වර්ෂ 2024 ක්වූ November 15 වැනිදා Friday
සුරගුරු ලංකා කේන්ද්‍රයේ බලවත් වේ
විශ්ව කේන්ද්‍රය නොහොත් මේෂ ලග්නයේ අයස්ථාන ගතවන ගුරු ලංකා කේන්ද්‍රයේ ලග්නගත වීම සුවිශේෂී ග්‍රහ මාරුවක් වශයෙන් සඳහන් කළ හැක.
යුක්තිය පසදින්නා, ගුරුන්වහන්සේ, බ්‍රහස්පති ආදී විවිධ නම් වලින් හඳුන්වනු ලබන මෙම සුරගුරු නොහොත් බ්‍රහස්පති 2021 ක් වූ අප්‍රේල් මස 5 වන දින සවස 6.25 ට කුම්භ රාශි ගත වේ.
මෙහිදී විශ්ව කේන්ද්‍රය නොහොත් මේෂ ලග්නයේ අයස්ථානගත වන ගුරු ලංකා කේන්ද්‍රයේ ලග්නගත වීම සුවිශේෂී ග්‍රහ මාරුවක් වශයෙන් සඳහන් කළ හැක. විශ්ව කේන්ද්‍රයේ එකොළොස්වැන්න නොහොත් සමාජ මිත්‍ර සන්තවය මෙසේ ගුරු ප්‍රවිෂ්ට වීම තුළින් ලෝකයේ විවිධ රට රාජ්‍යවල එකඟතාවයෙන් සකස්ව ඇති ලෝක සංවිධාන වන එක්සත් ජාතීන්ගේ සංවිධානය,ලෝක සෞඛ්‍ය සංවිධානය, යුනිසෙෆ්, යුනෙස්කෝ වැනි සංවිධාන මේ අනුව නව මඟක් ඔස්සේ මුළු මහත් විශ්වයටම සාධාරණයක්, යුක්තියක් ඉටුවන අයුරු පෙළගැසෙන බව දැක්විය හැක.
මේ අනුව දැනට නොවිසඳී පවතින මහජන සුබසිද්ධිය උදෙසා ගොඩනැගී ඇති ලෝක සෞඛ්‍ය සංවිධාන ජාතික සමගිය ලෝක සාමය මුල්කොටගෙන ඇති වී තිබෙන සංවිධාන ජාත්‍යන්තර වෙළෙඳ ගිවිසුම් මත සකස් කර ඇති සංවිධාන ආදිය නව මඟක් ඔස්සේ ලොවට වැඩදායි වන අන්දමින් පෙළගැසෙන බව පෙනේ. මෙකී අවස්ථාවේදී සුරගුරු නොහොත් බ්‍රහස්පති කුජට හිමි දෙනට නැකතේ ගමන් කිරීමත් බ්‍රහස්පති සහ මෙකී අඟහරු මිත්‍ර ග්‍රහයින් නිසාත් ක්‍රියාශීලීව යුහුසුළුව මෙකී සංවිධානවල සංවිධාන කටයුතු කරනු දක්නට ලැබේ.
මෙකී බ්‍රහස්පති සැප්තැම්බර් 16 වන දින නැවත මකර රාශි ගතව 2021 නොවැම්බර් 20 වන දින වක්‍ර නිවෘත ආදී විවිධ ග්‍රහ ගති පෙන්නුම් කළද 2022 අප්‍රේල් මස 13 වන දින දක්වාම මෙකී කුම්භ රාශියේ හැසිරීම සිදුවන බැවින් බ්‍රහස්පතිගේ මෙම කුම්භ රාශිගත වීමෙන් මුළු මහත් විශ්වයටම සාධාරණයක් යුක්තියක් ඉටුවන අතර පැතිර පවතින වසංගත රෝගය යම් ආකාරයකින් අඩු වීමක් පෙන්නුම් කිරීමටත් ඒ සඳහා නව ඖෂධ වර්ග මෙන්ම එන්නත් ආදිය ද සොයා ගැනීමටත් විවිධ රටවල විද්වතුන් පෙළගැසෙනු ඇත. එමෙන්ම අප රට සම්බන්ධයෙන් බලන විට හෙළ වෙදකම තුළින් යම් යම් ඔසු වර්ග බිහිවන අතර එතුළින්ද විවිධ සහන සැලෙසනු ඇත.
මේ අතර අප රටේ ගිහි පැවිදි සමාජයෙන්ද බලගතු ඹෟෂධ අප රට පමණක් නොව විදේශ රටවල ද ප්‍රචලිත කරවීමට කටයුතු කිරීම සිදුවන බව පෙනේ. සුරගුරු ලංකා කේන්ද්‍රයට ප්‍රවිෂ්ට වීමත් සමඟ මෙම තත්ත්වය විද්‍යමාන වන බව නොපැකිළව කිව හැක. නවග්‍රහයින් අතර ඒ ඒ ග්‍රහයින්ට හිමි වෘක්ෂ පෙන්වා ඇති අතර ඒ අනුව බ්‍රහස්පතිට හිමි වෘක්ෂය වශයෙන් සැලකෙන්නේ බෝ වෘක්ෂයයි. මේ අනුව මෙම ග්‍රහ මාරුවෙන් පසු බෝධි පූජා ආදියෙන් ලැබෙන සහනය හා සැනසිල්ල ද අපිරිමිත වනු ඇත.
මෙම ගුරු කුම්භ රාශි ගත වීමේදී කටක රාශියේ ප්‍රතිඵල ලැබෙන බව බොහෝ ග්‍රන්ථවල දක්නට ලැබේ. ඒ අතර බොහෝ දෙනා පරිශීලනය කරන හෙට්ටිගොඩ මහතාගේ ජීවිතය හා ග්‍රහයෝ කෘතියේද මෙය මනාව පැහැදිලි කොට ඇත. මේ අනුව ගුරු බලවත් වන අවස්ථාවේදී ගුරුගෙන් කියවෙන මානව දයාව යුක්තිය සෑම සිත්වලම මතු කරන බව පෙනේ. ඒ අනුව දැනට මිනිස් සිත්වල අකාරුණික බව පාප ක්‍රියා වලට නැඹුරු වීම සමාජ විරෝධී කටයුතු බොහෝ දුරට සමනය වීමට මෙම බ්‍රහස්පතිගේ ග්‍රහ ගමන ඉවහල් වන බව පෙනේ.
මෙම ග්‍රහ මාරුව තුළින් මේෂ ලග්නයට භාග්‍යස්ථානාධිපති නොහොත් පුණ්යස්ථානාධිපති අයස්ථානගත වීම තුළින් මෙකී ලග්න හිමියනට පෙර පින මතුවන වාසනාවන්ත කාලයක් බව පෙනේ. නැණවතුන්, ගුණවතුන් දක්නට ලැබේ. රැකීරක්ෂා අපේක්ෂාවෙන් සිටින අයගේ පැතුම් ඉටුවීමට හේතුවන කාලයකි. මේ අනුව මේෂ ලග්නයෙන් ඉපදෙන දරු දැරියනටද මේ වාසනා ගුණය හිමිවනු ඇත. බ්‍රහස්පති දශා ,අනු දශා ගෙවන අයටද උපතේදී බ්‍රහස්පති බලවත් වූ අයටද මෙකී විශේෂ ශුභ ඵල උදාවීමේ ප්‍රවණතාවය වැඩි වේ. මිථුන ලග්න හිමියනට දැනට පවතින සෙනසුරු ඒරාෂ්ටක තත්වයන් සමනය වී ඔවුන්ට ද පෙරපින මතුවන කාලයක් බව පෙනේ.
විවාහ අපේක්ෂිත මිථුන ලග්න හිමියනට නොසිතන ලෙස එය ඉටුවන කාලයකි. විදේශ ගමන් යෙදෙනු ඇත. කටක ලග්නයෙන් උපන් ඔබට පුණ්යස්ථානාධිපති වූ බ්‍රහස්පති හර්ෂ යෝග බලයෙන් අටවැන්නේ සිටීම අශුභ නැත. ඔබට යෝගකාරක ප්‍රධානම ග්‍රහයා වනුයේ බ්‍රහස්පති නිසා නොසිතන අයුරින් ඔබේ පැතුම් ඉටුවීමට මෙකී ග්‍රහ ගමන ඉවහල් වේ. සිංහ ලග්න හිමි ඔබට මෙම ග්‍රහ ගමන සිදුවනුයේ භාග්‍යස්ථානාධිපති අඟහරුට හිමි නැකතක මෙකී බ්‍රහස්පති ගමන් කරන අවස්ථාවේ බැවින් පෙර පින මතු වේ. කල්‍යාණ මිතුරු, මිතුරියන්, නැණවතුන් ගුණවතුන් ඇසුරට ලැබේ. අනාගත අභිවෘද්ධියට හේතුවන ග්‍රහ මාරුවක් බව පෙනේ.
තුලා ලග්න හිමි ඔබට බලවත් වූ පස්වන ත්‍රිකෝණයේ මෙම බ්‍රහස්පති ග්‍රහ ගමන ශුභ ඵල ගෙන දෙනු ඇත. දූදරුවන්ගේ අභිවෘද්ධිය දැකිය හැක. දාරක සම්පත් බලාපොරොත්තුවෙන් සිටින තුලා ලග්න හිමි මවුවරුන්ට වාසනාවන්ත දරු උපත් සිදු වේ. අධ්‍යාපන කටයුතුවලද ප්‍රගතියක් දක්නට ලැබේ. වෘශ්චික ලග්න හිමි ඔබට ද යෝග කාරක ගුරු සිව්වැන්නට පැමිණීම තුළින් සිතට සහනය සතුට ලැබේ. ගොඩනැගිලි ආදිය ඉදිකරගෙන යන වෘශ්චික ලග්න හිමියනට මෙකී කටයුතු වල නිමාවක් දැකිය හැක. ධනු ලග්න හිමියනට ලග්නාධිපති තුන්වැන්නට ගමන් කිරීම අශුභ නැත. යෝග කාරක අඟහරුගේ නැකතක මෙම ග්‍රහ මාරුව සිදු වීමත් ලග්නාධිපති වීමත් පුණ්‍යස්ථානය බ්‍රහස්පතිට පෙනීමත් නිසා සුබඵල මතු වේ. සහෝදරාදීන්ගේ උදවු උපකාර ලැබේ. මකර ලග්න හිමියනට බ්‍රහස්පති ධනස්ථානගත වීමද ශුභ ඵල දායකයි.
ලග්නාධිපති සස යෝගයෙන් බලවත්ව සිටින බැවින් ඇතිවන ශුභ ඵල බ්‍රහස්පති ධනස්ථානගත වීමෙන් වර්ධනය කරයි. කුම්භ ලග්නයට බ්‍රහස්පති ලග්නගත වීමෙන් සුවිශේෂී ග්‍රහ පිහිටීමක් දක්නට ලැබේ. සමාජ ගෞරවයට පාත්‍ර වීම, අයස්ථානය හා ධනස්ථානයන්හීදී බ්‍රහස්පති මෙකී ලග්නගත වීම සුවිශේෂී වරප්‍රසාද හිමිවීමට හේතුවන ග්‍රහ මාරුවක් ලෙස දැකිය හැකිය. වෘෂභ ලග්න හිමියනට සිහිකල්පනාවෙන් කටයුතු කළයුතු කාලසීමාවකී. කරගෙන ආ කටයුතු අතරමඟ නතර වන්නේ දොළොස් වැන්නාධිපතිගේ නැකතක මෙකී ග්‍රහ ගෝචරය සිදුවන නිසාය.
ප්‍රතිපත්ති පූජාවන්ට යොමු වීමෙන් සිතේ සතුට රඳවාගත හැක. කන්‍යා ලග්න හිමියනට අටවැන්නාධිපති අඟහරුගේ නැකතක මෙකී ග්‍රහ ගෝචරය සිදුවන බැවින් හවුල් ව්‍යාපාරවලට සුදුසු නැත. විවාහ ජීවිත ගතකරන අය දුරදිග බලා කටයුතු කළ යුතු වේ. මීන ලග්න හිමියනට කරන කටයුතුවලට ප්‍රතිඵල ලැබීම ප්‍රමාද වේ. පුන්‍ය කටයුතු සඳහා ද කාලය යෙදවීමට සිදු වේ. වැය පක්ෂය වැඩි වේ. සිතේ සතුට රඳවා ගැනීමට දැඩි වෙහෙසක් දැරීමට සිදුවේ. සුරගුරු නොහොත් බ්‍රහස්පති වර්ෂයකට ආසන්න කාලයක් එක රාශියක ගමන් කරයි.
මේ අනුව මෙම ග්‍රහයා වර්ෂ 12 කට වතාවක් එක රාශියක ගමන් කරයි. මේ අනුව මෙකී ගුරු මීට පෙර කුම්භ රාශිගතව ඇත්තේ 2009 මැයි 1 වන දිනයි. එකී අවස්ථාවේ සෙනසුරු සිටියේ සිංහ රාශිගතවය. සෙනසුරු මකර රාශිගතව සිටියදී ගුරු කුම්භ රාශිගතව සිටි අවස්ථාද මෑත ඉතිහාසයේ අපට දක්නට ලැබේ. 1962 පෙබරවාරි 24 සිට 1962 මාර්තු 6 දක්වාත්, 1903 ජනවාරි 19 සිට ජූනි 7 දක්වාත්, අගෝස්තු 5 වන දින වක්‍ර නිවෘත වී 1904 ජනවාරි 26 දක්වා කාල සීමාව මෙම සිදුවීම දක්නට ලැබ ඇත. එමෙන්ම තවත් යටගිය අතීතය දෙස බැලුවහොත් මෙවැනි අවස්ථා තවත් දැකිය හැක.
එහෙත් 2021 අප්‍රේල් 05 වන දින ගුරු කුම්භ රාශිගත වීම ඒ එකදු අවස්ථාවකට හෝ සමාන කළ නොහැක. බෞද්ධයන් වන අප ඍතු නියාම, ධම්ම නියාම, කම්ම නියාම, බීජ නියාම, චිත්ත නියාම යනාදි නියාම ධර්ම 5ක් සමඟ මේ ජීවන ගමන ගමන් කරනු ඇත.
ඍෂිභාෂිතයට අනුව බැලුවද වෙනත් ආගමික දර්ශන වලට අනුව බැලුවද මෙම 21 වන සියවසේ සිදුවන දෙවන රාශිගත වීම මෙයයි. පසුගිය කිසිදු ශත වර්ෂයකදි හෝ ඉන් එහා යටගියාවක හෝ ගුරු කුම්භ රාශි ගත වීම මෙම ග්‍රහ ගමනට සමාන කළ නොහැක. අද අපි ගත කරන්නේ 21 වන සියවසේ තාක්ෂණික යුගයයි.
එමෙන්ම ඕසෝන් තලයේ සිදුරු වීමෙන් ලෝක පරිසර පද්ධතිය දැඩි පරිහානියකට පත්ව ඇති මොහොතකයි. එහෙයින් පසුගිය අවස්ථාවල මෙකී ග්‍රහ ගමන මුල්කරගෙන සිදුවූ සිදුවීම් මෙකී ග්‍රහ ගමනට ආදේශ කළ නොහැක. 21 වන සියවසේ සුරගුරු කුම්භ රාශිගතවන දෙවන අවස්ථාවේදී සිදුවන ප්‍රතිඵල සහ ග්‍රහ ගෝචර ඵල භුක්ති විඳීමට නව අත්දැකීම් ඔස්සේ මිනිසාට සිදු වන කාලයක් බව නොවනුමානව කිව හැකිය.
කළිකාල ඡ්යොතීර්විද්යා පණ්ඩිත
මැදරට කලාභිමානි, සාම විනිසුරු, උඩදුම්බර මිනිපේ ප්‍රධාන අධිකරණ සංඝනායක
පූජ්‍ය කුඹල්ගමුවේ
ධම්මාලංකාර නාහිමි