බුධගෙන් සුබපල ගෙනෙන සීලම්බර යන්ත්‍රය

ජනවාරි 10, 2025

අද ලියන්න යන්නෙ කුමාරයෙක් ගැන. ඒ කිව්වේ කුමාරයාට අයිති යන්ත්‍රය ගැන. මෙයා සෞරග්‍රහ මණ්ඩලය තුළ ඉන්න කුමාරයා. අපි පසුගිය දිනවල සෞරග්‍රහ මණ්ඩලයේ රවි, සඳු හා කුජ ගැන ලිව්වා.

යන්තරවල රූපසටහනුත් දැම්මා. ඒවාවලින් ඔබ ප්‍රයෝජන ගත්තා නම් අපි කැමැතියි. සංතෝසයි. මේ යන්ත්‍ර විද්‍යාව නැතිවෙන්න දෙන්න එපා. අපි ඒක රැකගනිමු. එකක් කියන්නම ඕනෑ. මේ විදියේ යන්ත්‍ර ගැන රූපසටහන් එවන්නෙ සුබසෙතෙන් විතරක් බව දැනගන්නකෝ. ඒක නිසා මෙයින් හැකිතරම් ප්‍රයෝජන ගන්න බලන්න.

බුධට අයිති ග්‍රහ යන්තරය තමයි “සිලම්බරය”. සිලම්බරය කිව්වාම පටලවාගන්ට එපා. සිලම්බර ජාති කිහිපයක් තිබෙනවා. හරියට “නරසිංහය” වගේ. එකක් තමයි සිව සිලම්බරය, අනික තමයි වක්‍ර සිලම්බරය. බුධට ආවේණික වූ සිලම්බරය බුධ ග්‍රහයාගේ විපත්වලට විතරමයි.

යන්තරය ගැන අවබෝධවන්ට බුධ ගැන විස්තර ටිකක් ලියන්නම්කෝ. සෞරග්‍රහ මණ්ඩලයේ කුමාරයා කිව්වේ නිකමටම නොවේ. කුමාරයෙක් කියන්නේ ලස්සන ශරීරය දිහා බලන්න ආස හිතෙන කෙනෙක්. බුධ ග්‍රහයා කිව්වේත් එහෙමම කෙනෙක් තමයි. ලස්සන දිලිසෙන එළියක් විසුරුවා හරින හරියට අපේ ගෙවල්වල සවිකරල තිබෙන ෆ්ලොරසන්ට් ලයිට් එළිය වගේ එළිය විහිදෙන ග්‍රහ තරුවක්. මෙච්චර එළියක් විහිදන්න හේතුව දන්නව ද. බුධ තමයි සූර්යයා ළඟින්ම ඉන්න ග්‍රහ ලෝකය. ප්‍රමාණය සඳු නැත්නම් චන්ද්‍රයාගෙන් හරියටම භාගයයි. නැත්නම් අර්ධයයි.

චන්ද්‍රයාගෙන් භාගයයි කිව්වේ දුරින් සැතපුම් 240000/2 එනම් සැතපුම් 120000යි. බුධ නපුංසකයි කියල නේද හිතන් ඉන්නෙ. ඒක ඇත්ත. බුධ ග්‍රහයට කිසිම ජීව බලයක් නැහැ. පෘථිවිය වගේ දිවා රෑ වෙනසක් ද නැහැ. හරියටම පෘථිවිය වගේ. ඔබ දන්නවානේ ඕනෑම ග්‍රහයෙක් හොඳ , නරක දෙන්නෙ එක්කෝ ග්‍රහ බලය මුලදි නැත්නම් අගදි ඉතා සැරට ප්‍රතිඵල දෙන බව. බුධ එහෙම නැහැ. සම්පූර්ණ කාලය තුළදීම එක වගේම ප්‍රතිඵල දෙනවා. බුධට අයිති කාල ප්‍රමාණය දන්නවා නේද? වසර 17යි. බුධ මහ දශවෙන් බුධ අතුරු දශාවට අවු. 02. මාස 04 දින 27යි. එයාට අයිති නැකැත් තමයි දෙට - අස්ලිස, රේවතී. ශරීරයේ කොටස් වශයෙන් ගත්තොත් බුධට අයිති බෙල්ලෙන් පහළ. සමහරුන්ට තද පිපාසයක් එන්නේ. ගැස්ට්‍රයිටිස් කියන රෝගය හදන්නේ මෙන්න මේ හොරා තමයි. මේ රෝගයට ලකුණු පහළ වුණාම සීතල ආහාර ගැනීම සීමා කරලා, ඇල්වතුර බොනවා වෙනුවට උණුවතුර බොන්න. ගමන් යනකොට හිස් බෝතලයකට උණුවතුර නිවලා දමාගෙන යන්න. මේක ඉල්ලීමක් හොඳේ.

ඔබලා අහල තිබෙනව ද සමහරු ඇල්වතුරත් නිවලා බොනවා කියලා කියනවා. ඒ වාක්‍යය මේ බුධ නම් හරියටම ගැළපෙනවා. ඒ තරම්ම කපටි මොළේ. හැබැයි ගල් ගිලලා වගේ උත්තරයක් නම් දෙන්නෙ නැහැ. වැඩ කෙරුවාව ඔළුවෙන්ම තමයි. ඒ බුද්ධිමතාගේ හැටි. කෙනෙකුට බුධ බලවත් වුණාම එහෙම තමයි. දැන් බුධ ගැන ටිකක් අවබෝධ වෙනවා ඇති. තව ටිකක් කියන්නම්කෝ.

දැකල තියෙනව ද සමහර අය කතාකරනකොට ගොත ගහනවා. ඒ බුධ දුර්වල වුණාම. සමහර පාසල් ළමුන් සාමාන්‍යයෙන් වයස අවුරුදු 3, 4, 5 ළමයි. ගොත ගහනවා. එහෙම අයට පුංචි කෙමක් තිබෙනවා.

ඒ අය අලුයම නැඟිටලා කතා නොකර බුධට අයිති පුංචි මන්තරයක් මතුර මතුරා කැහිපිත්තන් වැලක් ළඟට ගිහිල්ලා ඒක කඩාගෙන. ඒක මාලයක් වගේ හදාගෙන මේ ගොත ගහන ළමයගේ බෙල්ලට දාපුවාම දින 7ක් ඇතුළත ගොතය නවතිනවා. මේවා කෙම් ගුරුකම්.

අනෙක තමයි මේ ගොතය එන්නෙ සමහර දරුවෝ දේවාල තුළ අකුරු කරලා පූජාවට තිබූ පලතුරු, කැවිලි වර්ග අර අකුරු කළ දරුවාම කෑවොත්, ඒ කිව්වේ ඒ සරස්වතී පූජාවට තැබූ පලතුර - කැවිලි කාපුවාම මේ ගොතය එනවා. ඔය පුසාරිලා ඕවා දන්නෙ නැහැ. එතකොටත් මේ කලින් කියූ කෙම් ගුරුකම කළාම හරි. මේවා කොච්චර බෙහෙත් කළත් සුව වන්නේ නැහැ. දැන් වැටහෙනව ඇති ඡ්‍යොතිෂය – ගුප්ත ශාස්ත්‍රය, වෛද්‍ය විද්‍යාවට එහා තැනක තිබෙන්නෙ කියලා. මේක දියුණු කළේ නැහැ. හෙට දිනයට මේ ටිකත් නැතිවෙන තැනට ලකුණු පහළ වෙලා. ලෝකයේ ගොඩක් දේවල් නැති කරන්නෙ විශ්ව ශක්තිය, නැත්නම් ස්වභාවධර්මයා. ඒත් මේ වගේ වටිනා ශාස්ත්‍ර නැති කරන්නෙ අපේම මිනිසුන්. ඒ අය පරදේසීන්ට මුළා වෙලා. වහල් වෙලා. දේශීය දේ අගය කිරීම අඩුයි.

මේ බුධ යන්ත්‍ර මන්ත්‍රවලට හරි බලවත්. දිව, පෙණහැල්ල, නාසය, බුධට අයිති ශරීර කොටස්. ඉස්සර කාලයේ ළමයින්ව මහණ කළේ ඒ අයගේ මේ බුධ ග්‍රහයාගේ ගෝචරය බලලා.

හිටි හැටියේ ක්ලාන්තය දමන්නෙ මේ බුධ නිසා. අපි මේ සංසාරයේ ඉඳලා මීළඟ භවයට ගෙනියන්නෙ තෙවර්ගයයි. එනම් පින, පව හා බුද්ධිය (ඥානය) විතරයි. එහෙනම් බුද්ධිය බලවත් කරවන්න ඕනෑ. පින් පව් කළාට බුද්ධිය මෝරන්නෙ නැහැ.

රවි – බුධ කිව්වේ සංයෝග වුණොත් යෝගයක්. මේක යහපත් අතට පිහිටියොත් ඕනෑම කේන්දරයක දුබල ග්‍රහ යෝගයක් ඇති වුණොත්, ඒකෙම රවි / බුධ යෝගය පිහිටියොත් ඒ දුබලතාව ක්‍රියා කරන්නෙ නැහැ. ඒ තරම්ම රවි / බුධ යෝගය බලවත්. හරියට පුතාව තාත්තා රැක ගන්නවා වගේ. සඳු / බුධ යෝගය එතරම් බලවත් නැහැ.

දැකල තිබෙනවද සමහර පුංචි ළමයි කිසිම දෙයක් ඉගෙන ගන්නෙ නැතුව ලොකු ලොකු දේවල් ප්‍රකාශ කරනවා. මේ ළඟදී ඔය ඇඹිලිපිටිය පැත්තෙ පුංචි ළමයින් හතර දෙනෙක් විදේශිකයන් කතා කරනවට වඩා හොඳින් ඉංගී‍්‍රසි භාෂාව කතාකරමින් උඩ බලාගෙන අහස් යන්ත්‍ර ගැන සාකච්ඡා කරනවා. කියලා පත්තරේ පළකරලා තිබුණා. තවත් සමහරු වයසට වඩා දියුණු දේවල් ප්‍රකාශ කරනවා. තවත් දක්ෂ දරුවන් විභාගවලට වාඩි වුණාම ප්‍රතිඵල අසමත් කරනවා. ඒ බුධ දුර්වල වුණාම. මේ හැම එකක්ම කරන්නෙ බුධ ග්‍රහයා. ඕගොල්ලෝ දන්නව නේද අපේ පුරාවිද්‍යාඥ මහාචාර්ය පරණවිතාන මහත්තයා. එයා සෙල්ලිපි, ගල්ලිපි කියෙව්වේ කවදාවත්ම නොදැකපු ඒවා. ඒ පසුගිය භවයෙන් ගෙනා බුද්ධිය නිසා. අපිට හිටපු ප්‍රාඥයෙක්. පෙර භවයක බුධ ග්‍රහයා බලවත් වුණාම එහෙම තමයි. හැබැයි බුධ නරක් වුණාමත් ඒ වගේ තමයි. උන්මාද රෝගීන් හදන්නෙත්, ඒ තත්ත්වය තද කරන්නෙත් බුධ තමයි. ඔබ අහල තිබෙනව ද මානසික රෝගීන්, උන්මත්තක රෝගීන්ට පුර තිථියට ලෙඩේ උත්සන්න වන බව. ඒ බුධ ග්‍රහයා නිසා. එහෙනම් තව එකක් ඉස්මතු වනවා. ඒක තමයි පුර තිථියට පුර ප්‍රාණවත් බව. බුධ දීප්තිමත් ලස්සන තමයි. ඒ වගේම නරක වුණොත් නරක ප්‍රතිඵල තමයි.

සිලම්බර යන්ත්‍රය

1) බුධ ග්‍රහයාගේ මහ දශා, අන්තර් දශාවලින් සහ සෙසු සියලු අයුරින් වැලඳෙන අගුණවලදී මේ සිලම්බර යන්ත්‍රය පැලඳීමෙන් බුධ ග්‍රහයාගේ අගුණ නසා සුබ පල ගෙන දෙනවා. බුධ ග්‍රහයාට මෙය විශේෂයක් වන අතර සෙසු ග්‍රහ අගුණ සහ රෝග, සතුරු භයාදිය ද මෙයින් සංසිඳවාලනවා.

අ) මෙය ජප කිරීමේදී බුධ ග්‍රහයාට අධිපති වනුයේ විෂ්ණු දේවයා හෙයින් විෂ්ණු පූජා දීම විශේෂයෙන් යහපත්.

(ආ) බුධට ආකර්ෂණයක් දිය හැකි ජප සංඛ්‍යාව 8000කි. එහෙයින් 8000ක ජපයක් දියයුතු වන අතර ඉතා හදිසි අවස්ථාවක නම් සුළු වශයෙන් 800කවත් ජපයක් දිය යුතුයි.

පාරම්පරික ඡ්‍යොතිෂවේදී ගුප්තවේදී, මීපේ ගණිතගේ

රන්ජිත් විද්‍යාරත්න 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
13 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.