අවුරුදු නැකැත් යෙදෙන්නේ භාග්‍යත් භාග්‍ය යෝගයෙන්

- ඡ්‍යොතිෂවේදී ආචාර්ය ජී.ඇම් ගුණපාල
මාර්තු 29, 2024

 

අලුත් අවුරුද්ද එළැඹීමට අත්තේ තවත් දින පහළොවක් පමණයි. අන් කවරදාටත් වඩා මෙවර අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර පිළිබඳව සමාජයේ සුවිශේෂී අවධානයක් යොමුව තිබෙනවා. ඒ රාත්‍රීයේදී අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර යෙදී තිබීම නිසයි. ඒ අනුව 13 වැනිදා රාත්‍රී නමයයි පහට සූර්යය සංක්‍රාන්තිය සිදුවීමත් ඒ අනුව රාත්‍රී 11.06 ළිප ගිනි දැල්වීමේ නැකත යෙදීමත් ආහාර අනුභවය හා ගනුදෙනු කිරීම රාත්‍රී 12.06ට යෙදී තිබීමත් මෙයට හේතුවී තිබෙනවා. මේ නැකැත් චාරිත්‍ර සඳහා යොදා ගැනීමේ සුබ අසුබතාවය පිළිබඳ රාජ්‍ය නැකැත් කමිටුවේ ජ්‍යෙෂ්ඨ සාමාජික ප්‍රවීණ ඡ්‍යොතිෂවේදී ආචාර්ය ජී.ඇම් ගුණපාලයන්ගෙන් විමසා බලන්නට අප කටයුතු කළා.

ශ්‍රී ලංකාවේ අලුත් අවුරුදු නැකැත් ආරම්භය සහ ලිත් චාරිත්‍ර සම්ප්‍රදායේ ඉතිහාසය කෙබඳුද?

අප රටේ ලිත් සම්ප්‍රදාය ඇතිවන්නේ දැනට අවුරුදු එකසිය හැටකට පමණ පෙරාතුවයි. මීට පෙර ඉතිහාසය ගවේෂණය කිරීමේදී මේ නැකැත් චාරිත්‍ර ඈත රජ කාලයේ සිට පැවත එන සම්ප්‍රදායක්. එකල රජතුමා යටතේ ඡ්‍යොතිෂ ශාස්ත්‍රය සම්බන්ධ ප්‍රවීණයෙක් සිටියා. ඔහු හැඳීන්වූයේ මහනැකතිනා යන නමින්. ඒ කියන්නේ මහා නක්‍ෂත්‍රකරුවා නමින්. මේ මහා නැකතිනා තමයි එදා අලුත් අවුරුදු සූර්ය සංක්‍රාන්තිය සම්බන්ධයෙන් රජතුමාට අවුරුදු චාරිත්‍ර සඳහා සියලු නැකැත් වේලාවන් සැකසුවේ. ඉංග්‍රීසි පාලන සමයේදී ලංකාවේ පිරිහෙමින් පැවැති ඡ්‍යොතිෂය සම්බන්ධව විශාල ප්‍රබෝධයක් ඇතිකිරීම සඳහා ඉතාම මහඟු මෙහෙවරක් සිදුකළ ඡ්‍යොතිෂ ශාස්ත්‍රඥයෙක් හිටියා. ඔහු දොන් පිලිප් ද සිල්වා සෙනෙවිරත්න ඇපා අප්පුහාමි. එතුමා තමයි ලංකාවේ ඈපා පංචාංග ලිත මඟිින් මුළු රටටම ගැළපෙන ආකාරයෙන් සූර්ය සංක්‍රාන්තිය පදනම් කරගෙන අලුත් අවුරුදු නැකැත් සැකසීම සිදු කළේ.

 

මේ වන විට එය නැකැත් කමිටුවට බාර වී තිබෙනවා නේද?

ලංකාවේ මේ වන විට ප්‍රධාන ලිත් 4ක් මුද්‍රණය වෙනවා. ඒ ඈපා පංචාංග ලිත, ලංකා ග්‍රහස්ඵුටලිත, තිරසර පංචාංගලිත, ඉසිකර පංචාංග ලිත. දැනටත් මේ සෑම ලිත් කර්තෘවරයෙක්ම එම ලිත් මඟින් සූර්ය සංක්‍රාන්තිය සඳහන් කරලා ඊට ගැළපෙන නැකැත් සැකසීම සිදුකරනවා. මේ ආකාරයට සිදු කළ දෙය වි. ජ. මු. ලොකුබණ්ඩාර මහත්මයා සංස්කෘතික අමාත්‍යතුමා ලෙස කටයුතු කරන කාලයේ මේ ප්‍රධාන ලිත් කර්තෘවරු, ඉහළ මට්ටමේ ඡ්‍යොතිෂ දැනුමක් ඇති ප්‍රවීණ ඡ්‍යොතිෂ ශාස්ත්‍රඥයන් එකට එකතු කරලා ඡ්‍යොතිෂය පිළිබඳ මහා පඬිරුවනක් වන බෙල්ලන ඤාණවිමල නාහිමිපාණන්ගේ මූලිකත්වයෙන් යුතුව නැකැත් කමිටුවක් පත් කළා. ඔවුන් කොළඹ කේන්ද්‍රස්ථානය කරගෙන නැකැත් පිළිබඳ එකඟතාවයකට පැමිණ ඒ අනුව රටම පිළිගත් නැකැත් සකසා එය රජයට භාර දුන්නා. රජයේ අනුග්‍රහයෙන් එය ප්‍රකාශයට පත් කළා.

 

මේ වන විට නැකැත් කමිටුවෙන් ලබාදුන් නැකැත් අර්බුදයට ලක්ව තිබෙනවා. මෙවර නැකැත් රාත්‍රී කාලයේ යෙදුනේ ඇයි?

ඡ්‍යොතිෂයේ තිබෙන විශේෂ නියමයක් තමයි සූර්ය සංක්‍රාන්තිය සිදු වී ඉදිරියට පැය හයකුත් මිනිත්තු 24ක් තුළ ළිප ගිනි මෙලවීම ඇතුළු නැකැත් චාරිත්‍ර කළ යුතුයි යන්න. නමුත් මෙවර සූර්ය සංක්‍රාන්තිය සිදුවන්නේ අප්‍රේල් 13 සෙනසුරාදා රාත්‍රී 09.05ටයි. සූර්ය සංක්‍රාන්තියට පෙර පැය හයයි මිනිත්තු විසහතරක් තුළ තමයි නොනගතය ආරම්භ වන්නේ. මේ කාලසීමාව සුබ නැහැ. එනිසා පුණ්‍ය කටයුතුවල නිරත විය යුතුයි. මේ සූර්ය සංක්‍රාන්තිය සිදු වී සුළු මොහොතකින් එනම් රාත්‍රී 9.15 සිට 10.43 දක්වා පැවතෙන්නේ රාහු කාලයයි. ඒ කාලය තුළ කොහෙත්ම සුබ නැකතක් ගන්න බැහැ. රාහු කාලය ඉවර වූ විගස එන්නේ අගහරු හෝරාව. ‘යුද්දේ ච භෞමේ‘ කියලයි කියන්නේ. භෞමේ කියන්නේ අඟහරු. අඟහරු හෝරාවෙන් නැකතක් හදන්නේ යුද්ධය වෙනුවෙන්.අලුත් අවුරුදු නැකැත් කියන්නේ යුද්ධයක් නෙමෙයි. සමගිය, සමාදානය, ළෙන්ගතුකම ශ්‍රද්ධාවෙන් යුතුව කරනු ලබන සත්කාර්යයක්. ඒ නිසා රාහු කාලයත් අඟහරු හෝරාවත් අත්හැරලා නැකතක් සැකසිය යුතුයි. එතැනදී ලැබුණු හොඳම වෙලාව රාත්‍රී 11.02න් පස්සේ අපි සැකසුවා. ඒ අනුව රටටම සුදුසු පොදු නැකැත 11.06 වශයෙන් ගත්තා.

කිරිබත් ඉදෙන්නත් වෙලාවක් යනවා. ඒ නිසා ආහාර අනුභවය 12.06 ආදී වශයෙන් චාරිත්‍ර සඳහා නැකැත් යොදනු ලැබුවා. මේ නැකැත් යෙදෙන්නේ ප්‍රායෝගික නොවන වේලාවක බව යමෙක් කියන්න පුළුවන්. එහෙත් ඡ්‍යොතිෂ ශාස්ත්‍රය අනුව මේ වේලාවන් ඉතාම ශාස්ත්‍රීයයි. මෙවැනි තත්ත්වයන් හැමදාම සිද්ධ වෙන්නේ නැහැ. මේ අවුරුද්දේ සූර්ය සංක්‍රාන්තිය මේ විදිහට සිද්ධවෙලා නැකැත් මේ විදිහට සැකසුනත් එළැඹෙන වසරේදී එය වෙනස් වෙනවා. ලබන වසරේදී සූර්ය සංක්‍රාන්තිය සිද්ධ වෙන්නේ උදේ පාන්දර තුන පසු වෙලා. ඊළඟට එළැඹෙන වසරේ සූර්ය සංක්‍රාන්තිය සිදුවන්නේ උදේ නමයට පමණ. මේ විදිහට වෙනස්වීම සිද්ධ වෙනවා. මට කියන්නට තිබෙන්නේ මේ නැකැත් වර්ෂ ගණනාවකින් යෙදුණු අතිශය විශිෂ්ට සුබ නැකැත්. කිසිදු සැකයකින් තොරව විශිෂ්ටම ගණයේ පලදායක නැකැත් එනිසා අප දුන් වේලාවන් අනුව අවුරුදු උදාවේ චාරිත්‍ර ඉටු කරන්න කියලා මම ජනතාවගෙන් ඉල්ලා හිටිනවා.

 

මේ නැකැත් සැකසෙන්නේ ශ්‍රී ලංකාවේ සම්ප්‍රදායන්ට අනුකූලවද?

ඉන්දියාවේ ඡ්‍යොතිෂ ග්‍රන්ථවලට අනුකූලව සූර්ය සංක්‍රාන්තියට අදාළව ප්‍රධාන සංක්‍රාන්ති හතරක් තිබෙනවා. ඒවා තමයි මේෂ සංක්‍රාන්තිය, කටක සංක්‍රාන්තිය, තුලා සංක්‍රාන්තිය හා මකර සංක්‍රාන්තිය. ඉන්දියාවේ වැඩිය සලකන්නේ මකර සංක්‍රාන්තිය පිළිබඳව. එහෙත් අපි අපේ තිබෙන දේශීයත්වයට සාපේක්ෂව එලෙසම අපේ ආගමටත් සාපේක්ෂව ඉන්දියාවට වඩා ඉතා ඉහළ ශාස්ත්‍රීය මට්ටමෙන් මානුෂිකත්වය ඇතිව අපි වඩාත් සලකන්නේ මේෂ සංක්‍රාන්තියයි.

ඉන්දියානු ග්‍රන්ථ හා සූර්ය සිද්ධාන්තය ඇසුරින් මේ නැකත් සැකසෙන මුත් මේ බොහෝ ග්‍රන්ථවල කතා කරන්නේ මකර හා තුලා සංක්‍රාන්ති ගැනයි. මේෂ සංක්‍රාන්තිය ගැන නැහැ. මේ මේෂ සංක්‍රාන්තිය අපටම ආවේණික ක්‍රමයක්. ඉන්දියාවේ ශිව ආගම මුල්කරගෙන වැඩි හරියක් නැකැත් සිද්ධාන්ත භාවිත කරනවා. බුදුන්වහන්සේ අපේ ධර්මයේ නිර්මාතෘවරයා.

මේ අවුරුදු සංක්‍රාන්තියත් සමඟම යෙදී තිබෙන ළඟම මාසය වෙසක් මාසයයි. මේ දෙකම බද්ධ කරගෙන තමයි අපි මේ නැකැත් සම්ප්‍රදායන් කටයුතු සිදු කරන්නේ. ඡ්‍යොතිෂ ශාස්ත්‍රයේදී ඉන්දියාවට වඩා ඉහළින් අපි ඉන්න බව පැවසිය යුතුයි. ඉන්දියාවේ මකර රවිය ගැන සලකද්දී අපි සලකන්නේ මේෂ රවිය ගැනයි. ඒ අනුව අපේ තක්සේරුව වැඩියි.

ලෝකයේ පැවැත්මට ප්‍රධාන වන ග්‍රහයා වන්නේ සූර්යයායි. ඒ සූර්යයා වසරක් මුළුල්ලේ රාශි දොළහක් වටා ගමන් කර අවසානයේදී ආපෝ රාශියක් එනම් ජල රාශියක් වන මීන රාශියෙන් තේජෝ රාශියක් වන සූර්යයාට ඉතාම බලවත් රාශිය වන මේෂ රාශියට සම්ප්‍රාප්ත වන්නේ අප්‍රේල් මාසයේ 13 හෝ 14 වැනිදායි.

මෙවර සම්ප්‍රාප්ත වුණේ අප්‍රේල් 13 වැනිදා රාත්‍රී 09.05ටයි. රවි කියන්නෙත් තේජෝ ග්‍රහයෙක්. සූර්යයාව හඳුන්වන්නේ ‘තෛ‍්‍රලෝක දීපෝ රවි:’ කියලයි. මේ නිසා සූර්යයා ග්‍රහ මඬුල්ලේ ප්‍රධානම ග්‍රහයෙක් වෙනවා. මේ සූර්යය සංක්‍රාන්තිය පදනම් කරගෙන අලුත් වර්ෂයක් ආරම්භ වෙනවා. අප්‍රේල් මාසේ 13 වැනිදා රාත්‍රී නමයයි පහට ආරම්භ වන මේ වර්ෂය අප හඳුන්වන්නේ ශක වර්ෂ 1946 ලෙසයි.

ඒ නව වර්ෂයේ ආරම්භය ලෝකයේම ජනතාවට කිසියම් විදිහක නවෝදයක් ඇති කරන වර්ෂයක් වශයෙන් තමයි සලකන්නේ. ඒ නවෝදය පාදක කරගෙන හුඟක් හොඳ වෙලාවක තමයි චාරිත්‍ර සඳහා නැකැත් සකසන්නේ. ඒ අනුව පැය හයකුත් මිනිත්තු විසි හතරක් තුළ නැකැත් සකසන්න ඕනෑ.

මීළඟ කාරණය තමයි සූර්යය සංක්‍රාන්තිය සිද්ධ වන්නේ මධ්‍යම රාත්‍රී දොළහෙන් පසුව නම් ඊට පසුදින තමයි නැකැත් සැකසිය යුතු වන්නේ. නමුත් මෙවර සිදුවන්නේ රාත්‍රී නමයයි පහට නිසා සංක්‍රාන්තිය සිදුවී පැය 6යි මිනිත්තු 24ක් තුළ සියලු නැකැත් ගත යුතු වෙනවා. මෙය ඡ්‍යොතිෂ නියමයක්.

මේ නැකැත පවතින මොහොතේ පවතින ග්‍රහ තත්ත්වය කෙබඳුද?

මේ නැකැත් යෙදෙන මොහොතේ උදාව පවතින්නේ ධනු ලග්නයයි. ධනු ලග්නයට අදාළව ග්‍රහ පිහිටීම් පහත පරිදි වෙනවා. තුන්වැන්නේ ශනි, කුජ ද හතරවැන්නේ රාහු, සිකුරු, බුධ ද පස්වැන්නේ ගුරු, රවි ද හත්වැන්නේ චන්ද්‍රයා දහවැන්නේ කේතු ද යෙදී තිබෙනවා. මේ ග්‍රහ පිහිටීම අනුව ලග්නාධිපති ගුරු ඉන්නේ පස්වැන්නේ. එනම් පෙර පින් ඇති තැනයි. නවවැන්නාධිපතියා වන රවි ඉන්නේත් පස්වැන්නේ. මෙතැනම භාග්‍යත් භාග්‍ය යෝගය උදාව පවතිනවා. එය ඉතා හොඳ පිහිටීමක්. සෙනසුරු සහ කුජ තුන්වැන්නේ ඉන්නවා. අපේ පැරණි ජ්‍යෙතිෂ ග්‍රන්ථවල සඳහන් වෙනවා පාපීන් තුන, හය, එකොළහ ස්ථානවල සිටීම හොඳ බව. ඒ අනුව ශනි, කුජ තුන්වැන්නේ ඉන්නවා. මම දකින විදිහට මෙය වසර ගණනකින් යෙදුණු හොඳම නැකතක්. මහජනතාව ගැන පෙන්වන්නේ කේන්දරයක හතරවැන්නෙන්. රජතුමා ගැන පෙන්වන්නේ කේන්දරේ දහවැන්නෙන්. මෙහි ලග්නාධිපති සහ හතරවැන්නාධිපතියා වන ගුරු පහේ. මේ ග්‍රහ පිහිටීම් සුබදායකයි. මේ නැකතට වැඩ පටන් ගත්තහම මුළු ලංකාවෙම මිනිසුන්ගේ නිද්‍රාශීලී බව, අකර්මණ්‍ය බව නැතිව යනවා. පණක් ඇතුව උනන්දුවක් ඇතුව රට ගැන හිතලා තමන් ගැන හිතලා තම පවුල ගැන හිතලා වැඩ කරන්න පෙලඹෙනවා.

 

තවත් පිරිසක් විසින් මේ වන විට නව නැකැත් පත්‍රයක් ලබා දී තිබෙනවා නේද?

ඔව්. ඔවුන් නැකතක් ඉදිරිපත් කර තිබෙනවා. එය අතිශය අසුබයි. දහතුන් වැනිදා රාත්‍රී එනම් 14 වැනිදාට එළි වන්නට දොළහයි තිස් අටට අතිගණ්ඩ යෝගය ලබනවා. අතිගණ්ඩ යෝගය කියන්නේ මහා ගැටලු සහගතබව. එනිසා ඊට පෙර තිබෙන ශෝභන යෝගයෙන් තමයි අපි නැකැත හැදුවේ. ශෝභන යෝගය සුබයි, වචනයෙන්ම පැහැදිලි වෙනවානේ. මේ විදිහට රට අවුළුවන එක ඔවුන්ට සාපයක් බවට පත්විය හැකියි. අපි සාධාරණව ජීවත් විය යුතු මිනිස්සු. මේ විදිහට රටම බය කරන එක පාපයක්.

 

ඡායාරූප- රන්ජිත් අසංක

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
12 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.