පැතිර පවතින වසංගත රෝගය නිවාරණයට සෙත්කවි

දෙසැම්බර් 11, 2020

මෙම විශ්වයට පහළ වුණු වටිනාම අධ්‍යාත්මික ගුණ ප්‍රගුණ කළ නිවනෙහි සැපය තුන් ලෝක සත්වයාට උරුම කළ බුදුපියාණන් වහන්සේගේ මහා කාරුණික බුදු ගුණ අනන්තය. අප්‍රමාණය. එම බුදු ගුණ සම්බන්ධකොට මෙහි පළමු වෙනි සෙත් කවිය සකස් කොට ඇත.

එසේ වූ මහා කාරුණික බුදුපියාණන් වහන්සේට බුදු වීමට පෙර සසරෙහි පුරන ලද පාරමී, උප පාරමී, පරමත්ථ පාරමී යන සමතින්සත් පාරමිතාවන් පිළිබඳව දසමර සෙන් අභියස අභීතව සාක්ෂි දීමට පැමිණියේ මහී කාන්තා දේව මෑණියන්ය. මේ මිහිපිට මහ පොළවට අධිපති මෑණියන්ට පැතිර පවතින වසංගත රෝගය දුරු කර දෙන ලෙස කරනු ලබන ආයාචනය මෙහි දෙවැනි සෙත් කවියෙන් රචනා කොට ඇත.

සදෙව් ලොව තල වාසේ දිව්‍ය ලෝක 02 කට අධිපති දහසක් නෙත් ඇති ශක්‍ර දිව්‍ය රාජයාණන් වහන්සේගේ දේව කරුණාව ප්‍රබලය. අපි සමහර විට දුකක් වේදනාවක් ඇති වුණ වෙලාවක කියන්නේ සත් දෙවිදුටවත් මේ දුක පේන් නැද්ද කියා ය. දහසක් නෙත් ඇති සත්දෙව් රජිදුණි ඔබටත් මේ දුක නොපෙනේ නම් දෙනෙත් ලබා ඇති අයගෙන් පිහිටක් අයදින්නේ කොහොමද මේ මට යනුවෙන් රචිත ප්‍රසිද්ධ ගීතයක් ද ඇත. එසේ නෙත් දාහක බැල්මකින් ලොව දෙස බැලිය හැකි සක්‍ර දිව්‍ය රාජයාණන් වහන්සේට මෙහි තෙවැනි සෙත් කවිය රචනා කොට ඇත.

මහා තෙද බලැති පරනිම්මිත වසවර්ති නැමැති ඉහළම දිව්‍ය ලෝකයෙහි වැජඹෙන වසවර්තිමාර දිව්‍ය පුත්‍රයාගෙන් ආයාචනයක් කරමින් මෙහි සිවුවැනි කවිය සකස් කොට ඇත. අපේ පැරණි යතිවරයන් වහන්සේලා සහ ගිහි පින්වතුන් මෙම වසවර්ති මාර දිව්‍ය පුත්‍රයාටද දෙවියන්ට පිං දීමේදී පින් අනුමෝදන් කොට ඇත.

සුබසෙත ඡ්‍යොතිෂ්‍ය පුවත්පත පරිශීලනය කරන පාඨක ඔබ සැම දෙනාට පමණක් නොව ආගම් භේදයකින් තොරව මුළු විශ්වයටම සාධාරණ වන මෙම සෙත්කවි පැතිර පවතින වසංගත රෝග නිවාරණය පිණිස උදේ පාන්දර සහ සවස නින්දට යෑමට පෙර භාවිත කරන මෙන් ඉතා කරුණාවෙන් ඔබ සැමගෙන් ඉල්ලා සිටිමි.

 

හැම හැම සිතකම ඉවසිලි වේවා

හැම හැම ගමකම සැනසිලි වේවා

හැම හැම රටකම සමගිය වේවා

මුළු ලොව දසතම සුවසෙත වේවා

 

මහා කාරුණික බුදු පියාණන් වහන්සේට නමස්කාර වේවා...

 

රුදුරු මරසෙන් පැරදූ බලයෙනි සමිඳුු සක්වල තලය නාවා

මියුරු දහමෙහි සිහිල ලබමින සියලු රෝ දුක් බිය නිවේවා

අඳුරු කුළුමෙන් පහව වෙසෙසින අපල වස් දොස් බිය මැකේවා

මහරු බුදු ගුණ සරණ බලයෙනි ලොවට සුවසෙත උදාවේවා

 

මහී කාන්තාව දේව මෑණියන්ට

 

පතල ලෝකුස තෙදස පතුරණ සතට සෙත සැදු නිසල බල යෙන

විසුළ ඔද තෙද නිමල ගුණ පිරි අකිළ මේයුත් ළතෙත් ගුණ දෙන

සකල සතනෙත කඳුළ දුරුකොට මුවග හසරැළි ජනිත කර මින

කිරුළ බඳු මිහිකත් මව්නි බිය දුරැර සැනසුම සපත කළ මැන

 

මහා තෙදබලැති ශක්‍ර දිව්‍ය රාජයාණන් වහන්සේට

 

සකල සත වෙත පතල නෙත පෑ නිමල කරුණා ගුණෙනි පූරිත

කුසල පොබ කොට අමිල සෙත සැදු නිසල පිරිපුන් හදිනි සෝභිත

දිදුල ලෝතල පතල පඬුපුල් අසුන හොබවන ලොවට රාජිත

අපල දුරුකොට වසංගත බිය නිවාලනු සක් දෙවිඳ පාමෙත

 

මහා තෙදබලැති වසවර්ති මාර දිව්‍ය පුත්‍රයාණන් වහන්සේට

 

නුබද දෙරණත සසල කරවා සකල ලෝකුස තෙදස පතුරන

නිබද රුදු බිය කඳුළ දුරවා සතට දොම්නස උරුම කරමින

නොමද තෙදබල තුමුල බලපා පතුල පරනිම්මිතෙහි වොරඳන

සුරිඳ වසවතු අභය දෙනු මැන සතට කුළුණැස යොමා අදරින

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 9 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.