සුබසෙතට පනහයි පාඨක දනන් සනහයි

මැයි 24, 2019

වසර 50 ක් නොව වසර සියයක් වුව ඉදිරියටත් නොනැසී හිඳින්නට සුබසෙතට ආයුබල පවතින බව අදද එයට තිබෙන විශාල පාඨක ප්‍රතිචාර අනුව පෙනෙන්නට තිබේ.

සුබසෙත 2019 මැයි 28 වන දිනට වසර 50 සපුරයි. එය 50 වැනි ස්වර්ණ ජයන්තියයි. අඩසියවසක් වැනි දීර්ඝ කාලයක් යෙහෙන් වැජඹීමට මෙහි ඇති රහස කුමක්ද. 1969 මැයි 28 වන දින මෙය ආරම්භ කරන්න ඇත්තේ සුබ නැකතකටය.

සැබවින්ම නැකත මුල්කොට ගත් ඡ්‍යොතිෂය පිළිබඳ පළවන පුවත්පතක් ආරම්භ කිරීමේදී නැකතට නැතොත් සුබ හෝරාවට දෙන මුල් තැන පිළිබඳ විවාද කුමකට එසේනම් සුබසෙත නොකඩවා වසර 50 ක් පළ කිරීමේ රහස එම නැකතේ බල මහිම නොවන්නේ ද? එදා පියසේන නිශ්ශංකයන්ගේ මූලිකත්වයෙන් ආරම්භ කොට පසුව කර්තෘවරුන් හා කර්තෘ මාණ්ඩලිකයන් විශාල පිරිසකගේ ඇප කැපවීම නොවන්නට ද අද අපට සුබසෙත මේ තරම් දිගු කාලයක් නොඑන්නට ඉඩ තිබුණි.

වසර 50 ක් නොව වසර සියයක් වුව ඉදිරියටත් නොනැසී හිඳින්නට සුබසෙතට ආයුබල පවතින බව අදද එයට තිබෙන විශාල පාඨක ප්‍රතිචාර අනුව පෙනෙන්නට තිබේ. ඡ්‍යොතිෂය, වාස්තු විද්‍යාව, යන්ත්‍ර මන්ත්‍ර නොහොත් ගුප්ත විද්‍යාව හස්තරේඛා විද්‍යාව හා ආයුර්වේදය පිළිබඳ සර්ව කාලීනව හා වෙනස්වන සමාජයට ඔබින ලෙස නවීකරණය වී ඇති සුබසෙත සදාතහිකවීමේ රහසයි. අද කොතෙකුත් ඡ්‍යොතිෂ පුවත්පත් පාඨක සමාජයේ පැවතුනද ඒවා ඇතිවී නැති වී යන අස්ථිර භාවයේ සලකුණු පළ කරතත් සුබසෙතට එදා මෙදාතුර ලැබෙන ඒ පාඨක රුචිය කෙසේද යන්න කතුවරුන් ලෙස අපි හොඳාකාරවම දනිමු.

මේ ආ ගමන් මගේ මූලිකයා පාඨක ඔබය. එසේ ඔබ අප අතැර නොයනතාක්කල් සුබසෙත තවත් දිගු කලක් නොනැවතී පළ කෙරෙනු ඇත. ආරම්භයේ මෙයට මුල් අඩිතාලම දැමූ එවක ලේක්හවුස් හි සිටි ගරු සභාපතිතුමා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලයද ප්‍රධාන කර්තෘවරයා හා කර්තෘ මාණ්ඩලිකයන්ද ඒ ලබාදුන් ජවය ශක්තිය දැනට තැනු සුවිශල් මන්දිරයක සවිමත් අඩිතාලම වැනි ය. ඉන් ඔබ්බට එදා සිට අදවනතුරු ඇප කැපවූ කර්තෘවරු සහ කර්තෘ මාණ්ඩලිකයන්ට මාගේ හදපිරි සතුට පිරිනමන්නට මෙය අවස්ථාව කොට ගනිමි.

ඒ හැරෙන්නට ලිපි ලියන ලේඛක ලේඛිකාවන්, ඡ්‍යොතිෂවේදීන්, ආයුර්වේද වෛද්‍යවරුන්, වෛද්‍යවරියන්, ප්‍රාදේශීය වාර්තාකරුවන්, වාර්තා කාරිණියන් මෙන්ම ලිපි ටයිප් සෙටින් කරන අංශය, සෝදුපත් කියවන අංශය, පින්තූර සකස් කරන අංශය, පිටු සැකසුම් අංශය, නිෂ්පාදන අංශය, මුද්‍රණ තහඩු අංශය, මුද්‍රණ අංශය, පත්‍ර මිටි බඳින අංශය, පත්‍ර පිට කරන අංශය, දැන්වීම් අංශය, බෙදාහරින අංශය හා ප්‍රවාහන අංශය ලෙසින් අංශ ගණනාවක එකමුතුව මට මෙහිදී මතකයට නැගෙනු ඇත. ඒ සැමට ශක්තිය සදන වර්තමාන ගරු සභාපතිතුමා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය පරිපාලන අංශ පිළිබඳවද මෙනෙහි කළ යුතුයි. ස්තූති පුර්වක සඳහන් කළ යුතු ය. මේ එකමුතුකමේ සබැඳියාව නොවන්නට මෙතෙක් දුරක් සුබසෙතට පමණක් නොව වෙන කිසිදු පුවත්පතකට යා නොහැක. එහෙයින් අප ඔවුනගේ එම කැපවීම අගයකොට සලකමු.

ඒ සැමට වඩා මාහා එකට එක පවුලේ සොයුරු සොයුරියන් මෙන් දිනපතා එකට අත්වැල් බැඳ සිටින කර්තෘමණ්ඩලයේ චම්පිකා දීපානි රණසිංහ, චම්පිකා අඹුවන්ගල, ධම්මිකා රාජපක්ෂ, සුරේඛා සංජීවනී, සිසිර අමරසිංහ, එස්. කොතලාවල යන කර්තෘ මණ්ඩලයේ සාමාජික සාමාජිකාවන් මට ලබාදෙන සහාය පිළිබඳ මා ඉතා අගය කොට සලකමි. සුබසෙත තව චිරාත් කාලයක් වැජඹීමට එම සබැඳියාව මහත් පිටුවහලකි. සුබසෙතට සුබ පතමු.

 

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.