බෝසත් රන මයුරාට සතසිය වසක් ආයුෂ දුන් බලගතු පිරිත

ජනවාරි 31, 2025

අතීතයේ අප මහා බෝසතාණන් වහන්සේ පාරමිතා පුරන අවධියේ දී පෙර අකුසලයක් බලවත් වී තිරිසන් යෝනියක උප්පත්තිය ලැබූසේක.

ඒ රන්වන් පැහැති මොනරෙකු හෙවත් ස්වර්ණමය මයුරෙක් ලෙස ය. මේ අවධියේ තමන්ගේ ආරක්ෂාවට තම වර්ගයාගෙන් හුදකලාව හිමාල වනයේ දණ්ඩකි හිරඤ්ඤ පර්වතයෙහි මේ රන්වන් පැහැති, අලංකාර මොනරා වාසය කරනු ලැබුවේ ය. බෝසත් රන් මොනරාණෝ බ්‍රහ්මචාරී දිවි පෙවෙතක් ගත කළඅතර දිනපතා සූර්ය උදාවත් හා සූර්ය අස්තංගයත් සිදුවන වෙලාවේ දී යම් ගාථාවක් පවසා ආශිර්වාද ලබා ගත්හ. මෙය “මෝර පරිත්තය” වශයෙන් වර්තමානයේ බෞද්ධයන් ඔවුන්ගේ පිහිට ආරක්ෂාව සඳහා නිරන්තරයෙන් භාවිත කරනු ලබයි. එම සූත්‍රය මෙසේ ය.

“ උදේතයං චක්ඛුමා ඒකරාජා
හරිස්සවණ්ණෝ පඨවිප්පභාසෝ
තං තං නමස්සාමි හරිස්සවණ්ණං
පඨවිප්පභාසං
තයජ්ජ ගුත්තා විහරේමු දිවසං.

ඇස් ඇති ඒකරාජ වූ, රන්වන් වූ, පොළොව බුබුළුවන්නා වූ, මේ හිරු තෙම නැඟෙයි. එහෙයින් රන්වන් වූ පොළොව බුබුළුවන තා වඳීමි. තා විසින් අද රක්නා ලද මේ දවස සුවසේ වසමු.

යේ බ්‍රාහ්මණා වෙදගූ සබ්බධම්මේ
තේ මේ නමෝ තේච මං පාලයන්තු
නමත්ථු බුද්ධානං නමත්ථු බෝධියා
නමෝ විමුත්තානං නමෝ විමුත්තියා.
ඉමං සෝ පරිත්තං කත්වා
මෝරෝ චරති ඒසනා.

යම් ක්ෂීණාශ්‍රව බ්‍රාහ්මණ කෙනකු සියලු ඤෙය්‍ය ධර්මයන් දැන, සම්‍යක්සම්බෝධියට පැමිණියේද, ඔවුනට මාගේ නමස්කාරය වේවා. ඒ භාග්‍යවත්හු මා රකිත්වා. පෙර බුදුවරුනට නමස්කාරය වේවා. සතරමහ සතර ඵලයයි කියන ලද බෝධියට නමස්කාර වේවා. පඤ්ච විමුක්තියට නමස්කාර වේවා. ඒ මයුර තෙම මේ පිරිත ආරක්ෂා කොටගෙන අහර සෙවීමෙහි හැසිරෙයි.

අපේතයං චක්ඛුමා ඒකරාජා
හරිස්සවණ්ණෝ පඨවිප්පභාසෝ
තං තං නමස්සාමි හරිස්සවණ්ණං
පඨවිප්පභාසං
තයජ්ජ ගුත්තා විහරේමු රත්තිං

ඇස් ඇති, ඒක රාජ වූ, රන්වන් වූ, පොළොව බබුළුවන්නා වූ මේ හිරු තෙම පහවෙයි. එහෙයින් රන්වන් වූ පොළොව බබළවන තා වඳීමි. තා විසින් අද රක්නා ලද අපි සුවසේ වසමු.

යේ බ්‍රාහ්මණා වෙදගූ සබ්බධම්මේ
තේ මේ නමෝ තේච මං පාලයන්තු
නමත්ථු බුද්ධානං නමත්ථු බෝධියා
නමෝ විමුත්තානං නමෝ විමුත්තියා.
ඉමං සෝ පරිත්තං කත්වා මෝරෝ
වාසමකප්පයීති.

යම් ක්ෂීණාශ්‍රව බ්‍රාහ්මණ කෙනකු සියලු ඤෙය්‍ය ධර්මයන් දැන, සම්‍යක්සම්බෝධියට පැමිණියේ ද, ඔවුනට මාගේ නමස්කාරය වේවා. ඒ භාග්‍යවත්හුදු මා රකිත්වා. පෙර බුදුවරුනට නමස්කාරය වේවා. සතරමහ සතර ඵලයයි කියන ලද බෝධියට නමස්කාර වේවා. පඤ්ච විමුක්තියට නමස්කාර වේවා. ඒ මයුර තෙම මේ පිරිත ආරක්ෂා කොටගෙන වාසය කළේ ය.

මේ පිරිතෙහි ආනුභාවයෙන් බෝසත් රන් මොනරා අවුරුදු හත්සීයක් ආයු වැළඳුවේ ය. මේ අතරවාරයේ වසර හත්සීයක් ගිය කල බ්‍රහ්මදත්ත රජුගේ බිසව ගැබ් ගෙන සිටින අවධියේ දී දිනක් රන් මොනරෙකුගෙන් තමන් බණ අසන සිහිනයක් දැක බිසවට එම සිහිනය යථාර්ථයක් කර ගැනීමට ආශාවක් ඇති විය. මේ පුවත බ්‍රහ්මදත්ත රජුට සැළ කිරීමෙන් පසු රජතුමා ඔහුගේ රාජ සභාව රැස්කරවා දේවියගේ එම දොළදුක අනාවරණය කෙරීය. එහි දී රාජ සභාව තුළ තවත් මතයක් ඉදිරිපත් විය. එනම් “රන්වන් මොනරෙකුගේ මාංශ වැළඳු කල එම පුද්ගලයා අමරණීය වන බවයි.” ඒ අවස්ථාවේ දී බිසවගේ ආශාව ඉක්මවා රජුගේ සිතෙහි අමරණීය වීමේ ආශාව බලවත් විය.

ඒ අනුව ක්‍රියා කළ රජු මුළු රාජ්‍යයේම වැද්දන් කැඳවා රන්වන් මොනරෙකු වාසය කරන ස්ථානයක් විමසුවේ ය. එහි දී එක් වැද්දෙකු හිමාල වනයේ මෙසේ වාසය කරන බෝසත් රන් මොනරා පිළිබඳව තමන් මුතුන් මිත්තන්ගෙන් අසා දැන ගෙන තිබෙන බව සැළ කළේ ය. ඒ අවස්ථාවේ දී රජු මේ රන්වන් මොනරා සෙවීමේ කාර්යය ඔහුට පවරන ලදී. බොහෝ උපක්‍රම යොදා මේ රන්වන් බෝසත් මොනරා අල්ලා ගැනීමට වැද්දා කටයුතු කළ ද ඒ සියලුම උත්සාහයන් අසාර්ථක වූයේ ය. ඒ මොනරා බ්‍රහ්මචාරී ජීවිතයක් සමඟ මේ මහානුභාව සම්පන්න මෝර පිරිත දිනපතා උදේ සවස සජ්ඣායනා කිරීම නිසාය. ඉන් අනතුරුව වැද්දා මේ රන්වන් මොනරා පිළිබඳව හොඳීන් අධීක්ෂණය කොට තමන්ට ඇති එකම බාධාව මොහුගේ බ්‍රහ්මචාරී දිවි පෙවෙත බව අවබෝධ කරගන්නා ලදී. ඉන් අනතුරුව සෙබඩකු ගෙන පුහුණු කරවා මේ වැද්දා බෝසත් රන්වන් මොනරාගේ බ්‍රහ්මචාරීත්වය බිඳ දමා මොනරා තමන්ගේ උගුලට හසු කරවාගෙන රජු වෙත ගෙන යන ලදී. එහිදී රජතුමන් මේ බෝසත් රන් මොනරා කථන හැකියාවෙන් යුතු ඉතාමත් අලංකාර, සුවිශේෂී සතෙක් වන බව වටහා ගත් අතර, රජු තමන්ට අමරණීය වීම සඳහා මොනරාගේ මාංශ ආහාරයට ගත යුතු බව මොනරාට ප්‍රකාශ කරන ලදී. ඒ අවස්ථාවේ දී මොනරාගේ පැනය වූයේ, “අවුරුදු හත්සීයක් බ්‍රහ්මචර්යාව ආරක්ෂා කරගෙන සිටින මා ද දිනෙක මිය යනවා නම්, ඔබ කෙසේ අමරණීය වන්නේ ද?” යන්නයි. මේ ආකාරයෙන් රජුන්ට බණ දේශනා කර, රජුගේ මිථ්‍යා දෘෂ්ටිය පළවා හැරීමට මේ බෝසත් රන්වන් මොනරා සමත් වූ අතර රජු ද සම්‍යක් දෘෂ්ටිකභාවයට පත්විය.

මෙසේ බ්‍රහ්මචාරීව වෙසෙමින් උදේ සවස මෙය සජ්ඣායනා කිරීම තුළින් බෝසත් රන් මොනරා ද සියලුම කරදර හිරිහැරවලින් ආරක්‍ෂා වී තිබේ. ගිහියන් වශයෙන් අප උදේ හවස මෙය සජ්ඣායනා කිරීම මඟින් අපට ඇතිවන්නා වූ හා ඇතිවීමට නියමිතව තිබෙන ග්‍රහ දෝෂ, සතුරු උපද්‍රව, භූත දෝෂ, රැකියා ස්ථානවල අනතුරු හා වෙනත් උපද්‍රවයන්ගෙන් මිදීමට හැකිවනු ඇත. එසේ ම පාරමිතා පුරන සමයේ බෝසතාණන් වහන්සේ ප්‍රායෝගිකව භාවිත කළ මෙම මෝර පිරිත අපගේ ජීවිතයට ද එක් කරගැනීම තුළින් ගිහි ජීවිතයේ සාර්ථකත්වය ළඟා කරගතත හැකිය.

 

තොරතුරු පාලි හා බෞද්ධ අධ්‍යයනාංශය, කැලණිය විශ්වවිද්‍යාලය

බෞද්ධ සංස්කෘතිය පිළිබඳ සහකාර කථිකාචාර්ය පූජ්‍ය හෑදෙණියේ

සුමේධ හිමි

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 8 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.