැළකර ඇති පුංචි පැළ දැන් තරුණ වයස පසු කරයි. මේ මහා ගොඩනැඟිල්ල කොළඹ බේරේ ගෙදරයි. ඒ ගැමියාගේ වාග් ඛණ්ඩයයි. එනම් ලේක්හවුසියයි.

ශ්‍රී ලක් දෙරණේ උතුරින් – දකුණින් නැඟෙනහිරින් හා බටහිරින් ලැබෙන සියලුම පුවත් එක්තැන් කර ඉතා සුළු වේලාවක් තුළ සැකසීම, මුද්‍රණය කිරීම, බෙදා හැරීම කිරීමට එම ගොඩනැඟිල්ල තුළ සේවය කරන අයත්, කළමනාකාරිත්වයත් සමත් වෙයි. ජාතික පුවත්පත් එවක වාණිජමය මුහුණුවරක් ගෙන ඇති ඡ්‍යොතිෂ්‍ය කරුණු ඉදිරිපත් කිරීමට මඟක් නොමැති විය. එය සත්‍යයෙන්ම ප්‍රශ්නයක් විය. දක්ෂයින්, ඡ්‍යොතිෂ බුද්ධිමතුන් සොයාගැනීම අසීරු වීම නිසා නිවැරැදි ඡ්‍යොතිෂ ක්‍රමයෙන් මන්දගාමී ගමනක යමින් සිටියේය. එම නිසාම ඡ්‍යොතිෂය නිවැරැදිව දන්නා අය සොයමින් අංශවල සැරිසැරූහ.

මහා පුදුමයකි. ඒ වර්ෂ 1969 ය. තවත් දක්ෂතාවයක් සොයා ගැනීමක් විය. මේ ගොඩනැඟිල්ල තුළම ඡ්‍යොතිෂ දක්ෂයන් ප්‍රාඥයන් සිටිනා බවය. මේ ගොඩනැඟිල්ලට ඇතුළු වන ස්ථානයෙන් දකුණු දෙසට හැරී මඳක් ඉදිරියට යෑමේදී පුංචි පඩි පෙළකි. එතැනින් තව කෙටි දුරක් නැඟෙනහිරට යෑමේදී තරමක උස්වූ ගොඩනැඟිල්ලක එක් කාමර කුටියක මේ ඡ්‍යොතිෂ ප්‍රාඥයන් පෙරදා කතිකා කරගත් පරිදි අසුන් ගත්තහ. තර්ක විතර්කයෙන් අනතුරුව සියලුම ඡ්‍යොතිෂ වේදින්ගෙග් ලේඛක මහතුන්ගේ තෙවැනි ඇස ක්‍රියාත්මක විය. ඉන් කෙනෙක් පංචාංගය ගැනද, තවකෙක් අක්ෂර මාත්‍රා ගැනද, තවෙකක් රාහු කාලය පුර තිථිය, අවතිථිය, ගැනද පස්වැන්නා ඡ්‍යොතිෂ පක්ෂියා සමඟ වායුගණ, සූර්යගණ, ආකාශ ගණ, චන්ද්‍ර ගණ, ගිනි ගණ, භූමි ගණ, ජල ගණ, හා දිව්‍ය ගණ යනුවෙන් ගණ අටක් සම්බන්ධව ද පැහැදිලි කෙරිණ. සැම දෙනාගෙම නෙත් නළලත වැටිණි.

සැම දෙනාගෙම තීරණය ඒකමතික විය. එනම් පුවත්පතක් අලුතින් ආරම්භ කළ යුතුව ඇති බවත්, එය සැමටම සෙතක් සැලසෙන අයුරින් ඇරඹිය යුතු බවත් යන්න විය. සාකච්ඡා මඳකට නිසල විය.

කිසියම් පුවත්පතක් ආරම්භ වන්නේ නම් එය සුබසෙතක් විය යුතු වන්නේ මැයි පරිපාලනයේ අදහසද විය. අක්ෂර වින්‍යාසය, ගණ පිහිටීමද මැනවින් පරීක්ෂා කිරීමෙන් අනතුරුව ලඝු අක්ෂර හතරකින් හා මාත්‍රා හතරකින් සැදුම් ලත් “සුබසෙත” බිහි විය. ඉන් සැමටම සුබසෙතක් විය.

එතැන් සිට මේ පුංචි පැළෑටිය දලු ලියලමින් අතුබර වෙමින් රූක්ෂ ගසක් විය. ගසක අතු ලියලනවාක් මෙන් පත්‍රයේ පිටු සංඛ්‍යාවද ක්‍රමයෙන් වැඩිවිය. එය “සුබසෙත” කාර්ය මණ්ඩලයේ කාර්යක්ෂමභාවයයි. සුබසෙත කියවන පාඨකයන් හැමදෙනාටම පහසුවෙන් ලග්න පලාපල ඡ්‍යොතිෂය ගැන නිවැරැදි දැනුම ලබා ගැනීම රටේ ඉදිරි සිදුවීම් දැනගැනීම මෙයින් පහසුවිය.

ලංකාවේ සුප්‍රසිද්ධ ඡ්‍යොතිර්වේදීන්, ගුප්තවේදින්, වෛද්‍යවරුන් සකසා එවන කරුණුූ ඇතුළත් පුවත් අතීතයේ සිටි හා වර්තමානයේ සිටින ජ්‍යෙෂ්ඨ, ශ්‍රේෂ්ඨ කර්තෘවරුන්ගේ මහඟු පරීක්ෂණයට භාජනය වීමෙන් පසු මුද්‍රණයට යැවෙන්නේ ඉතාම නිවැරැදි කරුණු පමණක් බව සැමදෙනාම දන්නා කරුණකි.

බේරේගෙදර මහා ව්‍යාපාරය ලක්වැසි, ලෝවැසි ජනයා අතර මහත් ප්‍රසිද්ධියක්. ප්‍රයෝජනයක් ලැබීම ගැන සුබසෙතද ක්‍රියාකාරි කොටස්කරුවෙකු බව ආඩම්බරයෙන් සත්‍යවාදිවම නොකියාම බැරිය.

සුබසෙතේ ඒකීය අරමුණ වනුයේ දෙස් විදෙස් සැමටම ඡ්‍යොතිෂය සම්බන්ධව කිසියම් හෝ නිවැරැදි මතයක් උගැන්වීම හා සුබවාදිව සෙතක් උදා කිරීමයි. සුබසෙත හැමදා අප සමඟය. අපි හැමදා සුබසෙත සමඟය.

රන් ජුබිලියත් පසුකරමින් තවත් සිවුවසරකට පා තබන අද දවසේ තවත් අඛණ්ඩ දිගු ගමනකට ප්‍රාර්ථනාවක් ලෙසින් මේ මල් පොකුර පිදේවා.

 

 

පාරම්පරික ඡ්‍යොතිෂවේදී, ගුප්තවේදී,

මීපේගණිතගේ

රන්ජිත් විද්‍යාරත්න

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
12 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.