ජය භූමියක බල පිහිටන හොඳම වෙලාව

උමා ජ්‍යොතිෂයෙන්
ජුනි 2, 2023

 

ජය භූමිය යනු කුමක්ද එහි කවර ප්‍රයෝජනයක්ද යන්න සරලව ඔබට පැහැදිලි කිරීම සඳහා පෙර සකසන ලිපි තුනම උපයෝගී වන්නට ඇතැයි සිතමි. ‘ජය භූමිය’ යන සංකල්පය තුළ ඔබ යායුතු දිශාව, ඔබ සිටිය යුතු දිශාව, ඔබ බැලිය යුතු දිශාව ආදී ‘දිශා’ සංකල්ප රාශියක් වේ. ඡ්‍යෝතිෂය කරන බොහෝ දෙනෙකු සඳු සිටින දිශාවට මුහුණලා කටයුතු කරන්නට උපදෙස් ලබාදෙන බව නොරහසකි.

 

ඉදින් එය ඡ්‍යොතිෂයෙහි ත්‍රිස්කන්ධ යටතේ විග්‍රහ කෙරෙන ‘හෝරා’ ස්කන්ධයේ එක් කුඩා විමසුමකි. එයද ජය භූමියක්මය. ස්ථුල නක්ෂත්‍රයෙහි නැතහොත් මහ නක්ෂත්‍රයෙහි එන විමසුම දළය. ලංකාවේ බොහෝ ඡ්‍යොතිෂ ශාස්ත්‍රඥයන් ශුභ දිශාව ලෙස අනුදිශා නොගන්නේ ‘උමා ඡ්‍යොතිෂයෙහි’ එන මූලික ඉගැන්වීම ස්පර්ශ නොකළ බැවිනි.

වර්තමානයේ මහ ඡ්‍යොතිෂය සමඟ එක්ව ඇති ‘සිංහල උමා ඡ්‍යොතිෂ සිද්ධාන්ත රැසක් වන නමුත් ඒවා බොහෝ දුරකට අර්ධ වශයෙන් හෝ ඌන වශයෙන් පවතින බව අසත්‍යයක් නොවේ.

සඳුගේ දිශාව අනු දිශාවලට යෙදෙන්නේ කෙසේදැයි අප සරලව විමසා බලමු. එය මේ ලිපිය පරිශීලනය කරන ඡ්‍යොතිෂ ශාස්ත්‍රඥයන්ගේ දැනුම පිණිස එක් කරමි.

සඳු සිටින දිශාව

චන්ද්‍රයා මේෂ, සිංහ, ධනු රාශිවලදී නැඟෙනහිරය, වෘෂභ, කන්‍යා, මකර රාශිවල දකුණේ ය. මිථුන, තුලා, කුම්භ රාශිවල සිටින සඳු බටහිරය. උතුරේ සඳු සිටින්නේ කටක, වෘශ්චික, මීන රාශිවලදීය. සෑම ලිත් පොතකම මෙම තොරතුර මෙසේම දක්වන අතර, අනුදිශාගත සඳු පිළිබඳ සටහන් කළ ප්‍රකට ග්‍රන්ථයක් මා මෙතෙක් නොදුටුවෙමි. මේනිසාම ලංකාවේ ඡ්‍යොතිෂ ශාස්ත්‍රඥයෝ අනුදිශා සුබ දිශා වශයෙන් නොගන්න බව පෙනේ. එහෙත් මෙම ඉගැන්වීමට මූල න්‍යාය වනුයේ ජයභූමි ශාස්ත්‍රයයි. එහි ‘චන්ද්‍රභූමි’ සතක් පිළිබඳව ඉගැන්වේ. මෙහි කියැවෙනුයේ රාශි භූමියය. ඉදින් එහි දිගුව ඔබේ දැනුම සඳහා මෙසේ ලියා දක්වමි.

මේෂ, සිංහ, ධනු රාශින්හි පළමු අංශක15 තුළ සඳු සිටින්නේ නම් සඳු නැඟෙනහිර සිටී. දෙවැනි අංශක 15 තුළ වේ නම් සඳු සිටින්නේ ගිනිකොන දිගය. ඉදින් මේෂ රාශියේ 28 උදාවන විටත් සුබ දිශාව නැඟෙනහිර වශයෙන්ම ගන්නා විට සඳු නැඟෙනහිර නොමැති බව මෙහිදී අවබෝධ විය යුතු ය. මෙසේ වෘෂභ, කන්‍යා, මකර රාශිවල මුල් අංශක 15 දකුණෙහි සිටින සඳු එම රාශි අගදී නිරිත දිග සිටී. මිථුන, තුලා, කුම්භ රාශිවලද මෙසේම මුල් අංශක 15 බටහිර සිටින අතර අග අංශක 15 දී සඳු සිටින්නේ වයඹය. උතුරේ සඳු සිටින්නේ කටක, වෘශ්චික, මීන රාශිවල මුල් අංශක 15 පමණි. අග 15 වන විට සඳු සිටින්නේ ඊසාන දිගය. ඉදින් මෙකී විෂය ‘විශේෂයෙන්ම සිංහල උමා ඡ්‍යොතිෂය සංකීර්ණය නැණසින් අවබෝධ කටයුතු ය. පවත්නා ප්‍රකට මතය සමඟ ඉහත ලියමන එරෙහි වී තිබේ. එය පිළිගත යුතු නැත.

නමුත් තර්කානුකූලව විමසිය හැකිය. එදා සිට කළ වරද අදත් හෙටත් කළ යුතු නොවේ. ඉදින් මා මෙය ලියන ලද්දේ ‘පුරාණ යමකාල’ ශාස්ත්‍රයට අනුකූලවය. මේ පිළිබඳ මා දුටු සංස්කෘත මූල‍්‍රශ්‍රයක් වේ නම් ඒ ‘බ්‍රහ්මයාමල’ ග්‍රන්ථයයි.

චන්ද්‍රයා පිළිබඳව නම් තව බොහෝ ලිවිය හැකිය. චන්ද්‍රයා නිතර වෙනස්වන ග්‍රහයෙක්මය. චන්ද්‍රයා දකුණත දිශාවේ හෝ පෙරදිග තබා ගැනීම සාමාන්‍ය යෝජනාවය.

“සම්මුඛෙ අර්ථ ලාභාංච දක්ෂිණ සුඛ සම්පදා” ශ්ලෝක පාඨයද හැම තැන ප්‍රසිද්ධය. ඉදින් මා ඔබට කියන්නේ චන්ද්‍රයාට පිටු නොපා කටයුතු කිරීමම ශ්‍රේෂ්ඨ බවය. දකුණ පොදු නියමය වුවත් කරන කාර්යය අනුව, චන්ද්‍රයාගේ ස්වභාවය අනුව වම, දකුණ වෙනස් වේ.

එහෙත් පිටුපස චන්ද්‍රයා අශුභ වන්නේමය. ඉදින් ප්‍රකට මතය සමඟ සත්‍ය නැවත ගැටේ. ඔබට පාලක පරීක්ෂණ භාවිත කළ හැකිය. පර්යේෂණ කළ හැකිය. නිරීක්ෂණය අනුව නිගමනයකට එළඹිය හැකිය. අපිට එහි සත්‍යතාව ඇස් හමුවේ පෙන්වාදීමේ හැකියාව ඇති බවද පවසමු.

මේ රහස හෙළි කළේ සාමාන්‍ය ජනතාවට සෙතක් වනු ඇතැයි යන සිතිවිල්ල මතම පිහිටාය. දැන් නැවතත් ජය භූමිය සාමාන්‍ය විමසුමකට අවතීර්ණ වෙමු.

ජය භූමි කාලය

පෙර ‘යෝනි’ ගැන පැවසුවෙමු. එම යෝනියට ජය ගෙනන භූමිය ගැනද පැවසුවෙමු. එහි ප්‍රයෝජනය ද සඳහන් කළෙමු. ඔබේ ‘යෝනිය’ සොයා ගන්නා එක් සරල ක්‍රමයක් ගැන ද අප පෙර පවසා ඇත්තෙමු.

මෙසේ ජය භූමිය සඳහා ‘යෝනි’ සොයා ගනු ලබන ආකාර රැසක් වන අතර සමහර නිර්ණායකයන් සමහර කරුණුවලට පමණක් අදාළවේ. වාස්තු විද්‍යා කටයුතු සඳහා නාම යෝනිය සෙවීම එක් ආකාරයක් වන අතර එහි පලදායක කාල උදාව අනෙකකි. නඩුහබ සඳහා ‘යෝනි’ විමසීමත් උදා කාලයත් වෙනකකි.

වෘත්තීය කටයුතු ජයග්‍රහණය සඳහා ‘යෝනි’ උදාව තවකෙකි. උදා කාල ගණනය තවකෙකි. කේන්ද්‍රයෙහි කර්ම විපාක සෙවීම සඳහා යෝනි විමසනුයේ තවත් ආකාරයකිනි. මේ ඔබගේ අවධානය පිණිස සඳහන් කරන ලද අතර පෙර කී නමේ මුල් අකුරු අනුව යෝනිය සොයා ගැනීම පොදු රීතියක් වශයෙන් සලකා බැලිය හැකි ය.

එහි කාල උදාව මෙසේ සටහන් කරනු ලැබේ. එය දළ, ස්ථුල, ශූකාව යනුවෙන් උදාක්‍රම තුනක් වන අතර පළමුව දළ උදාක්‍රමය දක්වනු ලැබේ.

උදා ජය කාලය - ඉරිදා සඳුදා අඟහරු බදාදා බ්‍රහස්පති සිකුරාදා සෙනසුරාදා

උදේ 6.00 - 9.00 දක්වා ගුරුලා බළලා සිංහ දිවි නයි මී ඇත්

උදේ 9.00 - 12.00 දක්වා බළලා සිංහ දිවි නාග මී ගජ මුව

උදේ 12.00 - 3.00 සිංහයා දිවි නයි මී ගජ මුව ගුරුලු

සවස 3.00 - 6.00 දක්වා දිවියා නයි මී ඇත් මුව ගුරුලා

සවස 6.00 - 9.00 දක්වා නයා මීයා ඇතා මුවා ගුරුළා බළල් සිංහයා

රාත්‍රී 9.00 - 12.00 දක්වා මීයා ගජ මුව ගුරුලු බළල් සිංහ දිවි

රාත්‍රී 12.00 - 3.00 දක්වා ඇතා මුවා ගුරුලු බළල් සිංහ දිවි නයි

පාන්දර 3.00 - 6.00 දක්වා මුවා ගුරුලු බළල් සිංහ දිවි නාග මීයා

 

මා විසින් ලියන ලද “සිංහල නැකැත් කලාව - උමා ඡ්‍යොතිෂය 1 යන ග්‍රන්ථයේ මෙන්ම, ගුරුළු පිම්ම, ඉන්ද්‍ර ගුරුළු සාරාංශය වැනි ග්‍රන්ථවලින් ද මෙකී උදාක්‍රම ගැන තව දුරටත් අවශ්‍ය නම් තොරතුරු සොයා බැලිය හැකිවේ.

එහෙත් මේ කිසිදු පොතක් වෙළෙඳපළේ දැනට නැති නිසා පුස්තකාල සහාය පැතීමට ඔබට සිදුවනවා ඇත. එමෙන්ම බර්ටි පීරිස් මහතා විසින් 90 දසකයේ ඉන්ද්‍රගුරුලුව ගැන ලිපි පෙළක් ලියා පළකර තිබුණේ සුබසෙත පුවත් පතෙහිමය.

(කාලය නිවැරැදිව මතක නැත) ඉදින් වැඩිදුර හදාරන්නන් සඳහා එම තොරතුරු සටහන් කළෙමි.

උමා ඡ්‍යොතිෂය යනු ඉන්ද්‍රගුරුලුවද?

 

ඉහත උමා ඡ්‍යොතිෂය, ජය භූමිය, ඉන්ද්‍ර ගුරුලුව එකට සම්බන්ධ කොට තිබීම නිසා “උමා ඡ්‍යොතිෂය යනු ඉන්ද්‍රගුරුලුවමය” යන වැරැදි වැටහීම ඇතිවීමට ඉඩ ඇත. උමා ඡ්‍යොතිෂය යනු සමස්තයයි. එය සූක්ෂ්ම ඡ්‍යොතිෂයයි, සූක්ෂම වාස්තු විද්‍යාවයි, ස්වර සහ සංඛ්‍යා විද්‍යාවයි, සාංඛ්‍ය දර්ශනයේ ආධාරකයයි. උමා ඡ්‍යොතිෂය මහා සාගරය වී නම් ඉන්ද්‍රගුරුළුව ඉන් දිය දෝතක් වැනිය. එහෙත් එයද ක්‍රියාකාරීය, මහ ඡ්‍යොතිෂ න්‍යායන් අබිබවා ක්‍රියාකාරීය. ලොව ප්‍රචලිත විෂයක් තිබේ ජධඵථඪජ ඵජඪඥදජඥ යනු එයයි. උමා ඡ්‍යොතිෂයෙන්ද සාකච්ඡා කෙරෙනුයේ එයමය. ඉදින් මේ පිළිබඳ ශාස්ත්‍රීය විමසුමක අවශ්‍යතාව පසුවට තබා මෙහි දැනට කියන ලද ‘කාලය - ගුරුලු දිශාව යෝනිය’ සංකලනය කරමින් භාවිත කරන්නේ කෙසේද යන්න නිදසුන් සහිතව පහදාගන්නට අවශ්‍ය වේ. ඊළඟ ලිපිය ඔබතට එනතුරා මෙහි පෙර පැවසූ සියලු කරුණු නුවණින් විමසා ගැනීමට වැර දරනු ඇතැයි මම සිතමි.

 

 

මනෝවිද්‍යා උපදේශක,

පාරම්පරික ශාස්ත්‍රඥ

හෙක්ටර් පද්මසිරි ප්‍රනාන්දු

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 11 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.