වර්ෂ 2024 ක්වූ November 08 වැනිදා Friday
කාම ශක්තිය වඩන සම පැහැපත් කරන වැටකේ
ආයුර්වේද වෛද්‍ය විද්‍යාලයේ කථිකාචාර්‍යවරයෙකු වූ නිශ්ශංක මහතා සති අන්තයේ නිවෙසේ සිටින විට ඔහු හමුවීමට පැමිණියේ ආයුර්වේද විද්‍යාලයේ අවසන් වසරේ සිසුවෙක් වන රෝහණ යි.
“මොකද රෝහණ උදෙන්ම මොකක් හරි වුවමනාවක් ද?”
“වුවමනාවක් තමයි නිශ්ශංක සර් මම ආවෙ ඖෂධීය ශාකයක් ගැන තොරතුරු ටිකක් දැන ගන්නයි.”
“මොන ශාකය ගැනද රෝහණ ඔයාට මගෙන් දැන්ගන්න ඕනේ?”
“සර්, අපේ බෙහෙත්වලට යොදා ගන්නා වැටකේ ගැන කරුණු ටිකක් දැන ගන්නයි මට අවශ්‍ය.”
රෝහණ, වැටකේ කියන්නේ අපේ තියෙන ඖෂධීය සහ ආහාරමය වශයෙන් වැදගත් වන තුරුලතා අතුරින් තවත් එක් ප්‍රධාන ශාකයක්. මේ ශාකය පඳුරුමය ශාකයක්. ඒ වගේම දේශීය වෛද්‍ය ක්‍රමයේ මෙන්ම ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේත් දක්නට ලැබෙන රෝගාබාධ රාශියක් සඳහා යොදන ඖෂධ යෝග සහ සංස්කාරික ඖෂධ සඳහා බෙහෙවින් ගනු ලබන පඳුරක්
එසේම වැටකේ නමේ අගට යෙදෙන කේ යන අක්ෂරය කේතකී යන්න කෙටි වූවක් ලෙස හිතන්න පුළුවන්. ඒ වගේම මේවා වැටට ගනු ලබන නිසා වැටකේ වූවා යැයිද සලකනවා.
ඒ වගේම රෝහණ මේවායේ මුහුදුබඩ වැවෙන කේ වර්ගය මූදුකේ නමිනුත් ඕ(ඔය) මැදට වැටී තිබෙන වර්ගය ඕකේ ලෙසත් හඳුන්වනු ලබනවා .
“එතකොට සර් වැටකේ කොයි ප්‍රදේශ වලද වැවෙන්නේ?”
“ශ්‍රී ලංකාවෙ බොහෝ ප්‍රදේශවල දකින්න පුලුවන් රෝහණ. විශේෂයෙන් මුහුදුබඩ ප්‍රදේශවල බහුල වශයෙන් දක්නට ලැබෙනවා. ඒ වගේම විදේශීය වශයෙන් ගත්තාම ආසියාතික රටවල වෙරළාශ්‍රිත ප්‍රදේශවල දකින්න තියෙනවා. සමස්ත භාරතයේමත මියැන්මාරය, අන්දමන් දූපත, ඉරානය සහ අරාබි දේශයන් ආදියේත් දක්නට ලැබෙනවා.”
“සර් වැටකේ පඳුරු මීටර් 5 ක් 6ක් විතර උසට වැවෙනවානේද?”
“ඔව්. සාමාන්‍යයෙන් මීටර් 5-7 ක් විතර උසට වැවෙන පඳුරුමය ශාකයක්. මෙහි කඳෙන් පැන නගින මුල් පොළොව මතුපිටදි දැකිය හැකියි. මේ වායව මුල් ශාකවලට ආධාරක ලෙසත් ක්‍රියා කරනු ලබනවා. මෙහි පත්‍ර සරලයි. දිගයි. පත්‍ර දාර කටු සහිතයි. ඒවා ඉදිරියට උල් වෙලා තියෙන්නේ. මේවායේ මල් වර්ෂා කාලයේ හටගන්නවා .
මේ මල් සුවදවත, එසේම පුදපූජාවලදී මේ මල් විශේෂයි. මේවායේ හටගන්නා ගෙඩි වටකුරුයි. තැඹිලි හෝ දම් පැහැයක් ගනු ලබනවා .
“එතකොට සර් වැටකේවල වෙනත් නම් ඒවගේම ප්‍රභේද ආදිය කියන්න පුළුවන් ද?
“ඔව් පුතා වැටකේවල සිංහල නාමය වැටකේ මයි.
සංස්කෘත භාෂාවෙන්
ක්‍රකජ්දා, දීර්ඝපත්‍රා, මේධ්‍යා, කණ්ටදලා, ක්‍රකචා, දල පුෂ්පා, තාප ප්‍රියා, සුචීපුෂ්ප, ජම්බුකාකේත,කේතක, කේතකී, ධූලිපුෂ්පිකා, ආදි නම් රාශියක් තියෙනවා
හින්දි භාෂාවෙන්
කේතකී සහ කේවරා නම් යෙදෙනවා
දෙමළ භාෂාවෙන්
ජවනාත්වේද, කලම්වේද යන නම් යෙදෙනවා
ඉංග්‍රීසි භාෂාවෙන්
Screw Pine, Fragrant Screw Pine යන නම් යෙදෙනවා
වැටකේ වල උද්භිද විද්‍යාත්මක නාම ලෙස
Pandanus kaida
Pandanus tectorius Soland
Pandanus odoratissimus Linn
යන නාමයන් යෙදෙනවා.
කුලය PANDANACEAE හෙවත් කේතක කුලය යි. ඒ වගේම වැටකේවල ඖෂධීය අංග වන්නේ මුල, වැටකේ අරටු, දඬු, මල්, ගෙඩි, ඇට ආදියයි.
එතකොට නිශ්ශංක වැටකේවල ප්‍රභේද ගත්තාම ධන්වන්‍තරී නිඝණ්ඩුවට අනුව
1 කේතකී-පුරුෂ පුෂ්ප වෘක්ෂය
2 ස්වර්ණ කේතකී-ස්ත්‍රී පුෂ්ප වෘක්ෂය වශයෙන් ප්‍රභේද 2යි
මෙයට අමතරව ශ්‍රී ලංකාවේ ව්‍යවහාර වන ප්‍රභේද ගත්තාම
1 මූදු කේය්යා
2 ඕකේය්යා
3 දුනුකේය්යා
4 වැටකේය්යා වශයෙන් ප්‍රභේද 4ක් තියෙනවා.
“එතකොට සර් වැටකේවල ඖෂධීය ගුණ කර්ම ගැනත් කරුණු ටිකක් දැන ගන්න පුළුවන් නම් හොඳයි.”
“පුතා රෝහණ වැටකේවල ඖෂධීය ගුණ කර්ම ගැන සැලකුවාම.
රසයෙන් තික්ත..මධුර සහ කටුක රසයි.ගුණයෙන් ලඝු හා ස්නිග්ධ යි. වීර්‍යයෙන් අනූෂ්ණයි, විපාකයෙන් කටුක යි
දෝෂ අනුව සැලකුවාම
වැටකේ වල ස්නිග්ධ ගුණ ඇති නිසා වාතයත් තික්ත හා මධුර රස ඇති නිසා සෙම්..පිත් දෙකත් සමනය වෙනවා. මේ නිසා තුන්දොස් සමන ගුණ වැටකේවල තියෙනවා .
ඒ නිසා සාමාන්‍යයෙන් තුන්දොසින් හට රෝගවලටත් විශේෂයෙන් සෙම් පිත් රෝගවලටත් බෙහෙවින් යොදාගනු ලබනවා
ඒ වගේම මෙය වර්ණය ඇති කරන ගුණයෙන් ද වේදනා නසන ගුණයෙන් ද ආක්ෂේප නසන ගුණයෙන් ද කෙස්වලට හිතකාරී ගුණයෙන් ද දුර්ගන්ධ නසන ගුණයෙන් ද තුවාල සමන ගුණයෙන් ද යුක්තයි.
මේ නිසා වැටකේ මල් වලින් සකස් කල තෙල හිසේ වේදනා, කටී වේදනා, ආමවාත ආදියේදී ආලේප ලෙස යොදනු ලබනවා .
එසේම වැටකේ මල්වල පරාග නස්‍ය ලෙස යෙදුවිට අපස්මාරයේ ( මීමැස්මොර) වේගය අඩුකරනු ලබනවා.
තෙල කනට දැමුවාම කන්කැක්කුම සංසිදෙනවා.
එසේම තුවාලවල ගෑවිට තුවාල ඉක්මනින් ගොඩවෙනවා.
ඒ වගේම කෙස් වැටීම්. ඉදීම්වලදී වැටකේ යෙදු තෙල් විශේෂ ගුණ ගෙන දෙනවා
ශාරීරික දුර්ගන්ධතාවලදිත් මේ තෙල් යෙදීම ඉතා වැදගත් .
එසේම මේ තෙල් ආඝ්‍රාණය කිරීමෙන් ශාරීරික දුබලතා සහ මහන්සිය පහවී චිත්ත ප්‍රසාදය හටගනු ලබනවා
එසේම වැටකේ වල ඖෂධාංගවලින්
මොළයට වගේම බුද්ධි ඉන්ද්‍රියන්ටත් බලය ලබා දෙනවා. ඒ නිසා මොළයේ දුබලතා නිසා හටගත් රෝග සදහාත් යොදනු ලබනවා
එවගේම බඩගිනි අඩුකම අජීර්ණ සහ මළ බද්ධය රෝගවලටත් ගුල්ම රෝග සඳහාත් යොදනු ලබනවා. ඒ වගේම හදවත් රෝගවලටත් යෙදිය හැකි අගනා ඔසුවක් තමයි වැටකේ. එසේම වැටකේ අරළු ප්‍රමේහ රෝගයන්ට විශිෂ්ට ගුණ ගෙන දෙනවා. තවද වැටකේ අරළු යොදා සකස් කල කිරි කෂාය ගර්භ ස්‍රාවය වැළැක්වීමට සහ වඳභාවයට හේතු වන තත්ත්වයන් මැඩලීමට උපකාරී වෙනවා. ඒ වගේම වැටකේ මල් කාම ශක්තිය වර්ධනය කිරීමට බොහෝ සෙයින් උපයෝගි කරගනු ලබනවා. එසේම වැටකේවල දහඩිය ඇති කරන, කුෂ්ඨ නසන සහ වර්ණය ඇති කරන ගුණ යුතු නිසා සමේ ඇතිවන වර්ණ විකෘතිතා යථා තත්ත්වයට පත් කිරීමට සහ කුෂ්ඨ රෝග සමනය කිරීමට බෙහෙවින් උපකාරී වෙනවා.
ඒ වගේම පුතා වැටකේ සහිත ඖෂධ යෝග සැලකුවාම
මූත්‍ර කෘච්ජ්‍රය (වේදනාවෙන් මූත්‍ර පිටකිරීම ) සඳහා වැටකේ යුෂයෙන් වැටකේ අරළුවල අගිස් වලින් කළ කල්කය යොදා සිඳගත් ඝෘතය පෙවීම සුදුසුයි.
වාත ගුල්මයට - වැටකේ ක්ෂාරය තලතෙල්වලින් දියකර පෙවීම හොඳයි
ඇසේ සුද ඇති විට-වැටකේ ගොබ යුෂ මීපැණි මිශ්‍ර කර ඇසට දැමීම ගුණයි.
වණ, තුවාල ගොඩවීමට-වැටකේ මල්වල පරාග ගෙන පිරිසිදු කරගත් තුවාල මත ගෑමෙන් ඒවා ගොඩවීම සහ ඉක්මනින් සුව වීම සිදුවෙනවා .
අකලට හිසකෙස් වැටීම සහ පැසීමේද වැටකේ මුල් තම්බා හිස සේදීම ඉතා ගුණයි.
ඩාදිය දුගඳ නැසීමට හා අලුහම් සඳහා -වැටකේ මල් යුෂ ඇඟේ තවරා පැයකින් පමණ පසු නෑම ගුණයි.
ලේ යන අර්ශස්වලට වැටකේ බොඩ, කිතුල් හකුරු, උම්බලකඩ, ගොටු දඩ, රතුලූනු කෂාය බීම හොඳයි.
අණ්ඩ වෘද්ධියට-වැටකේ කොළ හා පොතු, පඹුරු කොළ හා පොතු, සියඹලා කොළ, ලුණුවරණ කොළ, කුඹුරු දළු, අරළු, කටුකරඬු, කහ, ලුණ, වියළි පොල්, පෙණෙර, දෙහි දලු, කැප්පිටියා දලු, මඟුල් කරඳ, කුඩු මිරිස් දලු, එක පමණ ගෙන වණෙහිලා කොටා තලතෙලින් මලවා රස්නය පිට බැඳීමත් ගුණයි.”
“එතකොට සර් වැටකේ අඩංගු සංස්කාරික ඖෂධත් තියෙනවද?”
ඔව් රෝහණ
කේතකී පුෂ්ප අර්කය
රත්පිත් කේතකී තෛලය
කරප්පන් තෛලය
කේතකී පුෂ්ප තෛලය
නයන කේතකී තෛලය
කේතකී පුෂ්ප ශර්බත්
ආදි සංස්කාරික ඖෂධ රාශියක් වැටකේ අඩංගුව සකස් කර තියෙනවා”
“ඒ වගේම ආහාරමය වශයෙනුත් වැටකේවල ප්‍රයෝජනයක් තියෙනවා නේද සර්?”
“ඔව් පුතා ආහාරමය වශයෙනුත් වැටකේ බෙහෙවින් යොදාගනු ලබනවා. මේ අතුරින් වැටකේ බඩ කැඳ විශේෂයි. මේ කැඳ කිතුල් හකුරු සමඟ උදේ හිස්බඩ බීමෙන් අම්ල පිත්ත රෝගය සුව වෙනවා. ඒ වගේම ශාරීරික පෝෂණයත් ලබා දෙනවා. ශරීරයේ සිසිල් බව උදෙසා වැටකේ පැණිය පානයත් ඉතා හොඳයි.වැටකේවල ළපටි පුෂ්ප අංකුර අමුවෙන් හෝ උයා ආහාරයට ගනු ලබනවා. ඒ වගේම පිලිපීන ජාතිකයන් බත සුවඳවත් කිරීමට වැටකේ පත්‍ර කැබලි බතට දමා උයනවා.
එසේම වැටකේ පත්‍ර ගෙවල් සෙවිලි කිරීම සදහාත්, ඒ වගේම කඩදාසි සකස් කිරීම සදහා අමුද්‍රව්‍යයක් ලෙසත් යොදා ගනු ලබනවා.
මේ වගේ ප්‍රයෝජන රාශියක් වැටකේවලින් ලැබෙනවා. ඒ නිසා රෝහණ වැටකේ කියන්නේ ඖෂධීය වශයෙන් මෙන්ම ආහාරමය වශයෙන් වගේම තවත් ප්‍රයෝජන රාශියක් ලබාදෙන ශාකයක්” කියමින් නිශ්ශංක මහතා කතාව නිමා කළේය.
පොල්ගොල්ල ශාස්ත්‍රාරවින්ද
වෛද්‍ය විද්‍යාලයේ කථිකාචාර්‍ය
වෛද්‍ය මධුර පරණවිතාන