අධික තර බවට - නෙරා ගිය උදරයට ආයුර්වේද ප්‍රතිකාර

ඔක්තෝබර් 2, 2020

අද කුඩා දරුවන් පවා තර බවට පත් වේ. අධික ස්ථුල දරුවන් බහුලය. එනිසාම දියවැඩියාව, අධි රුධිර පීඩනය, අක්මාවේ තෙල් තැන්පත් වීම, බහුල රෝග බවට පත්ව ඇත. තරුණ අය බොහෝ විට මහතය. තරුණ කාන්තාවන්ගේ සිහින් ඉඟ දැන් දක්නට ලැබෙන්නේ අඩුවෙනි. එකම මහත ඇති මසින් පිරුණ ශරීර හැමතැනම දක්නට ලැබේ. මෙයට හේතු බොහෝය. එම හේතු ද ඉතාම සරල ඒවාය. 

ව්‍යායාම අඩුය. කය වෙහෙසා වැඩ කරන ජීවන ක්‍රමය අභාවයට ගොසිනි. මිරිස් කුඩු, තුනපහ කුඩු ඇත. මිරිස් ගලින් මිරිස් ඇඹරීම අඩුය. එම අඹරන අයට රෝග ද  අඩුය. වී කෙටීම, සහල් කෙටීම, මෝලෙනි, වංගෙඩියෙන් නොවේ. අදටත් වංගෙඩිය, මිරිස් ගල, කුරහන්ගල, දරපළන පොරව පාවිච්චි කරන අය වැඩි හරියක් නිරෝගීය. ඔවුන් සමහරක් රෝගී වී ඇත්තේ අලුතින් වෙළෙඳපොළට පැමිණ ඇති ආහාරවලින් සහ කෘමිනාශක සහිත එළවළු, පලතුරු වලිනි. සහල්, මුං ඇට, කඩල, පරිප්පු, කරවල පවා කෘමිනාශක ඇත. එම ආහාර කිසිවක් මැස්සන්, මීයන්, කූඹින් නොකති. එහෙත් මිනිස්සු කති. රෝගී වෙති. 

ශරීරය තර වෙන්නේ පිටි කෑම, මේද, සීනි වැඩිපුර ආහාරට ගැනීමත්, එළවළු පලා අඩුවෙන් කෑමත්, ව්‍යායාම අඩුවීමත්, අඩු මහන්සියක් ඇති රැකියාවල නිරත වීමත් නිසාය. අද ඉතාම කෙටි දුරක් වුවද යන්නේ යතුරු පැදියකින් හෝ ත්‍රීවීල් එකකිනි. 

අධික තර අයට පයින් යෑම හොඳය. වැඩට යන විට එන විට ටිකක් දුර බස් නැවතුමකින් ඒමට යාමට හැකිය. පොඩි ගමන් බිමන් හැකි පමණ පයින් යෑම හොඳය. තේවලට සීනි අඩුවෙන් යෙදීම, වැලිතලප, කේක් වැනි දේ කා කිරිපිටි බීම, තේ බීම අවම කිරීම කළ හැකිය. හැකි හැම විටම එළවළු, පලා වැඩියෙන් ආහාරයට ගත හැකිය. මස් කෑවාට මස් හොදි ඉවත් කළ යුතු ය. තරබව දෙන්නේ එම හොදිවලිනි. මාළුවල හොදි නරක නැත. මාළු හොදි බීමත් කමක් නැත. එහෙත් මිටිකිරි දැමූ හොදි රස වුවත් නරකය. උණුවෙන් කෑමෙන් කෙට්ටු වේ. ශීතල ආහාර ගත් විට මහත් වේ. උණුවතුර බීම කෙට්ටු කරයි. ඇල් වතුර නිතර බීම තර කරයි. මිරිසට කෑම කෙට්ටු කරයි. කිරට කෑම තර කරයි. බත් සමඟ බතල, දෙල්, මඤ්ඤොක්කා, කොස් වැනි එකම ගුණය  (පිෂ්ඨය) ඇති ආහාර නිතර ගැනීමෙන් තර වේ. පැණි බීම අපව තර කරයි. මේ කීවේ ඖෂධ නොමැතිව තරබව අඩුකර ගත හැකි ආකාරයයි. 

අධික තර බවට, නෙරා ගිය උදරය අඩුකර ගැනීමට ප්‍රතිකාර කීපයක් ද කියමි. 

01. කෂාය - අරළු, බුළු, නෙල්ලි, ඉඟුරු, ගම්මිරිස්, තිප්පිලි, දේවදාර, රත්නිටුල් කලං එක හමාර බැගින් ගෙන වතුර පත 16 - 2ට සිඳ උදේ සවස පත එක බැගින් බීම. 

02. කෂාය - අරළු, බුළු, නෙල්ලි, හාතාවාරිය අල, දුම්මැල්ල, කටුකරෝසන, රසකිඳ කලං එක මදටිය 14 බැගින් ගෙන වතුර පත 16 - 2ට සිඳ උදේ සවස පත එක බැගින් බීම. 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.