ධන සම්පත් උදාකරන ග්‍රහයෝග

ජුනි 30, 2023

අප ජීවත්වන සමාජය දෙස බැලීමේ දී කෙනකු දුෂ්කරතාවලින් පිරුණු ජීවිතයක් ගත කරන අතර තව කෙනකු ධනයෙන් මෙන්ම ගුණ නුවණින්ද යුතුව වැදගත් අය වශයෙන් දිවි ගෙවති. ධනවත් පවුලක වුවත් පවුලේ දරුවන් අතර මේ වෙනස දැක ගත හැකිය. එයට හේතුව වනුයේ තමන් උපදින අවස්ථාවේ දී බලපෑ ග්‍රහ පිහිටීම් බව ඡ්‍යොතිෂය අනුව පැහැදිලි වේ.

ධන සම්පත් උදාකරන ග්‍රහයන් ගැන සැලකීමේ දී රවි, චන්ද්‍ර, ගුරු, ශුක්‍ර යන ග්‍රහයන් ඉතා වැදගත් ලෙස සැලකෙයි. කෙනකුට ලැබෙන ධන සම්පත් සමහර විටෙක ඉතා ඉක්මනින් නැති වී යයි. මේ සියල්ලටම හේතුව ඒ ඒ පුද්ගලයන් උපන් මොහොතේ තම කේන්ද්‍රයේ ග්‍රහයන් පිහිටි ආකාරයයි. කෙනකුට ධන සම්පත් ලබාදෙන ග්‍රහයෝග මේ අයුරින් දැක්විය හැකිය. කේන්ද්‍ර සටහනේ ධනය පිළිබඳව කරුණු සෙවීමට වැදගත් කොටුව වනුයේ දෙවැන්න හා එකොළොස්වැන්නය.

දෙවැන්නෙන් උපතින් ලබන හා තැන්පත් ධනය පිළිබඳ කියැවෙන අතර එකොළොස් වැන්නෙන් උපයන ධනය හා හදිසි ධනලාභ පිළිබඳ තොරතුරු දැන ගත හැකි ය. මෙම භාව අධිපතීන් බලයෙන් යුතුව හෝ එම ස්ථානවල ශුභ ග්‍රහයන් සිටින විට ධනවත් වී ගේ දොර, යාන වාහන පවා හිමිවෙයි. දෙවැන්න අධිපතියා ඔබ උපදින විට ඔබේ කේන්ද්‍රයේ එකොළොස් වැන්නේ සිටියොත් ඔබ උපතින්ම මවුපියන්ගේ ධනයට ද උරුමකම් කියනු ඇත. නැතිනම් ඔබ උපතින්ම ධනවත් පවුලක උපත ලබයි.

දෙවැන්නේ ගුරු, ශුක්‍ර, බුධ, සඳු වැනි ග්‍රහයන් සිටි විට ඔබට තැන්පත් ධනයක් උරුම වනු ඇත. දෙවැන්න අධිපතියා එකොළොස් වැන්නේත්, එකොළොස්වැන්න අධිපතියා දෙවැන්නේත් ස්ථානමාරු වී සිටියොත් ඔබ විශාල ධනයකට හිමිකම් කියයි. එකොළොස්වැන්න අධිපතියා අටවැන්නේ නම් එයද හදිසි ධන ලාභ හිමි වීමට හේතුවකි. යම් කෙනකුගේ කේන්ද්‍රයේ තුන්වැන්න, හයවැන්න හෝ එකොළොස්වැන්න යන ස්ථානයක් මේෂ රාශිය වී කුජ ග්‍රහයා එහි තැන්පත්ව සිටීනම් එය “ගජකේෂරී” නම් ග්‍රහ යෝගය වේ. මෙබඳු අයට සැප සම්පත් යස ඉසුරු රන් රිදී, මුතු මැණික් ආදිය ලැබීමේ වාසනාව හිමිය. භූමියෙන් ලැබෙන වටිනා වස්තු සම්භාරයකට ද හිමිකම් කියයි. මැණික් කර්මාන්තය, පතල් කර්මාන්තය ආදියෙන් හා වැව් ආශි‍්‍රත කර්මාන්ත වලින් විශාල ධනවතුන් වනුයේ මෙම ග්‍රහ පිහිටීම් ඇති අයයි. කුජ මහ දශාව, කුජ අන්තර් දශාව ගත කරන කාලය තුළ දී අනිවාර්යයෙන්ම මෙම ශුභ ඵල උදාවනු ඇත.

රවි ග්‍රහයා ස්ත්‍රිය කෙරෙහිද, චන්ද්‍ර ග්‍රහයා පුරුෂයා කෙරෙහි ද ධනය සම්බන්ධයෙන් වැදගත් වෙයි. කිසියම් අයුරකින් රවි, චන්ද්‍ර දෙදෙනා අශුභ දෘෂ්ටි හෝ අශුභයාට ශුභ දෘෂ්ටි හෝ දුන්නේ නම් ධනය ලැබීම අතින් ඉතා යහපත් වන අතර අශුභ දෘෂ්ටි නම් එය දුර්වල කරයි.

බහුතර ග්‍රහයන් පිරිසකගේ ශුභ දෘෂ්ටි, ශුභ සංයෝග වැඩි වූ තරමට ධනය ලැබීම වැඩිකරයි. චංචල දේපළ ලැබීමද දියුණු කරයි.

එකොළොස්වැන්නේ සෙනසුරු සිටීමත් හොඳ පිහිටීමක් වෙයි. ඔබේ කේන්ද්‍රයේ කුජ හා සිකුරු එකොළොස්වැන්නේ නම් අනුන් පිනවන රසිකත්වයෙන් හා විනෝදකාමී විවිධ ක්‍රමවලින් ධනය විශාල ලෙස ලැබීමට හේතුවේ. ඇසුරු කරන හා හමුවෙන අයගෙන්ද ධන ලාභ උදාකරන පිහිටීමකි. කේන්ද්‍ර සටහනේ හත්වැන්න අධිපතියා දෙවැන්නේ හෝ එකොළොස් වැන්නේ නම් විවාහයෙන් පසු විවාහ සහකරු හෝ සහකාරියගේ සහයෙන් හෝ උරුමයෙන් ධනවතකු වීමේ භාග්‍යය හිමි වේ. දෙවැන්න අධිපතියා හෝ එකොළොස්වැන්න අධිපතියා දොළහේ සිටීම නිර්ධන යෝගයකි. උපතින් ධනවත් පවුලක ඉපදුණ ද එම ධන සම්පත් පවා අහිමි වී යයි.

වෘෂභ ලග්නයෙන් උපත ලබා සඳු උච්චව එහි සිටියේ ද දෙවැන්නේ ගුරු ද හයවැන්නේ සෙනසුරු, අනිත් ග්‍රහයන් 11, 10 ස්ථානවල සිටියේද එයද ධන සම්පත් හිමි වීමට හේතුවේ. ගුරු, සිකුරු, බුධ ලග්න ගතව සෙනසුරු හතේද, රවි දහයේ ද සිටිවිට මහා ධනවතකුගේ උත්පත්තිය සිදු වේ. සියලු සම්පත් ලැබීමට හේතුවෙයි.

මිථුන ලග්නය වී පස්වැන්නට සිකුරු පැමිණීමත් සෙනසුරු එකොළොස්වැන්නේ සිටීමත්, ජන්මියාට ලොතරැයි ආදියෙන් ධන ලාභ ලැබීමට හේතුවේ. තවද යම් අයකුª මකර ලග්නයෙන් ඉපිද එහි කුජ ග්‍රහයා තැන්පත් වී සිටී නම්, හෙතෙම රුචක නම් බලවත් යෝගයෙන් උපන්නෙක් වේ. මෙවැන්නෝ කුමන ආකාරයකින් හෝ ධනය වස්තුව ලබා සැපවත් ජිවිත ගත කරන්නෝ වෙති. තම සතුරන් මර්දනය කර කිසිවකුටත් නොබියව හැම තැනකදීම ජය, කීර්ති, ප්‍රශංසා ලබමින් ජීවත්වීමට වාසනාවන්තයෝද වෙති.

 

හිඹුටානේ

පියතිලක ද අල්විස්

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
13 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.