රෝග ලක්ෂණ හා පැවැත්ම පිළිබඳව දැනුම්වත් වීම වැදගත් ගැස්ට්‍රයිටීස්

ජනවාරි 28, 2022

 

තරුණ වියේ හා මැදිවියේ අයට වැඩියෙන් හටගැණෙන ගැස්ට්‍රයිටීස් හෙවත් අම්ලපිත්ත රෝගය නිසි වේලාවට ආහාර පාන නොගැනීම නිසා හටගැණෙන රෝගයකි. එමෙන්ම දරුවන්ට ද නියමිත වේලාවට ආහාරපාන නොදීම නිසා ගැස්ට්‍රයිටීස් රෝගය වැළදීමේ ප්‍රවණතාවය වැඩිවෙමින් පවතී.

 

ගැස්ට්‍රයිටීස් රෝගයේදි දක්නට ලැබෙන මූලික ලක්ෂණ අතර බඩේ දැවිල්ල බඩ පුරවා දැමීම උගුර හා පපුවේ දැවිල්ල ඇඹුල් රසට උගුරට ඒම, වියළී ගිය ඕක්කාරය, උදේට කහ පාටට වමනය යෑම, නිතර නිතර බඩගිනි ඇති බවක් දැකීම, තද හිසරදය ආදී රෝග ලක්ෂණ පෙන්නුම් කරත්. පසුවට නිසි ප්‍රතිකාර නොගතහොත් තවත් රෝග ලක්ෂණ මතු කෙරේ. රෝගයක් ඇතිවීමට මූලික හේතුව දෝෂ විෂමතාවයයි. වා, පිත්, සෙම් යන තුන්දොස්වල වෙනස්වීමයි. මෙහිදී පිත් දෝෂය වෙනස්වීම ගැස්ට්‍රයිටීස් රෝගය ඇතිවීමට මූලික හේතුවයි. පිත කිපුණු හා නොකිපිණු වශයෙන් කොටස් දෙකක් ඉන් පිත කිපීමෙන් අම්ල රස දක්වයි. එය අම්ලපිත්ත රෝගයේ ලක්ෂණයයි.

ගැස්ට්‍රයිටීස් රෝගය ඇතිවීමට බලපාන හේතු රාශියක්ම වෙයි. ප්‍රධාන වශයෙන් එකිනෙකට විරුද්ධ ආහාර ගැනීම, නරක්වූ පිළුණුවූ ආහාර ගැනීම, නිතර අන්නාසි ආදි ඇඹුල් අධික ආහාර ගැනීම, මිරිස් අධිකව යෙදූ ගිනියම් ආහාර ගැනීම, ජලය අඩුවෙන් පානය කිරීම, පාන්පිටිවලින් නිෂ්පාදිත කෑම නිතර නිතර ගැනීම, කෘත්‍රිම බීම වර්ගවලට ලොල් වී නිතර නිතර පානය කිරීම, තෙල්, ලුණු අධික ආහාර ගැනීම, ආහාර ගැනීමේ ක්‍රමවේදයක් නොතකා ආහාර ගැනීම, කුළුබඩු මිරිස් වැඩි ආහාර ගැනීම, මාළු වර්ග වැඩිපුර ගැනීම, එමෙන්ම කල්තබා තිබූ පරණ ආහාර ගැනීම, බඩගිනි වේලාවට කහට තේ බීම පුරුද්දක් වශයෙන් මත්වතුර හා දුම්බීමද වේ. තවද මෑ, උඳු ආදි ආහාර අධිකව ගැනීම ද ගැස්ට්‍රයිටිස් රෝග තත්ත්වයට බලපාති. තවද කොන්දේ වේදනාව, හිසේ වේදනාව, හන්දිපත් වේදනාව ද ඇතිවේ. බෙහෙවින්ම කෘත්‍රිම රසකාරක හා සහ වර්ණාකාරක යොදන ලද ආහාර වර්ග නිතර කෑමට ගැනීමද ගැස්ට්‍රයිටීස්වලට හේතුවකි.

ගැස්ට්‍රයිටීස් රෝගයට දරුවන් ගොදුරු වීමේ වැඩි ප්‍රවණතාවයක් පවතී. බොහොමයක් පාසල් දරුවන් උදෑසන ආහාරවේල මඟ හරී. මාපිය වැඩිහිටියන් දරුවන්ගේ කෑම පෙට්ටියට ෂෝටීස් වර්ගයක්, පාන්පෙත්තක් දෙකක් හෝ නැතහොත් මුංඇට, කඩල, කවුපි, හෝ බත් ද ලබා දෙයි. සමහර දරුවන් පාසලේදී එම ආහාර නොගෙන නිවසට නැවත ගෙන එයි. එසේ ගෙන එන කෑම නිවසේදී කෑමට පුරුදුව සිටිති. මෙවැනි ක්‍රියාකාරකම් නිසා ද පසුවට ගැස්ට්‍රයිටීස් රෝගය ඇතිවීමේ වැඩි ඉඩකඩක් ඇත. එමෙන්ම සමහර යෞවන යෞවනියන් දිවා ආහාරය ගැනීමේදී බත් වෙනුවට කෙටි කෑම ෂෝටීස් වර්ග සමඟ ශීත කළ කෝලා පානය කිරීමට ද පුරුදුව ඇත. මෙයද බොහෝවිට ගැස්ට්‍රයිටිස්වලට හේතුවකි. ගැස්ට්‍රයිටීස් රෝගයේදී බොහෝවිට උදරයේ ඉහළ කොටසේ දැවිල්ලක් හෝ බඩගිනි ඇති වන විට වේදනාවක් හෝ ඇති විය හැකිය. එමෙන්ම කැක්කුම් ගතියක් ද ඇතිවේ. මෙම තත්වය ග්‍රහනිය ප්‍රදේශයේ හට ගනු ලබන තුවාල නිසා හට ගනු ලබන අතර, පපුවේ දැවිල්ල හෝ පපුව හිර කරන ගතියක් ද බොහෝ විට ඇති විය හැකිය.

මෙම රෝගය නිසා ආමාශගතව තුවාල සිදුවී ඇත්නම් ආහාර ගැනීමෙන් ටික වේලාවකට පපුව වේදනාවක් ඇතිවේ. මෙම රෝග ලක්ෂණ තුළින් ගැස්ට්‍රයිටීස් රෝගය හඳුනාගත හැකිවන අතර ශරීරගතව පීඩාවට පත්වන කොටස් ද හොඳින් අවබෝධ කර ගත හැකිය. ගැස්ට්‍රයිටීස් රෝගය නැතහොත් අම්ලපිත්ත රෝගය ගැන විශේෂ සැලකිල්ලක් දැක්විය යුතුය. වෙලාවට ආහාරගැනීම, ගුණාත්මක ආහාර ගැනීම, මත්පැන් සිගරැට් වලින් වැළකීම, වේදනා නාශක ඖෂධ නිතර නිතර නොගැනීම මෙන්ම ව්‍යායාම් කිරීම, ක්‍රෝධය, වෛරය ආදි සිත්වලින් තොරව සාමයෙන් සතුටින් ජීවත්වීමත් අවශ්‍යය. ආමාශයික යුෂ සහ පිත ඉහළට ගමන්කර ගලනාලය කෙළවර සිරවිය හැකිය. එවිට ගලනාලය කෙළවර පේශි අධික ලෙස සංකෝචනය වේ. බොහෝවිට පපුව සිරකරනවා වගේ දැනෙන්නේ මෙම අවස්ථාවේදීය. මෙවැනි තත්ත්වයකදී බලා නොසිටි වෛද්‍යවරයකුට දැන්වීම ඉතාම අවශ්‍යයයි.

ගැස්ට්‍රයිටීස් රෝගය ගැන දැනුම්වත්ව සිටීනම් ඒ රෝගය තමාට ඇති බව දැනුම්වත්ව සිටී නම් හිස්බඩ ඇල්වතුර පානය කළ යුතුය. කිරි මෝරු, යෝගට් ගැනීම සුදුසුය. බෙලිගැට තම්බා බීම, බෙලිමද මී පැණිය සමඟ ආහාරයට ගැනීම, බෙලි දියකර මී පැණි සමඟ බීම, බෙලි මද පවනේ වියළා කුඩු කර සීනි දමා හිස්බඩ කෑම, පැණි දොඩම් යුෂ මී පැණි සමඟ බීම, කුරුම්බා තැඹිලිවතුර ලොඳ සමඟ දවසට දෙවරක් බීම වැටකෙයියා බඩ ඉස්ම දමා කැඳ පිස උදේ හිස්බඩට බීම, හීන් උඳුපියලිය කැඳ පානය කිරීම, කීකිරිඳිය යුෂ පානය කිරීම, නෙල්ලි යුෂ මී පැණි දමා බීම, කාකචාරිය කුඩු මී පැණි සමඟ කෑම, කොත්තමල්ලි හා වියළි ඉඟුරු කුඩුකර වතුර සමඟ බීම, සැවැන්න මුල්, බෙලිමුල්, පත්පාඩගම් සමවගෙන වියළා කුඩුකර උණුවතුරෙන් දියකර උක් සකුරු සමඟ බීම ද සුවදායකය. පලතුරු කෑම, නිතර ජලය පානය කිරීම ද වැදගත්ය. කෙසේ වෙතත් ගැස්ට්‍රයිටිස් රෝගය පිළිබඳව යම් දැනුමක් ලැබී නම් එම රෝගය පවතීනම් ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර ගැනීමෙන් රෝගය සුව කර ගත හැකිය.

 

බත්තරමුල්ල පැළවත්ත

රාජපුර වෙද මැදුරේ

ප්‍රධාන ආයුර්වේද වෛද්‍ය

සුමිත් රාජපුර

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 16 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.