2045 වන විට මිනිසාගේ පරමායුෂ අවුරුදු 45කට සීමා විය හැකියි?

ඔක්තෝබර් 27, 2023

මේ වන විට ප්‍රබලම සෞඛ්‍ය ගැටලුවක් බවට පත්ව ඇති බෝනොවන රෝග හේතුවෙන් වර්ෂ 2045 වන විට මිනිසාගේ පරමායුෂ අවුරුදු 45 කට සීමා විය හැකි බවට ලෝක සෞඛ්‍ය සංවිධානය පවා අනතුරු හඟවා ඇති බවත් එම අවදානම අවම කර ගැනීමට දේශීය ආයුර්වේදය තුළ පිළියම් රාශියක් ඇති අතර කොරෝනා මර්දනයේදී රජය කටයුතු කළ අයුරින් නීති රීති පැනවීම තුළින් හෝ මෙම බෝ නොවන රෝග ව්‍යාප්තිය පාලනය කිරීමට කටයුතු කළ යුතුව ඇති බවත් බදුල්ල රිල්පොල පාරම්පරික ආයුර්වේද වෛද්‍ය එල්.එම්. දිසානායක මහතා පවසයි.

දියවැඩියාව, අධි රුධිර පීඩනය, හෘදයාබාධ, අංශභාගය, කොලෙස්ටරෝල්, තරබාරුව වැනි බෝනොවන රෝගී තත්වයන්ට ගොදුරුවන පිරිස දිනෙන් දින වැඩිවීම පිළිබඳව අදහස් දක්වමින් ආයුර්වේද වෛද්‍ය එල්.එම්. දිසානායක මහතා මෙසේද සඳහන් කළේය.

අද වන විට ලොකු කුඩා භේදයකින් තොරව බෝනොවන රෝගවලින් පීඩා විඳීන පිරිස් සමාජය තුළ බහුලව හමුවෙනවා. මේවාට ගොදුරුවූ බොහෝ දෙනා බටහිර ප්‍රතිකාරවලට යොමුවුණත් එම ඖෂධවලින් බොහෝ විට සිදුවන්නේ රෝගය යටපත් කර තබාගැනීම. ඒවගේම එම ඖෂධ දිගින් දිගට භාවිතය තවත් රෝගවලට හේතුවන අවස්ථා බහුලයි. නමුත් දේශීය ආයුර්වේද ප්‍රතිකාර තුළින් සිදුවන්නේ රෝගය යටපත්කිරීම නොව රෝගය නිට්ටාවට සුව කිරීමයි. ඒ වගේම එම ඖෂධවලින් අතුරු ආබාධ හෝ එතුළින් වෙනත් රෝගවලට ගොදුරුවීම ඉතාම අවමයි. ඒ නිසා අප සැලකිල්ලෙන් කටයුතු කළොත් මේ රෝගවලට ගොදුරුවීමෙන් වැළකීම අපහසු නෑ. නිසි ව්‍යායාම, ස්වභාවික ආහාර පාන, යහපත් ආහාර පුරුදු හා යහපත් සෞඛ්‍ය පුරුදු තුළින් එය පහසුවෙන් කළ හැකියි. මේ වන විට සමාජයේ පවත්නා කාර්ය බහුලත්වය සමඟ ගොඩනැඟී ඇති කෘත්‍රිම ජීවන රටාව තුළ මෙම බෝ නොවන රෝග වැලඳීමේ අවදානමට වැඩිපුරම මුහුණ පා ඇත්තේ මේ රටේ ලක්ෂ 41 ක් පමණ වූ පාසල් දරුවන්. ඒ නිසා මේ වත් පිළිවෙත් පාසල තුළින් ආරම්භ කිරීම සුදුසුයි. එහිදී පාසල් දරුවන් ඇතුළු සමස්ත සමාජයේ අවධානය යොමුකළ යුතු හා ක්‍රියාත්මක කළ යුතු කරුණු කීපයක් තිබෙනවා.

පාසල් දරුවන්ගේ පළමු කාල පරිච්ඡේදය ශාරීරික ව්‍යායාම වෙනුවෙන් වෙන්කළ හැකියි. ඉන් දරුවන්ගේ ඉගෙනුමට අවහිරයක් නොවන පරිදි දවසේ කාල පරිච්ඡේදවලින් විනාඩි පහක් බැගින් අඩුකොට අමතර කාල පරිච්ඡේදයක් සකසාගත හැකියි. එසේම සියලු පාසල් දරුවන්ට උදෑසන පෝෂ්‍යදායි කොළකැඳ කෝප්පයක් ලබාදීම සුදුසුයි. සෑම දරුවෙකුටම පෝෂ්‍යදායි එළවළු ධාන්‍ය පලා වර්ග කුඩා මාළු හෝ බිත්තර ඇතුළත් ආහාර වේලක් ලබාදිය හැකි වැඩපිළිවෙලක් සැකසීම කළ හැකියි.

ඒ වගේම ඉතාම පහසුවෙන් කළ හැකි වුවත් අද වන විට විශාල ගැටලුවක්ව පවතින්නේ අවශ්‍ය ප්‍රමාණයට ජලය පානය නොකිරීම. ප්‍රමාණවත් තරමට ජලය පානය නොකිරීම ගැස්ට්‍රයිටීස් ඇතුළු බොහෝ රෝගවලට මුල්විය හැකියි. ඒ නිසා විශේෂයෙන් පාසල් දරුවන්ට ප්‍රමාණවත් ලෙස ජලය පානය කිරීමට පෙළඹවීම වැඩ පිළිවෙලක් ලෙස හෝ කළ යුතුයි. මේ සියළු කරුණු පාසල් දරුවන්ට පමණක් නොවේ වැඩිහිටියන්ටද අදාළයි. එසේම පාන්පිටි, කිහිප වරක් භාවිතා කළ තෙල්වල බැද අලෙවි කරන කෙටිකෑම වර්ග, කෘත්‍රිම වර්ණක හා කෘත්‍රිම රසකාරක සහිත පැණිබීම, අධික සීනි සහිත ආහාර ආදී සෞඛ්‍යයට අහිතකර ආහාර පාන භාවිතයෙන් දරුවන් වළක්වා ගැනීම අවශ්‍යයි. බෝ නොවන රෝග පාලනයට අවශ්‍ය සෞඛ්‍යමය වත් පිළිවෙත් හා යහපත් පෝෂණීය මෙන්ම ස්වභාවික ආහාර රටාවක් සහ යහපත් සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීමට අප වහ වහා හුරුවිය යුතුයි.

 

හාලිඇල සමූහ

ආර්.එම්. විජේරත්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.