කැස්සට කිවිසුමට සිනාවට මුත්‍රා පිටවේද?

මැයි 26, 2023

කිවිසුම් යන විට කැස්ස ඇති විට සිනාසෙද්දී මුත්‍රා පිට වේ නම් එයින් පීඩා විඳිමින් එය වසන් කිරීමට හෝ ඉබේ සුව වේ යැයි බලා සිටීමට අවශ්‍ය නැත. ඉතා සුලබ වූ මෙම ගැටලුව පිළිබඳ කතා කිරීමට ඔබ ලැජ්ජා විය යුතු නැත. ලෙඩක් දුකක් නැතිව සුවබර ජීවිතයක් ගත කිරීමට ඇත්නම් එය එක්තරා අන්දමේ වාසනාවකි.

 

මෙම රෝගයේ ස්වභාවයෙන් හා ඊට ප්‍රතිකාර ලැබිය හැකි ආකාර පිළිබඳ විශේෂයෙන්, මේ රෝගයට නිසි ප්‍රතිකාර ගැනීමේ වැදගත්කම අවධාරණය කරනුයේ එමඟින් මනා සුවයක් අත්පත් කරගත හැකි සේම ගුණාත්මක දිවියක් ගත කිරීමට මඟ සැලසෙන බැවිනි.

සැපවත් ජීවිතයක් ගත කිරීමට බාධාවක් වන මෙහි රෝග ලක්ෂණ ලෙස සිනාසෙන විට, කිවිසුම් හා කැස්ස ඇති විට සහ ලිංගික සංසර්ගයේ යෙදෙන විට, ශරීරයේ මුත්‍රා වහනය වීමක් ඇති වන අතර, සුළු වේලාවක් හෝ මුත්‍රා පාලනය කරගත නොහැකිව වැසිකිළියක් කරා යෑමට සිදු වේ.

මෙවන් අවස්ථාවල ඇඟේ මුත්‍රා පිටවීමෙන් යට ඇඳුම් දුගඳ වී සනීපාරක්ෂක ගැටලුවක් බවට පත්වේ. වයස්ගත වන කාන්තාවන් අතර, බහුලව පැවතිය හැකි රෝගයක් වන මෙම රෝගය පිළිබඳ අපි අද විමසා බලමු.

 

රෝගයට හේතු

දරු ප්‍රසවය සිදුවීමේදී කාන්තාවන්ගේ පහළ මුත්‍රා මාර්ගයට බොහෝ විට හානි සිදු වේ. දරු ප්‍රසව සංඛ්‍යාව වැඩි වන තරමට මෙම ගැටලුව උද්ගත වීමද වැඩි වේ. මෙහිදී සිදු වන්නේ මුත්‍රාශයේ මුඛයේ ඇති පීඩනයට හානි සිදුවීමයි.

ආර්තවහරණය (ඔසප් චක්‍රය නතර වීමෙන් පසු) සිදු වූ ඩිම්බ කෝෂවලින් සාදන ඊස්ට්‍රජන් හෝමෝනය ඉතා අඩු වේ. එමඟින් තවදුරටත් මුත්‍රා පීඩනය දරාගැනීමේ හැකියාව දුර්වල වීම සිදු වේ. මෙම ක්‍රියාවලිය හැරුණු විට ඊට හාත්පසින්ම වෙනත් ආකාරයකින්ද මුත්‍රා පාලනය අහිමි විය හැකිය.

මුත්‍රා ආසාදන වැලඳීමෙන් පසු මුත්‍රාශය බොහෝ අවස්ථාවල නොසන්සුන් තත්ත්වයක් ඇති වේ. මේ එකිනෙකට සම්බන්ධ ඇති හේතුකාරක නිසා නිතැතින් මූත්‍රා පහ වීම හා පාලනය කර ගත නොහැකි ලෙස තදියමින් මුත්‍රා පහ වීම සිදුවිය හැකිය. මුත්‍රා බරක් දැනුණු විට එය ටික වේලාවකට හෝ පාලනය කිරීමට නොහැකිව ශරීරයෙන් පිටවීම මුත්‍රාශය පිරෙන්නට පෙර ඉතා සුළු ප්‍රමාණයක් පිරී තිබියදී මුත්‍රා බර ඇති වීම නිසා නිතරම වැසිකිළි කරා යෑමට සිදු වේ. මෙවැනි දේවල් රෝග ලක්ෂණ වශයෙන් හැඳින්විය හැකිය.

මුත්‍රාශයේ පිහිටීම

මුත්‍රාශය යනු අපේ සිරුරේ තිබෙන වැදගත්ම ඉන්ද්‍රියකි. සිරුරෙන් බැහැර කළ යුතු අපද්‍රව්‍යයක් වන මුත්‍රා සිරුරෙන් බැහැර වනුයේ ක්‍රමානුකූලවමය. මුත්‍රා කිරීමට කාලය එළැඹී ඇති බව හැඟවෙන්නේ මුත්‍රා නිසි ප්‍රමාණයට මුත්‍රාශයට පිරීමත් සමඟ මොළයට ලැබෙන්නා වූ සංඥාවක් මඟිනි.

මෙය මාංස පේශීන්ගෙන් සැදුම්ලත් පැසක් ලෙස හැඳින්වේ. අපගේ සිරුර මඟින් සිදු කෙරෙන ජීව විද්‍යාත්මක ක්‍රියාවලිය මෙලෙස මුත්‍රා පිට කිරීමට අවශ්‍ය බවක් අපට දන්වයි. සාමාන්‍යයෙන් පැය 2 -3ක කාලයක් මුත්‍රාශයට කිසිදු පීඩනයක් ඇති නොවන ආකාරයට මුත්‍රාශය සැකසී ඇත. මෙම කාලය තුළ මුත්‍රා කිරීමට අවශ්‍යතාවයක් අපට නොදැනෙන්නේද මේ හේතුව මතය.

මොළයට ලැබෙන සංඥාව

මුත්‍රා පිටකරන ස්ථානයේ මාංස පේශීන් වළල්ලකින් වටවී ඇත. මුත්‍රා පිරුණු පසු ඒ බව මොළයට සංඥාවකින් දැනුම් දේ. එවිට කපාටය විවර වී මුත්‍රා මාර්ගයෙන් මුත්‍රා පිටවේ. මොළයට ලැබෙන පණිවිඩය මඟින් කපාට විවර වී මුත්‍රා පොම්ප කිරීම සිදුවන අතර, එහිදී බිත්ති සංකෝචනය වීමද සිදු වේ. මුත්‍රා පිටවූ පසු නැවත ප්‍රකෘති තත්ත්වයට පත් වී වකුගඩුවලින් නැවත මුත්‍රා පෙරී පැස තුළ නැවත එකතු වීමට පටන් ගනී. මෙම ක්‍රියාදාමය නීරෝගි වකුගඩු තිබෙන පුද්ගලයන් තුළ නොකඩවා සිදුවන ක්‍රියාවකි.

වයස්ගත වීම

 

වයස්ගත වීමේදී ශ්‍රෝණියේ මාංස පේශිවල දුර්වලතා ඇති වීම හේතුවෙන් කපාට දුර්වල වීම සිදු වේ. වැඩි දරුවන් ප්‍රමාණයක් බිහි කළ මවුවරුන්ටද කපාටවල දුර්වලතාවයන් ඇති විය හැකිය. කැස්සකදී කිවිසුම් යාමකදී සුළු වශයෙන් මුත්‍රා පිටවීමක් ඇති වුවද එය නොසලකා හැරීමෙන් තත්ත්වය වර්ධනය විය හැකිය.

හඬනඟා සිනාසීම කිවිසුම් යෑම

හඬනඟා සිනාසීම සහ කැස්ස ඇතිවූ විටත් කිවිසුම් යාමේදීත් මුත්‍රාශයට යම් කිසි පීඩනයක් ඇති වේ. මෙය ස්වභාවයෙන්ම සිදුවන සිද්ධියකි. මෙහිදී ඇතිවන පීඩනයේදී යම් කිසි තෙරපුමක් ඇති වුවද පාලනයකින් තොරව මුත්‍රා පිට නොවන්නේ මෙම තත්ත්වය කපාටවලට ඔරොත්තු දෙන බැවිනි.

යම් කිසි පුද්ගලයකු සිනාසෙන විට කිවිසුම් යන විට කහින විට පීඩනයක් ඇති වුවහොත් සමහර පුද්ගලයන්ට පාලනයකින් තොරව ඉබේම මුත්‍රා පිටවීමක් සිදු වේ. කපාට දුර්වල වීම මෙයට හේතුවකි.

 

ඖෂධ භාවිතය

ඖෂධ භාවිතය කළ හැක්කේ මුත්‍රා බරක් නොමැතිව සුළු වේලාවක් හෝ පාලනය කළ නොහැකි වී මුත්‍රා ශරීරයේ පිටවීමේ ගැටලුව ඇති අයටයි.

දියවැඩියාව තිබෙන රෝගීන් හැකිතාක් දුරට දියවැඩියාව පාලනය කරගත හැකිය. මුත්‍රා මාර්ගයේ තිබෙන කපාටවල සංකෝචන ප්‍රසාරණ හැකියාව දුර්වල වන අවස්ථාවලදී වයසත් සමඟ මෙය බලපානු ඇත. පිරිසක් සමඟ සිටින අවස්ථාවලදී ඔබේ සිනහව පාලනය කරගන්න. විශේෂයෙන් මුත්‍රාශයේ මුත්‍රා පිරෙන්නට ඉඩ නොදී මුත්‍රා කිරීම සුදුසුය.

මුත්‍රා දැවිල්ල, කැසීම් ඇති රෝගීන් පොල්පලා, නීරමුල්ලිය, කොත්තමල්ලි, රණවරා මල්, තම්බා බීම සුදුසුය. වැඩිහිටි පිරිමි අයගේ මුත්‍රා පිටනොවී මුත්‍රාශයේ රැඳෙන අවස්ථාවලදී බොහෝ දුරට විෂබීජ ඇති වීමට ඉඩ ඇත. වැඩිපුර ජලය පානය කිරීමෙන් එය වළක්වා ගත හැකිය.

නිතර මුත්‍රා පිටවන අය සඳහා බෙහෙත් චන්දප්‍රභා වටිය ( ගුලි) - වැඩිහිටි අයට දවසට 1 - 2 ත් අතර ප්‍රමාණයක් ගන්න.

ගෝක්පුර පැණිය - දවසට මේස හැඳි 2ත් - 4ත් අතර ප්‍රමාණයක් ගන්න.

ඉක්ෂුර පැණිය - දවසට මේස හැඳි 2ත් - 4ත් අතර ප්‍රමාණයක් ගන්න. දියවැඩියා ඇති රෝගීන් වෛද්‍ය උපදෙස් මත සියලු කටයුතු කරන්න.

නිතර මුත්‍රා පිටවන අය සඳහා කෂායක්

එනසාල්, තිප්පිලි, වැල්මී, පොල්පලා, ගොකටු, පාවට්ටා, බෙහෙත් එඬරු, වැල්මොලගු කලං 1යි මදටිය 10 බැගින් ගෙන පතඅට එකට සිඳවා නිවුනු පසු ශි‍්‍රලාජතු ස්වල්පයක් අනුපාන සමඟ එක්කර උදේ හයට සවස 6.00ට පත 1/2 බැගින් බීමට දෙන්න.

 

උපදෙස් :– වෛද්‍ය

නන්දා කස්තුරිආරච්චි

සටහන

ජයන්ති කුරේ

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
17 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.