සිනාසෙනු මැන දසන් දක්වා

ඔක්තෝබර් 20, 2023

 

මුඛය යනු පුද්ගලයකුගේ සමස්ත ශරීරයේම කැඩපත යැයි හැඳීන්වුවහොත් එය නිවැරැදිය. මුඛය තුළ ඇති වර්ග හතරකින් යුතු දත් අපට විවිධ කාර්යයන් සඳහා උපකාරී වේ. එහෙත් මේ දත් රැක ගැනීමට අප දක්වන්නේ ඉතාමත් අඩු සැලකිල්ලකි.

දවස පුරා විවිධ ආහාර පාන වර්ග මුඛය හරහා ශරීරයට ඇතුළු වේ. එහෙත් පීඩාකාරි දන්ත ගැටලු ඇතිවෙන තුරුම මුඛයේ පිරිසිදුකම සහ නීරෝගිකම පිළිබඳව දක්වන සැලකිල්ල ඉතා අල්පය.

දත් දිරායාමට බලපාන හේතු හා අවදානම් සාධක ලෙස දත් නොමැදීම, දුර්වල මුඛ සෞඛ්‍ය සනීපාරක්ෂාව, මුඛ කුහරයේ ආම්ලික නඩ් අගයක් ඇතිවීම, සීනි, කාබෝහයිඩ්‍රේට හා ආම්ලික ආහාර පාන පරිභෝජනය, දැනටමත් ඇතිවී ඇති දත් කුහර, වයස්ගත විමේදී දත්වල එනමලය ගෙවීයාම, ජානමය හේතු, දන්ත කොපු, බොරු දත් , පිරවුම් හෝ දත් කුට්ටම් වැනි දන්ත ප්‍රතිකාර උපකරණ ක්‍රමවත්ව පරිහරණය නොකිරීම හඳුන්වා දිය හැකිය.

දත් මැලියම්වලින් ආවරණය කරන හානිකර බැක්ටීරියා ආහාරවල සීනි භාවිත කරමින් අම්ල නිපදවන විට දත් දිරායාම සිදුවේ. මේ අම්ලය මඟින් දත්වල එනමලය ඛාදනය වී කාලයත් සමඟ දතේ කුහරයක් නිර්මාණය වේ.

ඒ වගේම දත්වලට ද විවිධ අනතුරු සිදු වෙයි. මුඛයට සිදුවන අනතුරු නිසා දත් කැඩී බිඳී යාම මෙන්ම දත් ගැලවී යාමට ද ඉඩකඩ ඇත.

වැටීම්, ගැටුම්, හදිසි අනතුරු හා ක්‍රීඩාවලදී මෙන්ම අනවශ්‍ය දෑ මුඛයේ දැමීම සහ දත්වලින් ඝන ද්‍රව්‍ය (ටොනික් මූඩි) ගැලවීමට යාම වැනි ක්‍රියාකාරකම් නිසාද දත්වලට හානි සිදු වෙයි.

ස්ථීර දත් වර්ධනය වූ පසු අනතුරකින් හෝ වෙනත් හේතුවක් නිසා දත ගැලවීමක් සිදු වුවහොත් එම ස්ථානයේ නැවත ස්ථීර දතක් වර්ධනය නොවන නිසා ස්ථීර දත් ගැන වැඩි අවධානයක් යොමුකළ යුතුයි.

දන්ත සෞඛ්‍ය නිසි ලෙස පවත්වා ගැනීම සඳහා මාස හයකට වරක්වත් දන්ත වෛද්‍යවරයෙකු වෙත ගොස් දත් පරීක්ෂා කර ප්‍රතිකාර ලබාගන්නා අතරතුර ‘කුහර වළක්වා ගැනීමට සහ දත් දිරායාමට පිළියමක් ලෙස, හානිකර බැක්ටීරියා මර්දනය කරන මෙම සරල පිළියම් නිවසේදී අනුගමනය කළ හැකියි.

කරාබු නැටි තෙල් බොහෝ දන්ත ගැටලු වලට ප්‍රතිකාර කිරීමේදි ඉතා වැදගත් අමුද්‍රව්‍යයක් ලෙස හඳුන්වනු ලබයි. ඒවායේ ඇති බැක්ටීරියා නාශක ගුණ මඟින් දත් කුහර පැතිරීම වළකයි. එබැවින් ඉඳහිට හෝ කරාබු නැට්ටක් සැපීම මුඛ සෞඛ්‍යයට ඉතාමත් ගුණදායකයි.

ලුණු වතුරෙන් කට සෝදන්න. ලුණු වතුරවල ප්‍රතිපුතීක හා බැක්ටීරියා නාශක ගුණ නිසා ප්‍රදාහය අඩුකර වේදනාව සමනය කරයි. මුඛ රෝග ඇතිකරන බැක්ටීරියා මර්දනය කර ආසාදන අවම කරයි.

සුදුළූනු ක්ෂුද්‍රජීවී නාශක ගුණයෙන් බහුල නිසා මැලියම් ඇතිවීම හා දත් කුහර ඇතිකරන බැක්ටීරියා විනාශ කිරීමේ හැකියාව පවතී. ඒ සඳහා අමුවෙන් සුදුලූණු බික් කිහිපයක් ආහාරයට ගැනීම ද සුදුසුය.

වැල්මීවල ප්‍රබල බැක්ටීරියා නාශක සංඝටක මඟින් කුහර ඇතිකරවන බැක්ටීරියා වර්ධනය වීම වළකයි. එමෙන්ම මැලියම් බැඳීම ද අඩුකරයි. නෙල්ලිවල ප්‍රතිඔක්සිකාරක හා විටමින් සී බහුල බැවින් බැක්ටීරියා හා ආසාදන වලට එරෙහිව සටන් කරයි. මුඛය පිරිසිදු කර දුර්ගන්ධය දුරුකරයි. එම නිසා දිනපතා නැවුම් නෙල්ලි ආහාරයට ගැනීම ගුණදායකය.

බ්‍රෝකෝලි, නිවිති, සැල්දිරි, සලාද ගෝවා ආදි කොළ පැහැති එළවළුවල අඩංගු ෆෝලික් අම්ල හා ඛනිජ අන්තර්ගතය විදුරුමස් හා දන්ත සෞඛ්‍යයට හිතකරය.

මීට අමතරව, ඇපල්, දොඩම්, ස්ට්‍රෝබෙරි, පෙයාර්ස්, තක්කාලි, අන්නාසි, කැරට්, පිපිඤ්ඤා වගේ ආහාර ගැනීමේදී දත් පිරිසිදු වෙයි. ඛේට ස්‍රාවය වැඩිවී මුඛයේ ආම්ලිකතාව අඩුවෙයි.

දන්ත සෞඛ්‍ය නිසිලෙස පවත්වා ගැනීම සඳහා ආහාර ගැනීමෙන් පසු සැමවිටම හොඳීන් කට සෝදන්න. සීනි බහුල ආහාරවලින් වළකින්න. දිනකට දෙවරක් දත් මදින්න. නින්දට පෙර ආහාර පාන ගැනීමෙන් වළකින්න. විටමින් ඒ, ඩී, ඊ හා කේ මෙන්ම කැල්සියම්, පොස්පරස්, මැග්නීසියම් හා අනෙකුත් වැදගත් පෝෂක බහුල ආහාර පාන ලබාගන්න. මුතුවන් නිරෝගී දත් දෙපළක් පවත්වා ගැනීම සඳහා උනන්දු වන්න.

 

 

එච්. ඒ. මධුශානි ප්‍රසංගිකා

හෙද නිලධාරිනී

ජාතික ආයුර්වේද රෝහල

කොළඹ

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 9 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.