පංච මහා පුරුෂ යෝගවලට අයත් සෙනසුරාගෙන් උපදින සස යෝගය

මාර්තු 19, 2021

පංච මහා පුරුෂ යෝග අතරේ සෙනසුරුගෙන් උපදින සස යෝගය අනෙක් යෝගවල ගති ගුණ වලට වඩා තරමක් අමුතු ස්වරූපයක් ගනී.

 

සස යෝගය ලබා උපන්නෝ දැසි දසුන් පිරිවැරූ අයවලුන් වෙති. රජෙකු හා සමාන වේ. නගරයක හෝ ගමක ප්‍රධානියෙක් වෙයි. අන් සතු වස්තුවට ආශා කරන්නෙකි. මොවුන්ගේ අදහස් උදහස් එතරම් යහපත් නොවේ.

බොහෝ පිරිවර ලබයි. ඥානවන්තයකු වීමේ බලවත් පිහිටීමකි. ආගම ධර්මයට කැමැත්තෝ ය. එහෙත් ආගමානුකූලව ජීවත් නොවේ.

මේ අන්දමේ යහපත් කරුණු රාශියක් තිබුණත් සෙනසුරාගේ කුඩු කේඩු ගති පැවතුම් ඒ අන්දමින්ම පවතී.

සෙනසුරා කෲරයෙකි. පවට නැඹුරුය. මේ ශ්‍රේෂ්ඨ යෝගයේ දී පවා සෙනසුරුගේ නෛසර්ගික ගති ගුණ අමතක කර නැතහොත් යටපත් කර දමන්නේ නොවේ.

සස යෝගයෙන් උපත ලද අය ප්‍රසිද්ධිය ලබන සොම්නසින් කල් යැවිය හැකි අය වේ. ජන්මියා හිතුවක්කාර මුරණ්ඩුකම් කරන අයෙක් විය හැකිය.

මිථුන, කන්‍යා, ධනු සහ මීන යන උභය රාශිවලින් උපදින ජන්මියාට සස යෝගය නොයෙදෙන්නේ සෙනසුරු ග්‍රහයා උච්චක්ෂේත්‍රව හෝ ස්වක්ෂේත්‍රව කේන්ද්‍ර ගත වීමක් නොවන හෙයිනි.

මේෂ ලග්නයෙන් උපන් ඔබට ඔබගේ කේන්ද්‍රයේ හත්වන භාවය වන තුලා රාශියේදී සෙනසුරු ග්‍රහයා උච්චක්ෂේත්‍රව හෝ දහවන භාවය වන මකර රාශියේදී ස්වක්ෂේත්‍රව හෝ පිහිටීමෙන් සස යෝගය යෙදේ.

වෘෂභ ලග්නයෙන් උපන් ඔබට ඔබගේ කේන්ද්‍රයේ දහවන භාවය වන කුම්භ රාශියේදී සෙනසුරු ග්‍රහයා ස්වක්ෂේත්‍රව පිහිටීමෙන් සස යෝගය යෙදේ.

කටක ලග්නයෙන් උපන් ඔබට ඔබගේ කේන්ද්‍රයේ සිව්වන භාවය වන තුලා රාශියේදී සෙනසුරු ග්‍රහයා උච්චක්ෂේත්‍රව ද හත්වන භාවය වන මකර රාශියේදී ස්වක්ෂේත්‍රව ද පිහිටීමෙන් සස යෝගය යෙදේ.

සිංහ ලග්නයෙන් උපන් ඔබට ඔබගේ කේන්ද්‍රයේ හත්වන භාවය වන කුම්භ රාශියේදී සෙනසුරු ග්‍රහයා ස්වක්ෂේත්‍රව පිහිටීමෙන් සස යෝගය යෙදේ.

තුලා ලග්නයෙන් උපන් ඔබට ඔබගේ කේන්ද්‍රයේ පළමුවන භාවයේ නොහොත් ලග්නස්ථානයේදී සෙනසුරු ග්‍රහයා උච්චක්ෂේත්‍රව ද සතරවන භාවය වන මකර රාශියේදී ස්වක්ෂේත්‍රවද පිහිටීමෙන් සස යෝගය යෙදේ.

වෘශ්චික ලග්නයෙන් උපන් ඔබට ඔබගේ කේන්ද්‍රයේ හතරවන භාවය වන කුම්භ රාශියේදී සෙනසුරු ග්‍රහයා ස්වක්ෂේත්‍රව පිහිටීමෙන් සස යෝගය යෙදේ.

මකර ලග්නයෙන් උපන් ඔබට ඔබගේ කේන්ද්‍රයේ පළමුවන භාවයේ නොහොත් ලග්නස්ථානයේ සෙනසුරු ග්‍රහයා ස්වක්ෂේත්‍රව ද දහවන භාවය වන තුලා රාශියේදී උච්චක්ෂේත්‍රවද පිහිටීමෙන් සස යෝගය යෙදේ.

කුම්භ ලග්නයෙන් උපන් ඔබට ඔබගේ කේන්ද්‍රයේ පළමුවන භාවයේ නොහොත් ලග්නස්ථානයේ සෙනසුරු ග්‍රහයා ස්වක්ෂේත්‍රව පිහිටීමෙන් සස යෝගය යෙදේ.

 

ඡ්‍යොතිෂවේදී

උකුවෙල,

උපාලි ආරියරත්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.