වර්ෂ 2024 ක්වූ December 06 වැනිදා Friday
සියලු වගාවන්ට ත්‍රී-පුෂ්කර යෝගයක්
සියලුම වගා කටයුතු සඳහා ප්රශස්ත ත්‍රී-පුෂ්කර යෝගයක් දෙසැම්බර් 17 අඟහරුවාදා පෙරවරුවේ උදාවෙයි.
දෙසැම්බර් 17, අඟහරුවාදා අලුයම 1.17ට පුනාවස නැකැත උදා වී දිනය පුරාම පවතින අතර, 16 සඳුදා, අලුයම 12.33ට උදාවන දියවක තිථිය 17 අඟහරුවාදා දවල් 11.02 දක්වාම පවති.
එබැවින් 17 වැනිදා දවස උදාවේ සිට දවල් 11.02 තෙක් මේ ත්‍රී-පුෂ්කර යෝගය බලය පැවැත්වෙනු ඇත.
ඉරිදා, අඟහරුවාදා, සෙනසුරාදා දිනයක, දියවක (2), සතවක (7), දොළොස්වක (12) යන තිථි තුනෙන් එකක් හා කැති, උත්‍රපල්, උත්‍රසල, පුනාවස, විසා, පුවපුටුප, යන නැකැත්වලින් එකක්ද යෙදුණු විට ත්‍රී-පුෂ්කර යෝගය උදාවේ.
ඕනෑම වගා කටයුත්තක් සඳහා මෙය ප්රශස්ත යෝගයක් වනු ඇත.
මේ යෝගයෙන් යමෙකු මිය ගියහොත් එම තැනැත්තාගේ මා-පිය, දූ-දරු, සහෝදර-සහෝදරියන්, නෑ හිතමිත්‍රාදින්ගෙන් තිදෙනෙකුට අපල ඇති වන බව සඳහන් වේ. ඒ සඳහා මෘතදේහය නිවෙසේ ප්‍රධාන දොරින් පිටතට නොගෙන නිවෙසේ බටහිර බිත්තිය සිදුරු කර එයින් පිටතට ගැනීම සිදුකළ යුතු බව ශාස්ත්‍ර නියමයයි.
කෙසේ වෙතත්, මේ දෝෂ මඟහරවා ගැනීමට, ඔබ මහත් ආනිශංස සහිත පිංකම් කිරිමත්, මරණයට කැපවූ ගවයන් තිදෙනකු නිදහස් කිරීමට දායකවීමත්, කළයුතු බව කියැවේ. එබැවින් ඉරිදා, අඟහරුවාදා, සෙනසුරාදා දිනෙක යමෙකු මියගියහොත් මේ යෝගය යෙදී ඇත්දැයි සොයා බැලීම යහපත් වනු ඇත.