සුබසෙත සුවසෙත

ඔක්තෝබර් 25, 2024

 

එස්.ඩී.ලක්මාලි - පිලපිටිය

ප්‍රශ්නය

වෛද්‍යතුමනි, මගේ දෙවැනි දරුවාගේ වයස අවුරුදු තුනකි. දරුවාට වයස අවුරුද්ද සම්පූර්ණ වන කොටත් වලිප්පුව ඇති විය. ඒ රෝගී තත්ත්වය ඇතිවූයේ උණ සෑදීමෙන් පසුවය. ඒ නිසා දරුවා රෝහල්ගත කර ප්‍රතිකාර ලබාදෙන ලදී. ආයෙත් දරුවාට උණ ගතියක් පැවතිණ. ආයෙත් දරුවාට වලිප්පුව ඇතිවේදැයි සිත තුළ බයක් පවතියි. එයට ඔබතුමාගෙන් උපදේශයක් බලාපොරොත්තු වෙමි.

 

පිළිතුර

එක් වරක් උණ, වලිප්පුව ඇතිවූ දරුවකුට වයස අවුරුදු හය සම්පූර්ණවන තෙක් උණ සෑදෙන අවස්ථාවලදී වලිප්පුව ඇතිවීමට ඉඩ ඇත. එබැවින් දරුවා අසනීපයෙන් ඉන්නා විට වඩාත් සැලකිලිමත් විය යුතුය. දරුවාට උණ හටගත් විට නිසි වෛද්‍ය උපදෙසක් ලබාගෙන ඖෂධ ලබා දෙන්න.

 

එම්.ඩිලානි - නැදිමාල

ප්‍රශ්නය

වෛද්‍යාචාර්යතුමනි, මම වයස අවුරුදු තිස්තුනක පෙරපාසල් ගුරුවරියකි. දිගට වැවී ඇති මගේ කෙස් කලඹේ පැහැය වෙනස් වී ඇත. කෙස්වල පැවතිය යුතු දීප්තිය බෙහෙවින් අඩුවී ඇත. පරණවූ කෙස් කලඹක් මෙන් පෙනේ. එය මානසික වශයෙන් ද මහත් පීඩාවක් ගෙන දෙන්නකි. එබැවින් කෙස්වල දීප්තිය ඇතිකරගත හැකි විසඳුමක් ලබාදෙන මෙන් ඉල්ලමි.

 

පිළිතුර

කෙස් කලඹේ ස්වාභාවික පෙනුම නැතහොත් දීප්තිය තම තමන්ගේ ක්‍රියාකාරකම් නිසා විනාශ කර ගනී. ස්නානය කිරීමෙන් කෙස් වර්ණවත් කර ගැනීම සඳහා ඩයි වර්ග ආලේප කිරීමෙන් කෙස් රැලිකර ගැනීම සඳහා විද්‍යුත් උපකරණ තුළින් කෙස් රත් කර ගැනීම මඟින් හා කෙස්වල තෙත ගතිය ඉවත් කර ගැනීම සඳහා කෙස්වලට අල්ලන හෙයාඩ්‍රයර් එක මඟින්, ඉතා උෂ්ණාධික ආහාරපාන නිතර නිතර ගැනීමෙන් මේ තත්ත්වය උදාවේ.

එබැවින් හිස කෙස්වල දීප්තිය ඇති කරගැනීමට ඇල්වතුර වීදුරුවකට තේකොළ හැන්දක් පමණ දමා පසුව එම තේකොළ වතුර වෙනත් භාජනයකට වත් කර රත් කර ගන්න. එය රත්වීමෙන් පසු ඉවතට ගෙන නිවුණු පසු දෙහි ඇඹුල් ටිකක් දමා මිශ්‍ර කර හිසකෙස්වල ගාන්න. දින දෙකකට වරක්වත් මෙසේ කෙස්වල ආලේප කර ටික වේලාවක් සිට පසුව ස්නානය කරන්න. එමෙන්ම තද අව්වට සිටීමෙන් ද හිස්කෙස්වල දීප්තිය නැතිවේ. මිශ්‍ර සමබල ආහාර ගැනීමෙන් හිසකෙස්වලට අවශ්‍ය පෝෂණය ලබාගත හැකිය. එළවළු, පලතුරු වර්ග, ධාන්‍ය ඇට වර්ග පොල්කිරි සහ ජලය ද අවශ්‍ය වේ. හිසකෙස් වර්ධනයට මාංශජනකධාතු, තෙල් ලවණ වර්ග, කැල්සියම්, අයඩින්, සින්ක් සහ විටමින් නිසි ලෙස ලබාගත යුතුය. හැමවිටම ස්වාභාවික ආහාරපාන වර්ග ආහාරයට එක්කර ගන්න.

 

පියුමාලි - මහබාගේ

ප්‍රශ්නය

වෛද්‍යතුමනි, මම තිස්දෙහැවිරිදි දරුවන් දෙදෙනකුගේ මවක් වෙමි. දරුවන් දෙදෙනා වගේම මගේ හැට හය හැවිරිදි මවත් නිතරම රෝගී වේ. සෑම වේලකම ආහාරවේලට මස් මාංස හා බැදුම් කෑමටයි ඔවුන් පි‍්‍රය කරන්නේ. ලෙඩ රෝගවලින් වැළකී ශක්තිය හා නිරෝගීතාව රැක ගැනීමට සමබල ආහාර ගත යුතු බව දැන සිටිමි. එබැවින් වෛද්‍යතුමනි, සමබල ආහාරවේල සකස් කර ගැනීමට අවශ්‍ය උපදෙසක් ලබාදෙන මෙන් ඉල්ලමි.

 

පිළිතුර

නිරෝගී ජීවිතයක් සඳහා ආහාර හා පෝෂණය වැදගත් වේ. ආහාර වේලට යකඩ, අයඩින්, විටමින් නිසි ලෙස තිබිය යුතුය. කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන්, මේද, ඛනිජ නිසි පරිදි ඇති එළවළු හා පලතුරු තෝරා ගත යුතුය. මුං ඇට, කඩල, පරිප්පු, උඳු වැනි ධාන්‍ය වර්ග මෙන්ම බඩ ඉරිඟු , කුරක්කන්, තිරිඟු, වැනි ධාන්‍යය ද උපයෝගි කරගත හැකිය. බෝංචි, මෑකරල්, දඹල වැනි එළවළු ද වැඩිපුර ආහාරයට එක්කර ගන්න. සමබල ආහාර වේලට ධාන්‍ය වර්ග එක්කර ගැනීමෙන් ප්‍රෝටීන, ඛනිජ හා බී විටමින් බෙහෙවින් ලබා දෙයි. සහල්වල සහ කුරක්කන්වල තන්තු අඩංගුව පවතියි. ඒ මඟින් ලේවල කොලෙස්ටරෝල් ප්‍රමාණය අඩු කෙරේ. මළබද්ධයට ද හොඳ ඖෂධයකි. දිනකට සමබල ආහාර වේල් තුන මෙන්ම ජලය වීදුරු හයක්වත් අඩු වශයෙන් ගැනීමට අමතක නොකරන්න.

 

එල්.ආර්. ඇලෙක්සැන්ඩර් - මහරගම

ප්‍රශ්නය

මම හතළිස් තුන් හැවිරිදි වෙළෙඳ ව්‍යාපාරයක සේවය කරන අයෙක්මි. වෛද්‍යතුමනි, මට කිසිම කඩිසර වැඩක යෙදීමට හිතදෙන්නේ නැහැ. මෙසේ වීමට හේතුව ප්‍රතිශක්තිය නොමැති බව කියයි. එබැවින් ප්‍රතිශක්තිය ඇතිකර ගැනීමට උපදෙසක් ලබා දෙන්නේ නම් මැනවි.

පිළිතුර

ප්‍රතිශක්තිය දුර්වල වූ විට රෝගාබාධවලට ගොදුරුවීමේ ප්‍රවණතාව වැඩියි. විටමින් ඒ, විටමින් කේ අඩංගු ආහාර වඩාත්ම ගුණදායකය. කොළ පැහැති එළවළු වර්ග ද ආහාරයට ගැනීමෙන් සිරුරේ ප්‍රතිශක්ති පද්ධතිය ආරක්ෂා කරනු ලබන්නේ කොළ පැහැති එළවළු ප්‍රතිශක්තිකාරක ලෙස ක්‍රියාකරමිනි. බෝංචි, වැටකොළු, පතෝල වැනි එළවළු වර්ග ද ප්‍රතිශක්තිකරණ පද්ධතිය ආරක්ෂා කරයි. විවිධ කුළුබඩුවල ඇත්තේ විවිධ වශයෙන් ප්‍රතිශක්තිය ඉහළනැංවීමේ හැකියාවකි. සුදුළූණු ඖෂධීය ගුණ රැසකින් යුතු කුළුබඩුවකි. උපරිම ගුණය ලබාගත හැක්කේ අමුවෙන් සුදුළූණු ආහාරයට ගැනීමෙනි. දිනපතා එකම වේලාවකට ආහාර ගැනීමට පුරුදුවීමෙන් ප්‍රතිශක්තිය ඉහළ නංවා ගැනීමට හැකියාව ලැබේ.

 

එස්.කේ.ජී. නානායක්කාර - දොඩන්දූව

ප්‍රශ්නය

වෛද්‍යතුමනි, අවුරුදු හතළිහක් වන මා ගෘහණියක්මි. සමහර දිනවල මට කැරකැවිල්ල, සිරුරට දහඩිය දැමීම, දැවිල්ල, ආහාර අරුචිය, වේදනාව, ඇඹුල් රසය, උගුරට ඒම, මළ බුරුලට යෑම, ඉඳහිට වමනය යෑම ද සිදුවේ. මේ රෝග ලක්ෂණ ඇතත් මම මෙතෙක් ප්‍රතිකාරයක් ගන්නේ නැහැ. එබැවින් ඔබතුමාගෙන් ප්‍රතිකාරයක් බලාපොරොත්තු වෙමි.

 

පිළිතුර

ඔබතුමියගේ විස්තර අනුව පෙනී යන්නේ අජීර්ණයක ලක්ෂණයි. එවැනි රෝගී තත්ත්වයක් ඇතිවන්නේ පිළුණු වූ ආහාර කෑමෙන්, දිවාකාලයේ නිදා ගැනීමෙන්, මලමූත්‍ර වේග දරා සිටීමෙන්, රාත්‍රි නිදි නොලබා සිටීමෙනි. බඩ පිපීම, අජීර්ණය ඇති වූ විට, දිරවීමට පහසු ආහාර ගැනීම, උණුදිය පානය කිරීම, සුදුළූණු බික් දෙක තුනක් පුලුස්සා කෑම සුදුසුය. එමෙන්ම රෝගය පැහැදිලිව පවසා පිළිගත් ආයුර්වේද වෛද්‍යවරයකුගෙන් ප්‍රතිකාර ලබා ගන්න.

 

බී.ඇල්. ප්‍රේමරත්න

ආයුර්වේද වෛද්‍ය සුමිත් රාජපුර

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.