ඇවිදින විදිහෙන් කියැවෙන ඔබේ ගතිගුණ

ජනවාරි 24, 2025

 

“පූර්වේ නෘණාං කෘතශුභාශුභ කර්මණායත්
යාන්‍යත්‍රජනමති භවන්ති ඵලාඵලානි
අඞකාංසි තානි වපුෂඃ ප්‍රවිභාවයන්ති
සාමුද්‍රකං ශ්‍රැතමහං කථයෙ තදීයම්”

(සාමුද්‍රික ශාස්ත්‍ර)

මනුලොව උප්පත්තිය ලැබූ ස්ත්‍රී පුරුෂයන්ගේ ශරීර ලක්ෂණ කවරාකාරයකින් පිහිටා තිබේදැයි තම තමන්ටම දතහැකි වීම ප්‍රීතිමත් කරුණකි. පෙර භවයන්හි තම තමන් කළ කුශල අකුශල කර්මයන්ගේ ඵලය ප්‍රකාශ කරන ලකුණු ඔවුනොවුන්ගේ ශරීරයෙහි උප්පත්තියේදීම සටහන් වීම ධර්මතාවයකි. එසේ දේහ ලක්ෂණ ප්‍රකාශ කිරීමේ ශාස්ත්‍රය හෙවත් සාමුද්‍රිකා ශාස්ත්‍රය වනාහි ඉන්දියාවේ ජන්මය ලැබූවකි. එහි ප්‍රභවය පිළිබඳ හින්දු පුරාණ ග්‍රන්ථයන්හි මෙසේ දිසේ. ඒ අනුව ප්‍රථමයෙන් විෂ්ණු දෙවියන් විසින් ඊශ්වර දෙවිඳුගෙන් ගත ලකුණු පිළිබඳ විමසූ ප්‍රශ්නයන්ට පිළිතුරු වශයෙන් මෙය ප්‍රකාශ කළ අතර පසුව සාමුද්‍ර නම් ඍෂිවරයා භාෂිත බැවින් “සාමුද්‍රිකා ශාස්ත්‍රය “නම් විය.

පසුකාලීනව මේ මහඟු ශාස්ත්‍රය ලොව ප්‍රචලිතවී ඇති අතර පර්‍යේෂකයන්, දාර්ශනිකයන්, මනෝවිද්‍යාඥයන් වැනි උගතුන් අතර විවිධ පර්‍යේෂණයන්ට පවා භාජනයවීමෙන් අනතුරුව විවිධ පැතිකඩ ඔස්සේ මුල්බැසගෙන ඇත.

ඒ අතරින් යමෙකු ගමන් කරන ආකාරය අනුව ඔහුගේ ජීවන තත්වය හා පෞරුෂය පිළිබඳ පෙර අපර දෙදිග වියතුන් විසින් දක්වා ඇති ඉතා ප්‍රත්‍යක්ෂ කරුණු කිහිපයක් මෙතැන් සිට විමසා බලමු. මේ ගතිලක්ෂණ අවබෝධකරගැනීම ඔබට ඔබ ගැන වඩා හොඳ පරිචයක් ලබාගැනීමටත් අන් අය සමඟ අන්තර්ක්‍රියා කිරීමටත් මනා පිටිවහලක් වන බව නොඅනුමානය.

 

01.කුඩා පියවර හෙවත් මන්දගාමීව ගමන් කිරීම

හිස ඍජු කරමින් උරහිස් කෙළින් තබා මන්දගාමී ගමනක් සහිතව ඇවිදින පුද්ගලයන් සන්සුන්, ආකර්ෂණීය මෙන්ම අන්‍යයන්ට කුතුහලයක් දනවන අන්දමේ ක්‍රියා කිරීමට දක්ෂ අයවේ.

මොවුන් තරමක් නොසැලකිලිමත් අය මුත් නිහතමානී ආකල්පයන්ගෙන් ක්‍රියාකරන්නවුන් වන බැවින් මොවුන් වෙත මිනිසුන්ගේ ආකර්ෂණය නිරන්තරයෙන් හිමිය. තරමක කීර්තිමත් කෙනෙකු ලෙස පෙනී සිටීමට කැමතිවන මෙබඳු අය හට ස්වභාව ධර්මය පිළිබඳ යම් ඇළීමක් හා බැඳීමක්ද තිබිය හැකිය.අන් අය විසින් තමාව නිතර විමර්ශනයට ලක්කරන බව මෙවැන්නවුන්ට ඇතිවිය හැකි හැඟීමකි.

ඉතා පැහැදිලි අනාගතයක් සහිත මෙවැනි අය තමාට පීඩාකාරී බාධාවන්ගෙන් යම් බියක් ඇතිවූ විට පමණක් තමාගේ ඉදිරි දැක්ම මඳකට නතරකරනසුලු ගතියක්ද සහිතවේ. සීමිත සමාජ ආශ්‍රයක් සහිත වුවද හුදකලාවීමට අකමැත්තක් මෙවැනි ගමනක් සහිත අයගෙන් නිතර දක්නට ලැබේ. කම්මැළිකම පහසුවෙන් ඇතිවුවද විවිධ දස්කම් නිසා අනාගත සුබසෙත සලසාගන්නා ගති මෙන්ම තමාගේ ජීවිතය අසාර්ථක කරන හා ඍණාත්මක අදහස් සහිත අය තමා වෙතින් සම්පූර්ණයෙන්ම ඉවත්කර දැමීම මෙවැනි ගමනක් සහිත අයගේ සිරිත වේ.

එසේම හිස පහත් කරමින් සෙමෙන් ඇවිදින අය අතීත මතක ඔස්සේ බියෙන් හෝ ශෝකයෙන් දිවි ගෙවීමේ ප්‍රවණතාවක් පවතී. ධනාත්මක සිතුවිලි රටාවක් ඇතිකරවා ගැනීමට තනිව අරගල කරන මොවුන් ආත්ම විශ්වාසය නොමැතිකම නිසා විවාහ දිවියේද ගැටලුකාරී තත්ත්වයන් ඇතිකරගන්නා බව පෙනේ.

 

02. වේගවත්ව ගමන් කිරීම

මෙවැනි ගමන් සහිත අය විවෘත අදහස් ඇත්තෝ වෙති. බාහිර මෙන්ම නව්‍ය ආකල්ප සඳහා ඇල්ම සහිත මෙන්ම හෘද සාක්ෂියට එකඟවූ මෙවැනි අයවලුන් තම අවට සිටින අය සමඟ සාමාජීයමය සම්බන්ධතාවයන්ගෙන් යුතු සේම සාමාන්‍ය කාර්‍යයන් වේගයෙන් ක්‍රියාත්මක කරන්නෝද වෙති. අවදානම් ගැනීමට මෙන්ම ඉලක්කයන් හඹායෑමේ කැමැත්තෙන් යුතුවීම මෙවැනි අයගේ දියුණුවට හේතු වේ. එමෙන්ම ඍජු ප්‍රතිපත්ති හා නිර්භීතකමින් යුතු මෙවැනි ඇවිදීම් සහිත වූවවන් අනවශ්‍ය ගැටලුවලින් තොර දිවියකට මඟපාදා ගන්නා බව පෙනේ.

විශේෂයෙන්ම අන් අය සමඟ තමාගේ හැකියාවන් සසඳා බැලීමට යෑමෙන් මෙවැනි අය යම් පීඩාවන්ට ලක්විය හැකි අතර තමාගේ විශ්වාසය හා කඩිසර බව ඍණාත්මක සංකල්පයන්ගෙන් සුරැකී සිටීමට උපකාර කරයි. මේ ගණයට වැටෙන අය විවේචනාත්මක චින්තනයේ සහ ගැටලු විසඳීමේ මනා හැකියාවකින්ද යුතුවීම සුවිශේෂී කරුණකි.

 

03. දීර්ඝව ගමන් කිරීම

මෙවැනි ගමන් සහිත අය තමාගේ අරමුණ සඳහා ඇති කැපවීම හා ඊට ඇති කැමැත්ත මත අභිවෘද්ධිය සලසාගන්නා බව පෙනී ගොස් ඇත.දිගු අඩිවලින් යුතුව ඇවිදීමක් සහිත අය බොහෝවිට සමාජය තුළ ගෞරවයට පාත්‍ර වන අතරම ආදර්ශ සම්පන්න අය වේ. මෙවැනි අය ඉක්මනින් කේන්ති ගන්නා මුත් එය පාලනය කරගන්නා ගති මෙන්ම අසාධාරණයට විරුද්ධව යන ගතිද තිබිය හැකිය. විවිධ දක්ෂතාවයන්ගෙන් හා කාර්‍යක්ෂම බවින්ද පිරිපුන් ඕනෑම දෙයක් සඳහා ඉදිරිපත්වන ගති ස්වභාවයෙන් යුතු වුවත් තමාගේ අවට සිටින ආදරණීයයන් සඳහා දරුවකු මෙන් හිතෛෂීවන ගතිද තිබෙන බව නොඅනුමානය.

 

04. පාද අදිමින් ඇවිදීම

මෙය යම් රෝගී තත්වයක් වුවද නීරෝගී බවින් යුතු අය පවා මෙසේ ගමන් කරන ආකාරය අපි දැක ඇත්තෙමු. මෙවැනි ගමන් සහිත අය තමාගේ ජීවිතයේ විවිධ අවධීන් තුළ ගැටලුකාරී තත්ත්වයන් හමුවේ පීඩාවන්ට ලක්වූ අය විය හැකි අතර තමාගේ අරමුණු සඳහා නොයෙක් බාධා තමා විසින්ම ඇතිකරගන්නාසුලු ගතියෙන්ද යුතු අය වෙති. පාලනය කරගත නොහැකි ප්‍රකෝපකාරීන් විය හැකි අතරම තමාගේ නොසැළකිළිමත් බව නිසා නොයෙක් විටදී හානිකර තත්ත්වයන් පවා ඇතිකර ගනී. තරමක මුරණ්ඩු ,හිතුවක්කාර ගතිද සහිත මෙවැනි අය අන්‍යන්ගෙන් දුරස්ව සිටීමට බෙහෙවින් කැමැත්තක් දක්වයි. අන් අයගේ අවවාද නොරුස්සන ගතිද බොහෝවිට මෙවැන්නවුන්ට තිබීමට හැකිය. ආර්ථික හා සාමාජීයමය පරිහානිය නිසා නිතර කණස්සල්ලෙන් දිවි ගෙවීමටද සිදුවිය හැයිය.

 

05. පා සටහන් මඟින් කියවෙන ලකුණු

ඕනෑම අයෙකු ගමන් කිරීමේදී පා සටහන් භූමියෙහි තැන්පත්වීම ස්වභාවයකි. එම පාසටහන් පිරික්සීම මඟින්ද එය හිමි අය කෙබඳු ගතිවලින් යුතු අයෙකුදැයි කිව හැකි බව පුරාණ සාමුද්‍රිකා ශාස්ත්‍රයෙහි දිසේ.

ගමන් කිරීමෙන් ඇතිවූ පා සටහන් උඩට නෙරා පිහිටා ඇත්නම් එවැනි අය රාග හැඟීම් වලින් යුතු කාමයට නැඹුරුවු අදහස් සහිත නිතර පංචකාම සම්පත්තියෙහි ගිජුවූවෝ වෙති.

සමතලාවූ පා සටහන් සහිත වූ අය නිතර සිතේ පැසෙන කේන්තියෙන් යුතු අන් අයගේ අවවාද තඹේකට මායිම් නොකරනාගති ඇති වුවද අවවාද අසා සිටින මුත් ඒවා ක්‍රියාත්මක නොකරන අය වේ. ද්වේෂ සහගත සිතින් යුතු වුවද බැලූ බැල්මට මෙවැනි අය බොහෝ ශාන්ත ස්වරූපයෙන් යුතුවූවෝ බව මේ ලක්ෂණ ශාස්ත්‍රය නොදන්නවුන්ට සිතිය හැකිය.

පා සලකුණ මැඳීන් ඡේදනය වී ඇත්නම් හෙතෙම මුග්ධ බවින් යුතු අයෙකුබව දත යුතුය. මෙවැනි අය ඉතා පහත් අදහස් සහිතවිය හැකි අතර තමා සියල්ල දන්නකු සේ සිතා සිටින ගතිද සහිත වේ. තමාගේ අඥානකම නිසාවෙන් සියලු කටයුතු ව්‍යර්ථ වී පසුව පසුතැවිල්ලෙන් කල්ගෙවන්නෝද වෙති.

භූමියෙහි පතිතවූ දීප්තිමත් පා සටහනෙහි ස්වස්තිකය , සිරිවසය, නඳවටය, සංඛ, චක්‍ර, සේසත්, තෝමර, මාණික්‍ය, පුෂ්ප ආදී මංගල ලක්ෂණ සහිත නම් හෙතෙම කෙලෙස් පහකරන ලද උතුමෙකු බව දතයුතු බව ඉපැරැණි සාමුද්‍රික ශාත්‍රයෙහි කියා තිබේ.

 

ජ්‍යෝතිෂ් රත්න (ඉන්දියා) , වාස්තු විශාරද් , සාමුද්‍රික ශාස්ත්‍රඥ , පරිවේණාචාර්‍ය ,රාජකීය පණ්ඩිත,

වැලිආරගොඩ රාහුල හිමි

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.