වර්ෂ 2024 ක්වූ November 08 වැනිදා Friday
ඕනෑවට වඩා ඕනෑ නැති කළුකම්මේරිය
“ළමයි...මොකද මේ එළියට වෙලා කරන්නේ. දැන් තියෙන්නේ ද්‍රව්‍ය ගුණ පාඩම නේද?.”යනුවෙන් ආයුර්වේද වෛද්‍ය විද්‍යාලයේ අවසාන වසරේ සිසුන් වෙත පැමිණි ජයසිංහ කථිකාචාර්යවරයා විමසීය.
“ඔව් සර්. සර් එනකම් තමයි බලන් හිටියේ.” “හොඳයි එහෙනම් අපි අද පාඩම පටන් ගමු. අපි අද කතා කරන්නේ ඖෂධීය වශයෙන් වගේම ආහාරමය වශයෙන් වැදගත් වන පැළෑටියක් ගැන ඒ තමයි කළුකම්මේරිය කියන පැළෑටිය.
ඔය ළමයි දන්නවා අප ජීවත් වන මේ සුන්දර පරිසරය තළ දකින්න තියෙන තුරුලතා අතුරින් ඉතා විශාල ප්‍රමාණයක් තියෙන්නේ ඖෂධීය වශයෙන් වැදගත්කමක් දක්වනු ලබන ශාකයන්. ඒ වගේම ඖෂධීය සහ ආහාරමය වශයෙන් වැදගත් කමක් දක්වන ශාකයන්ද බොහෝ ප්‍රමාණයක් තියෙනවා. ඒ වගේම ආහාරමය වශයෙන් වගේම ආර්ථික වශයෙන් වැදගත් ශාකයන්ද රාශියක් තියෙනවා. මේ අතිවිශාල ශාක ප්‍රමාණය අතුරින් වඳ වීගෙන යන ශාකයනුත්, නියම ආකාරයෙන් හඳුනානොගත් වගේම හඳුනාගන්න අපහසු ශාකයනුත් වෙනවා.”
“එතකොට සර් කළුකම්මේරිය මොන කාණ්ඩයටද අයිති වෙන්නෙ.”
“කළුකම්මේරිය කියන්නේ ඖෂධීය සහ ආහාරමය වශයෙන් වැදගත් වන ශාකයක්.
මේ පැළෑටිය අපේ රටේ සුලභව දකින්න ලැබෙන ශාකයක්”
“කළුකම්මේරිය මොන වගේද සර්.”
“කළුකම්මේරිය කුඩා මිරිස් පැළයකට බොහෝ සෙයින් සමානයි. මේ ශාකයේ සිලින්ඩරාකාර කඳ තරමක් කළු පාටයි. මේවායේ හැදෙන ගෙඩි කුඩායි. ඒ වගේම රවුම් හැඩයක් ගන්නවා. ඉදුණාම කළු පාටට හුරු තද දම් පාටක් ගනු ලබනවා. මේ ගෙඩි කුඩා ළමයින් වගේම පක්ෂීන්ද ප්‍රිය කරන රසවත් ආහාරයක්. මේ සමහර ගෙඩි රතු පාටින් යුතු නිසා සමහර අය රත්කම්මේරිය කියලත් කියනවා. ගම්බද මිනිසුන් නිතරම පලාවක් විදියට මෙය ආහාරයට ගනු ලබනවා.”
“සර්. කළුකම්මේරිය අපේ රටේ මොන ප්‍රදේශ වලද වැවෙන්නෙ?”
“අපේ රටේ අඩි 9000 දක්වා ප්‍රදේශවල වැවෙනවා. අනුරාධපුර, පොලොන්නරුව, මාතලේ, මහනුවර, නුවරඑළිය, ගාල්ල වගේ ප්‍රදේශවල බහුලව දකින්න පුළුවන්. ඒ වගේම පේරාදෙණිය උද්භිද උද්‍යානය නාවින්න ආයුර්වේද පර්‍යේෂණායතනය හල්දුම්මුල්ල, පට්ටිපොල, ගිරාඳුරුකෝට්ටේ ආදි ඔසු උයන්වලත් දකින්න පුළුවන්.
විදේශීය වශයෙන් ගත්තාම ඝර්ම කලාපීය රටවල බහුල වශයෙන් පැතිරී තියෙනවා.ඉන්දියාවේ අඩි 9000 දක්වා ප්‍රදේශවල වැවෙනවා..වගාබිම්වල සුලබ වල් පැළෑටියක් විදියට හදුන්වන්න පුළුවන්.”
“මේ කළුකම්මේරිය පැළෑටිය කොච්චර විතර උසයිද සර්”
“සාමාන්‍යයෙන් සෙ.මි. 50-100 විතර උසට වැවෙන සෘජු වාර්ෂික පැළෑටියක’, කඳ සිලින්ඩරාකාරයි. සිනිදු මඳ බූවක් සහිතයි. පත්‍ර අණ්ඩාකාරයි. මේවායේ මල් පිපීම අවුරුද්ද පුරාම සිදුවෙනවා. මල් කහ පාටයි. මේවායේ හටගන්නා ගෙඩි වටකුරුයි ඉඳුණාම කළුපැහැතියි. මේ ගෙඩිවල ඇතුළෙ බීජ රාශියක් තියෙනවා.
එතකොට සර් කළුකම්මේරිය සහ කළුකැම්මෙරිය කියන නම් දෙකම යෙදෙනවා ද?.”
“ඔව්. සිංහල භාෂාවෙන් මේ නම් දෙකම යෙදෙනවා.
සංස්කෘත භාෂාවෙන් කාකමාචී, කාකාෂ්ටා, වායසී, බහුඵලා, කටුඵලා, කුෂ්ඨග්නී, කුෂ්ඨනාශනී ආදි නම් රාශියක් යෙදෙනවා.
හින්දි භාෂාවෙන්
මාකෝය යන නාමය යෙදෙනවා.
දෙමළ භාෂාවෙන්
මනත්කක්කාලයි කියල යෙදෙනවා.
ඉංග්‍රීසි භාෂාවෙන් Night Shade Garden Night Shade යනුවෙන් යෙදෙනවා.
කළුකම්මේරියවල උද්භිද විද්‍යාත්මක නාම යෙදෙන්නේ Solanum nigram Linn සහ Solanum americanum Mill යනුවෙනුයි. මෙහි කුලය වන්නේ SOLANACEAE හෙවත් කණ්ඨකාරී කුලයයි
මෙහි සම්පූර්ණ පැළෑටිය සහ ගෙඩි ඖෂධ යෝග සඳහා යොදා ගනු ලබනවා
ඒ වගේම ළමයි මේ කළුකම්මේරිය ගෙඩිවල සීනි සහ සොලනිඩීන් (Solanidin) නම් පදාර්ථය මිශ්‍ර වුණු සොලනින් (Solanin) නම් උපක්ෂාරය අන්තර්ගත වෙනවා.”
“එතකොට සර් කළුකැම්මේරියවල ඖෂධීය වැදගත්කම කොහොමද ?”
“කළුකම්මේරිය රසයෙන් තික්ත යි. ගුණයෙන්. ලඝු හා ස්නිග්ධයි. වීර්‍යයෙන් අනූෂ්ණයි. විපාකයෙන් කටුක යි.
මෙහිදී ස්නිග්ධ ගුණයත්. අනූෂ්ණ වීර්යයත් නිසා වාතයත් තික්ත රස සහ කටුක විපාකය නිසා පිත හා සෙම දෙකත් නසනු ලබනවා.
මේ නිසා කළුකම්මේරිය තුන්දොසම නසනු ලබනවා.
ඒ නිසා තුන්දොසින් හටගත් රෝග සඳහා ප්‍රයෝග කරනු ලබනවා.
බාහිර වශයෙන් කළුකම්මේරිය ඉදිමුම් නසන සහ වේදනා සමනය කරන ගුණයෙන් යුතුයි. ඒ නිසා අභ්‍යන්තර අවයවවල ඉදිමුම් සඳහා වගේම බාහිර ඉදිමුම්වලටත් යොදා ගනු ලබනවා. තුවාල වෘෂණ කෝෂ ඉදිමුම්, අක්මා ඉදිමුම්, සන්ධිවාත, උදර රෝග, ආදියට කළුකම්මේරිය ආලේප වශයෙනුත්. උගුර මුඛය ආදි ස්ථානවල මෙහි ක්වාථය ගණ්ඩූෂ වශයෙනුත් යොදන්න පුළුවන් ඒ වගේම කන් කැක්කුම් නාසා රෝග, ඇස් රෝග ආදියේදී කළුකම්මේරිය යුෂ මදක් රත්කර යොදනු ලබනවා.
අභ්‍යන්තර වශයෙන් බඩගිනි අඩුකම, වමන, අක්මා රෝග, අක්මා ඉදිමුම්, ප්ලීහා ඉදිමුම්, අර්ශස්, උදර ප්‍රවාහිකා සහ උගුර කට වණවීම ආදියේදීත් යොදනු ලබනවා.
එසේම කළුකම්මේරිය හදවතට හිතකරයි.ඉදිමුම් නසන සහ ලේ පිරිසිදු කරන ගුණ යුතුයි. එනිසා හෘද් රෝග, ඉදිමුම්, වාත රක්ත, ආමවාත.ආදි රෝගාබාධයන්ට යොදනු ලබනවා.
ඒ ඉදිමුම්වලදී කළුකම්මේරිය කොළත් යොදා ගනු ලබනවා.
ඒ වගේම කළුකම්මෙරිය සෙම් නසන ගුණයෙන්ද හික්කා හා ශ්වාස නසන ගුණයෙන්ද යුතුයි.
ඒ නිසා කැස්ස, හික්කාව, ඇදුම, ස්වරභේදය ආදි රෝගවලදි කළුකම්මේරිය ඇටවල පිටි යොදා ගනු ලබනවා.
ඒ වගේම කළුකම්මේරිය මූත්‍ර කාරක ගුණයෙන් යුතු නිසා වකුගඩු රෝග, මූත්‍ර අමාරු පූයාමේහ ආදියට යොදනු ලබනවා
එසේම දහඩිය ඇති කරන සහ කුෂ්ඨ නසන ගුණ කළුකම්මේරියවල තියෙන නිසා සමේ රෝගවලටත් හොඳයි .
උණ නසන ගුණ මෙහි ඇති නිසා කල්ගත වූ උණ සඳහාත් යොදනු ලබනවා.
අක්මාවේ සහ ප්ලීහාවේ රෝග තත්ත්වයන්ද නැසෙන අතරම රෝගියාගේ බලය හා ශක්තිය වැඩිදියුණු වෙනවා.
ඒ වගේම මේවායේ විෂ නසන ගුණයත් පවතින නිසා විෂ ශරීරගත වූ විට වහාම කළුකම්මේරිය යෙදුවහොත් එම විෂ මූත්‍ර මාර්ගයෙන් ශරීරයෙන් බැහැරට ඇදි යනවා.”
“එතකොට සර් කළුකම්මේරිය අඩංගු ඖෂධ යෝග මොනවාද ?”
ළමයිනේ කළුකම්මේරිය අඩංගු ඖෂධ යෝග රාශියක් තියෙනවා.
කුෂ්ඨ සඳහා
කළුකම්මේරිය කොළ අඹරා ආලේප කරනු ලබනවා.
ඉදිමුමට
කළුකම්මේරිය, රාබු, වේබඩ, කොහොඹ දළු. ආදිය ප්‍රයෝග කරනු ලබනවා
වාතයෙන් හටගත් කැස්සට
කළුකම්මෙරිය කොළ මලවා ආහාරයට එක්කර ගනු ලබනවා.
කෙස් කළු කිරීමට
කළුකම්මේරිය ඇට සහ කළුතල සමව ගෙන යන්ත්‍රයෙහි බහා මිරිකා තෙල් ගෙන නස්‍ය කරනු ලබනවා.
මී විෂට කළුකම්මේරිය යුෂ බීමට දෙනු ලබනවා. එසේම උන්මාදයන් නිසා ඇති වන නින්ද අඩුකමට කාකමාචී තෙල හිස ගල්වනු ලබනවා. විසර්ප, තුවාල ආදියට කළුකම්මේරිය යුෂයෙන් ඉඟුරු අඹරා ගානවා.
මේ ආදි ඖෂධ යෝග රාශියක් කළුකම්මේරිය අඩංගුව රෝගාබාධ රාශියක් සඳහා ප්‍රයෝග කරනු ලබනවා. ඒ වගේම කළුකම්මේරිය අඩංගු සංස්කාරික ඖෂධයන්ද තියෙනවා
ච්‍යවන ප්‍රශාව ලේහයේ එක් උපාදානයක් වන්නේ කළුකම්මේරියයි.
එසේම රසරාජ රසය ඇඹරීමේදී කළුකම්මේරිය යුෂ යොදා ගනු ලබනවා.
ඒ වගේම කාකමාචී අර්කය ද සංස්කාරිජ ඖෂධයක්.” “එතකොට සර් කළුකම්මේරියවල යොදන මාත්‍රාවනුත් තියෙනවාද?” “ඔව් අමු පැළෑටියේ ක්වාථය ඩ්‍රෑම් 1- 2 දක්වා දලු යුෂ. කර්ෂ 1-5 දක්වා
ඒ වගේම තමයි ළමයි, කළුකම්මේරිය ඇට අධික මාත්‍රාවෙන් ගත්තොත් වමන, අතීසාර, පිපාසය, උදර වේදනා, හිසේ වේදනා, ප්‍රලාපය, ක්ලාන්තය, ඇසේ කණිනිකාව පළල් වීම, ආක්ෂේපය සහ සන්න්‍යාසය ක්‍රමයෙන් හටගනු ලබනවා. අවසානයේ දී මරණය ද විය හැකියි. ඒ වගේම කළුකම්මේරිය ඇට විෂ වුණාම අත්තන විෂට යොදන චිකිත්සාවම කළ යුතුයි
ඒ වගේම තමයි උක් හකුරු සමඟ, කළුකම්මේරිය යෙදීම හොඳ නැහැ. බැදපු මත්ස්‍ය මාංසවලින් නික්මෙන තෙල්වලින් තිප්පිලි හෝ කළුකම්මේරිය පැසවා කෑමෙන් මරණය සිදුවන බවත් දක්වා තියෙනවා.
ඉතින් ළමයිනේ කළුකම්මේරියවල ගුණා ගුණ තමයි මම අද පාඩමින් කළේ.”
“ඔව් සර් කියල දීපු දේවල් හොදින් අවබෝධ කර ගත්තා. සර්ට ස්තුතියි.”
පොල්ගොල්ල ශාස්ත්‍රාරවින්ද
වෛද්‍ය විද්‍යාලයේ කථිකාචාර්‍ය
වෛද්‍ය මධුර පරණවිතාන