කට දිව දෙතොල් පැලී වේදනා ඇති වේ නම්

අගෝස්තු 21, 2020

අසිරිමත් මිනිස් සිරුරේ වේදනාවන් ඇති කරන විවිධ ආබාධ අතර, මුඛය ආශි‍්‍රතව හට ගන්නා රෝගාබාධ 65 ක් පමණ ආයුර්වේද ග්‍රන්ථයන් හි විස්තර වෙයි. දත්, දත්  මුල, දිව, උඩුතල්ල , යටිතල්ල යන ස්ථානවල නොයෙක් හේතු නිසා රෝග තත්ත්වයන් ඇති වෙයි. 

ආහාර විෂ වීමක් හෝ වාත, පිත, කඵ යන දෝෂයන් ගේ විකෘති ක්‍රියාවක් හේතුවෙන් හෝ දේශගුණික විපර්යාස හේතුවෙන් ද මුඛය ආශි‍්‍රත රෝග රාශියක් හට ගනී. මේ රෝග අතුරින් කට, දිව, දෙතොල් පැළී වේදනා ඇති වීමට අවුරුද්දේ මුල් මාසය තුළ හටගන්නා පාරිසරික හේතු මුල් වේ. උදය කාලයේ අධික සීතලත් දහවල් අධික උණුසුමත් සමඟ හමනා වියළි සුළඟ විඳීමෙන් ශරීරයට කර්කශ භාවයක් ගෙන දේ. මේ සමඟ ශරීර  ගත වාත, පිත්ත, කඵ යන තුන් දොස හා රක්තය විෂම වීමෙන් හා සන්නිපාතව ද රෝග තත්ත්වය හට ගනී. 

ශරීර අභ්‍යන්තර වාත දෝෂය විකෘති වීමෙන් දෙතොල් හා තල්ල, දිව යන ස්ථාන පැළීම හා වර්ණ වෙනසක් ඇති කරයි. නමුත් දෙතොල් වල හට ගන්නා වර්ණ විපර්යාසය ශරීර අභ්‍යන්තර රෝග පිළිබඳ කියාපාන කැඩපතක් බඳුය. මන්ද නිරෝගී පුද්ගලයෙකුගේ දෙතොල් පිරුණු ස්වභාවයෙන් ප්‍රසන්නව පවතී. ක්ලාන්ත වූ හෝ නිරක්තියෙන් පෙළෙන්නාගේ දෙතොල් සුදුමැලිය. ගර්භණියකගේ දෙතොල් මාලාණිකය. උණ රෝගියකුගේ වියළි රළු දෙතොල් ද සරම්ප රෝගියාගේ වියළි හම පුපුරා ගැලවී යන ස්වභාවයක් ද දක්වයි.  හෘද රෝගියෙකුගේ දෙතොල් සාමාන්‍යයෙන් ලා කෘෂ්ණ පැහැයක් ගන්නා අතර, හඬන අවස්ථාවලදී තද පාටක් ඇතිවෙයි. වස විස පානය කළ අයගේ දෙතොල් ඉදිමී රතු පැහැවීමක් පෙන්නුම් කරයි. නමුත් විෂ තත්ත්වය අනුව වර්ණය වෙනස් වෙයි. 

දෙතොල් වල වර්ණ වෙනස රෝග රැසක එක් ලක්ෂණයක් වුව ද වෙනත් ලක්ෂණ සොයා බලා රෝගයන්ට ප්‍රතිකාර කළ යුතුය. මීට අමතරව අද සමාජයේ බහුලව දක්නට ලැබෙන දෙතොල්, කට, දිව පැළී වර්ණ වෙනස්වීම වාතානුබද්ධ ක්‍රියාවලියක් ලෙස දැක්විය හැක. පිත් දෝෂය විෂම වීමෙන් මුඛයේ දැවිලි සහිත බව පුපුරු ගසන්නාක් බඳු වේදනාවක් හා දැඩි රළුතාවයක් පෙන්නුම් කරයි. කඵ කෝපයේදී කතා කිරීමේ අපහසුව, තද ගතිය ඇති කරයි. රක්තය හෙවත් රුධිරය විකෘති වීමෙන් රක්ත වර්ණව තොල්,තල්ල ආශි‍්‍රතව මස් වැදලි ස්වරූපයක් ඇති කරයි. දාහය ද ඇතිවෙයි. සන්නිපාත අවස්ථාවේදී මුඛය ආශි‍්‍රතව මේ සියලු ලක්ෂණ දැකිය හැක. 

කට, දිව, දෙතොල් පැළී වේදනා ඇති කරවන හේතු 

ආහාර ගැනීමේදී වැඩි වශයෙන් ලුණු, ඇඹුල්, කුළු බඩු, මිශ්‍ර කිරීම හා අච්චාරු, අන්නාසි, සැරබීම වර්ග, උෂ්ණාධික මස් වර්ග, අධික ලෙස ආහාරයට ගැනීම, මෙවැනි ආහාර පාන සේවනය නිසා මලබද්ධය ඇති කරයි. පාචක රසයේ ක්‍රියාව අඩපණ වීමෙන් ආහාර අපත්‍ය වී අජීර්ණාබාධ හට ගනී. ඒ හේතුවෙන් රක්තය දූෂණය වී රෝගාබාධ ඇති කිරීමට එක් වේ. 

ආහාරයෙන් පසු හෝ වේලාවක් ප්‍රමාණයක් නොමැතිව වැඩි වශයෙන් හුණු එක්කර බුලත්විට සැපීමෙන් ද අසාත්මික ඖෂධ ශරීර ගත කිරීමෙන් දෙතොල් ඉදිමී පුපුරා යයි. කට දෙකොණ වණ වී වේදනා ඇති කරයි. තවද ජීව ධාතු හෙවත් විටමින් හිඟ වීමේ ලක්ෂණයක් ලෙස මෙම තත්ත්වය දැකිය හැක. මිනිසාගේ වැරදි චර්යා හේතුවෙන් නොයෙක් අවස්ථාවල ධාතු දූෂණය වී මෙවැනි අවස්ථා උද්ගත වේ. අධික කාම රාගි සිතුවිලි වලින් සතුට පතන්නන්, රාත්‍රියේ නිදි වැරීම, අවේලාවේ නිදීම යන මේ කරුණු වලින් තුන් දොසම කෝප වී අනේක රෝගාබාධ මෙන් මුඛ ආශි‍්‍රත රෝග ද හට ගනී. එසේම අධික උෂ්ණ. වියළි දේශගුණික තත්ත්ව යටතේ ද ශීත දේශගුණයක් ඇති අවස්ථාවල දී අධික ගිනි තැපීමෙන් දහවල් නිදීම ආදී හේතු නිසා ශරීර අභ්‍යන්තරික උෂ්ණත්වය තව තව විෂම වී දෙතොල් පැළීම දෙතොල්, දිව, මුඛ අවට වියළි ස්වභාවයට පත්වී වේදනා ඇති කරයි. 

නූතන සමාජයේ බොහෝ වනිතාවෝ මුඛ රෝගවලට ගොදුරු වන්නේ කෘත්‍රිම ආලේපන වර්ග දෙතොල් මත තැවරීම හේතුවෙනි.  ස්වභාවයෙන් තමන්ට උරුම වූ සුන්දර දෙතොල් කෘත්‍රිම රසායනික ආලේපනවලට ඔරොත්තු නොදෙන නිසාය. පාරම්පරික රක්ත දෝෂයේ පෙළෙන පවුල්වල අයට මෙම රෝගය බහුලව දක්නට ඇත. මුඛය ආශි‍්‍රත හට ගන්නා දෙතොල්, දිව, කට පැළී වේදනා ඇති වූ මුහුණේ සුන්දරත්වයට හානි පමුණු වන මෙම රෝගී තත්ත්වයෙන් පෙලෙන සැමගේ යහපත සඳහා කළ යුතු ප්‍රතිකාර සම්බන්ධව කරුණු දක්වා ඇත. 

ශාරීරික පීඩාවත් සමඟ මුඛයේ පවතින අප්‍රසන්නතාවය නිසා මානසිකව පසුතැවිලි වන මේ රෝගාබාධය මඟ හරවා ගැනීමට කරනු ලබන ප්‍රතිකාර පද්ධතියේ දී මූලිකවම ශරීර ගත දෝෂ සමනය කිරීම සඳහා ඖෂධ යෙදිය යුතුය. ඇඟ සිසිල් කරන කෂාය පානය කිරීම, මුඛය සේදීමට ඖෂධ දියර වර්ග යෙදීම, බාහිර ආලේපන වර්ග යන මේ ඖෂධමාලාව ප්‍රයෝගයෙන් මෙන්ම අපත්‍ය අයෝග්‍ය ආහාරපාන හා වැරදි චර්යාවන්ගෙන් මිදී යහපත් සිතුවිලි වලින් යුතුව ජීවත් වීමෙන් රෝගා නිවාරණය කරගත හැක. 

ආබාධය ඇති වූවන් සඳහා සුදුසු ආහාර පාන වර්ග....

කතුරුමුරුංගා කොළ , මල්, ගොටු කොළ, රතුළූණු, සාරණ , නිවිති, පොල් කිරි වඩාත් ආහාර වේලට එක්කර ගැනීම සුදුසුය. තේ, කෝපි, පානය අවම කර ඉරමුසු , ගොටුකොළ, රණවරා , බෙලිමල්, පොල්පලා තම්බාගත් වතුර කිතුල් හකුරු සමඟ පාන කිරීම ඉතා යෝග්‍යයි. දිනකට දෙවරක් වත් තැඹිලි පානය කිරීමෙන් ශරීර සුවතාවය ඇති වෙයි. කැහිපිත්තන් කොළ යුෂ ගෙන භාජනයකට දමා පැය 3-4 ක් තැබීමෙන් ජෙලිමෙන් මිදේ. එයට සීනි එක්කර කෑමෙන් ශරීරයට සිසිලස ගෙන දේ. 

විශේෂයෙන් මුඛ ආශි‍්‍රත පැළීම් තුවාල බහුලව ඇති වන්නේ ශරීරයේ පවතින උෂ්ණය අනුවය. එම නිසා සිරුර සිසිල් කරන ආහාර පාන ගැනීම වඩා යෝග්‍යය. 

ආහාරපාන වලට අමතරව ස්නානය කිරීම ද වැදගත්ය. නාන වතුරට අරළු, බුළු, නෙල්ලි තම්බා ගත් වතුර මිශ්‍රකර ගැනීමද,කොහොඹ කොළ, බෙලි කොළ තම්බා ගත් වතුර ද, සැවැන්දරා, සුදු හඳුන් තම්බා ගත් වතුර මිශ්‍ර කර නෑමෙන් උදෑසන මුහුණ ඇඟ සේදීමේ දී එක්කර ගැනීමත් ඉතා සුවදායක වන්නේය. 

රෝගියාට මල බද්ධය ඇත්නම් ප්‍රතිකාරයට පෙර මෘදු විරේකයක් යෙදීම සුදුසුය. 

ඇහැල ද පලාවක් ලෙස සාදා රාත්‍රී ආහාරයට ගන්න. පසු දින හොඳින් විරේක වන තුරු උණු දිය බොන්න. හොඳින් විරේක වූ පසු තැම්බුම් හොදි සමඟ බත් කන්න. 

කටුකරෝසන, මුද්දරප්පලම්, අරළු, කලාදුරු අල, පත්පාඩගම්, රසකිඳ කලං 2 බැගින් ගෙන වතුර පත 8:1 ට සිඳ පෙරා උදේට සහිඳ ලුණු ද හවසට සීනි ද දමා උදේ සවස බොන්න. දින 3 ක් පමණ බීම යෝග්‍යයි. 

අරළු, සෙනෙහෙ කොළ සමව ගෙන කුඩු කර රට ඉඳි හා සියඹලා බොර සමඟ අඹරා වරකට බටු ගෙඩියක පමණ ගුලියක් උණු වතුරෙන් බොන්න. මලබද්ධය සඳහා සතියක් පමණ ගැනීම යහපත් ය. 

 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.