ඉන්දීය භිර්ගු නන්දන නාඩියෙන් 2025 ඔබේ ලග්නයට

ජනවාරි 3, 2025

මේෂ ලග්නය

ඔබගේ ලග්නාධිපතියා කුජ ග්‍රහයා වක්‍රව කටකයේ ගමන් කරමින් තිබියදී ඔබට 2025 වර්ෂය උදාවෙයි. බොහෝ දුර හිතා මතා දූරදර්ශීව කටයුතු කිරීමට වග වගබලා ගත යුතු ය. විනිවිද භාවයකින් යුතුව ඔබේ දෛනික කටයුතු සිදු කරන්න. නඩු හබ, නීති කරදර ආදියට පැටලිය හැකි ය.

පපුව ආශ්‍රිතව ඇතිවන්නා වූ සෙම්පීඩා තත්ත්වයන්ට පත්වීම සිදුවිය හැකි ය. එසේම ශරීරය තුළ උෂ්ණාධික තත්ත්වයක් ඇතිවීමක් පෙන්නුම් කරයි. හදිසියේම අධික රුධිර ගලනයක් ඇතිවීමේ පසුබිමක් ද නිර්මාණය වී ඇත.

උත්සාහයෙන් ප්‍රතිඵල නෙළා ගනිමින් උසස් අධ්‍යාපන වරම් හිමිවන වර්ෂයක් ලෙස දැක්විය හැකි ය. රැකි රක්ෂාවල නිරත වී සිටින අය සඳහා ඔබේ හැකියාවන් දක්ෂතාවන් මත වෙනදාට වඩා වැඩියෙන් වගකීම් පැවරෙන වසරකි. හවුල් ව්‍යාපාර හා හවුල් කටයුතුවලට එතරම් සුබදායක ප්‍රතිඵල පෙන්නුම් කරන්නේ නැත.

වෘෂභ ලග්නය

ඔබේ ලග්නාධිපතියා වන සිකුරු ග්‍රහයා දහවැන්නෙහි රැකියා ස්ථානයෙහි තැන්පත් වී සිටියදී ඔබට 2025 වර්ෂය උදාවෙයි. ඔබ කරන කියන දෛනික කටයුතු සාක්ෂාත් කරගැනීමට ශක්තිය උදාවෙයි. එසේම ආර්ථික ශක්තිය බලවර්ධනය කරවා ගැනීමට විවිධාකාරයෙන් ඔබට උදව් උපකාරය ලැබීමට නියමිතව ඇත.

සෙම්ප්‍රතිශ්‍යාව, උරහිස් ආශ්‍රිතව ඇතිවන්නා වූ ආබාධ තත්ත්වයන්ට මුහුණ දීමේ ඉඩකඩ පවතින බැවින් ප්‍රවේශම්කාරීව කටයුතු කළ යුතු ය.

ඉගෙනීමට අවශ්‍ය කරන්නා වූ යහපත් මානසික තත්ත්වයක් ගෙන දෙන වර්ෂයක් වේ. උසස් අධ්‍යාපනය ලබන්නා වූ දරුවන් යම් යම් තහංචි පැනවීම්වලට ලක්වීමට ඉඩකඩ ඇති බැවින් කල්පනාකාරී විය යුතු ය.

රැකියා බලාපොරොත්තුවෙන් සිටින්නන්ට නව වර්ෂයේ දී බලාපොරොත්තු වූ රැකියා අවස්ථා උදාවේ. එසේම තමන් කරන රැකියාවෙන් මාරුවීමට අදහසක් පවතී නම් ඒ අවස්ථා ද ඉෂ්ට කර ගැනීමේ හැකියාව පවතී.

මිථුන ලග්නය

ඔබගේ ලග්නාධිපති බුද ග්‍රහයා හයවැන්නෙහි ක්‍රියාත්මක වෙයි. ඒ අනුව කුජගේ වෘශ්චික රාශියේදී ඔබේ වර්ෂය උදාවීම සිදුවෙයි. ඔබට මේ වර්ෂයේදී ග්‍රහ මාරු දෙකකට මුහුණ දීමට සිදුවෙයි. යම්කිසි විෂයක් හෝ කාර්යයක් පිළිබඳව හැකියාවක් පවතිනවා නම් ඒ ඔස්සේ ඔබට ස්වයං ව්‍යාපාර කටයුත්තක් ආරම්භ කිරීමේ හැකියාව පවතී. නවීන යාන වාහන මිලදී ගැනීමේ බලාපොරොත්තුවක් තිබේ නම් එය ද සාක්ෂාත් කරගැනීමේ හැකියාව උදා වේ.

වාත ධාතුව යම් ආකාරයකින් පීඩාවට පත්වීම තුළ වාත දෝෂ ඇති විය හැකි ය. එසේම හන්දිපත් රුදාව ද විටින් විට ඇතිවීමේ තත්ත්වයක් බලපවත්වයි. විශේෂයෙන්ම අවේලාවේ ස්නානය කිරීම්වලින් වැළකීමට වග බලා ගත යුතු ය.

අධ්‍යාපන කටයුතු සඳහා ඔබට මේ වර්ෂය සුබදායක වර්ෂයක් ලෙස පෙන්නුම් කරයි. උත්සාහයෙන්, ධෛර්යයෙන් යුක්තව කටයුතු කොට විභාග සාර්ථකව ජයගැනීමේ හැකියාවක් පවතී.

රැකී රක්ෂා කටයුතුවලදී තමන්ගේ ආදායම් මාර්ග සාර්ථක කර ගැනීමේ හැකියාව උදාවේ. එසේම රැකියා ස්ථානවල ජයග්‍රහණය මෙන් ම විශේෂ උසස් තනතුරු තානාන්තර පවා ළඟා කර ගත හැකි ය. ව්‍යාපාර කටයුතුවලට ද සුබ ය.

කටක ලග්නය

ඔබගේ ලග්නාධිපති චන්ද්‍රයා හයවැන්නේ තැන්පත් වී සිටියදී ඔබට 2025 වර්ෂයේ උදාවේ උදාවේ. ඔබ 2025 වර්ෂයේ ගුරු ග්‍රහයාගේ හෝ සිකුරු ග්‍රහයාගේ මහා දශාවක් හෝ අතුරු දශාවක් ගෙවෙන්නේ නම් ඔබට යම් කිසි සහනයක් අත්පත් කර ගැනීමේ හැකියාවක් ඇත. එසේම ඔබගේ දෛනික කටයුතු වලට අන් අයගෙන් ලැබෙන්නා වූ සහයෝගය බල වර්ධනය වන වර්ෂයකි.

විශේෂයෙන් ශීර්ෂය ආශ්‍රිතව යම් අපහසුකාරී තත්ත්වයන් ඇතිවිය හැකි ය. එසේම අධික විදියට යම් දේවල් පිළිබඳව කල්පනා කිරීම හෝ සිතීම නිසා ඔබට යම්කිසි මානසික අපහසුතාවයක් ඇති වේ. බෙල්ලෙන් ඉහළ ඉන්ද්‍රියන් පිළිබඳව අවධානය යොමු කිරීම වැදගත් වෙයි.

පසුගිය වර්ෂවලදී මගහැරුණු විෂය ක්ෂේත්‍රයක් පිළිබඳව ඔබගේ අවධානය යොමුවේ එසේම කඩඉම් විභාග රාජ්‍ය පරිපාලන විභාගවලට මුහුණ දී ඒවායින් ජයග්‍රහණය ලබාගත හැකි ය. දරුවන්ගේ අධ්‍යාපනය සඳහා සුබ වේ.

රැකියා කටයුතුවලදී ගැටලුකාරී තත්ත්වයන් උද්ගතවීමට ඉඩකඩ තිබේ. උසස් නිලධාරීන්ගේ අප්‍රසාදයට ලක්වීමට හැකි නිසා ප්‍රවේශම්කාරීව කටයුතු කළ යුතු ය.

සිංහ ලග්නය

ඔබගේ ලග්නාධිපති රවි ග්‍රහයා පස්වැන්නේ තැන්පත් වී සිටියදී ඔබට 2025 වර්ෂය උදාවෙයි. මේ වර්ෂයේදී ඔබට අෂ්ටම ඒරාෂ්ටකයකුත් පවතින්නට නියමිතව ඇත. දෛනික කටයුතුවලදී පීඩාකාරී තත්ත්වයන් මතුවීමට ඉඩකඩ පවතියි. ඔබට ග්‍රහ අපලකාරී තත්වයක් උද්ගත වන බවක් ද පෙන්නුම් කරයි.

සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව සලකා බැලීමේ දී ඔබට පිත කිපීමෙන් ඇතිවන්නා වූ දෝෂ ඇතිවිය හැකි ය.

අධ්‍යාපන කටයුතුවලදී ඔබේ උත්සාහයට අදාළ ප්‍රතිඵල ලබා ගැනීම සඳහා අවස්ථාව උදාවීම 2025 වර්ෂයේදී දක්නට හැකිය.

රැකියා හා ව්‍යාපාර කටයුතුවලදී උසස් අය සමඟ කටයුතු කරන විට කල්පනාකාරී වන්න නීති විරෝධී කටයුතුවලට මැදිහත් නොවීමටද වග බලා ගැනීම සුදුසු වෙයි.

කන්‍යා ලග්නය

ඔබගේ ලග්නාධිපතියා බුධ ග්‍රහයා වික්‍රමස්ථානයේ සිටියදී ඔබට 2025 වර්ෂය උදාවෙයි. ප්‍රසිද්ධ සතුරන්ගෙන් ප්‍රවේසම් වීම වැදගත් වේ. තමන් නොකළ දේවල්වලට පවා චෝදනා එල්ල විය හැකි නිසා කල්පනාකාරී වන්න. විවාහ ජීවිතය පිළිබඳව තරමක් බාධා ඇතිවීමට ද ඉඩ තිබේ.

ගෘහ ජීවිතය හා සම්බන්ධයෙන් ගෙදර දොරේ කටයුතුවලදීම යම් ගැටලුකාරී තත්ත්වයන් ඇති වේ. නිවසින් බැහැරව කටයුතු කරන්නට සිදුවන අවස්ථාවන් ද උදාවෙයි.

මේවා සමනය කරගැනීමට ඔබ විසින් පස් තෙල් මිශ්‍ර කරන්නා වූ තෛලයක් භාවිතා කරගෙන ඔබේ වයසට වඩා වැඩිපුර එක පහනක් හෝ දල්වා ආලෝක පූජාවක් කිරීම සුදුසුය.

තුලා ලග්නය

ඔබගේ ලග්නාධිපති සිකුරු පස්වැන්නේ තැන්පත් වී සිටියදී ඔබට 2025 වර්ෂය උදාවෙයි. එලෙසම මේ කාලවකවානුව නව වැන්න බලවත් වන්නා වූ වර්ෂයකි. ඔබේ දෛනික ජීවිතය තුළ උද්ගතවන්නා වූ තත්ත්වයන් ලෙහෙසියෙන් පහසුවෙන් ජය ගැනීමේ හැකියාව 2025 වර්ෂය ඔබට හිමි වේ.

ඔබ පෙම්වතකු හෝ පෙම්වතියක නම් ප්‍රේමය ජය ගැනීමට හැකිවන වසරකි. නවීන යානවාහන, අලුත් ඉඩම් ආදිය ලබා ගැනීමේ බලාපොරොත්තුවක් තිබූ ඔබට ඒවා සාක්ෂාත් කරගැනීමේ හැකියාවක් ද මේ වර්ෂයේ පවතී.

ඔබ දෙපා ආරක්ෂා කරගත යුතු ය. විශේෂයෙන් දිය ඇලි, මුහුදු වෙරළ ආශ්‍රයේදී ඔබ ජලයෙන් ආරක්ෂා වීමට වගබලා ගතත යුතු ය. ඉගෙනීම් කටයුතු පිළිබඳව අවධානය යොමු කිරීමේදී යම් විෂය ධාරාවන් වෙනස් කිරීමට සිදුවීමක් පෙන්නුම් කරයි.

රැකීරක්ෂා කටයුතුවලදී යම් ගැටලුකාරී තත්ත්වයන් උද්ගතවීමේ හැකියාවක් පවතී එලෙසම නව රැකියාවලට සම්බන්ධ වීමේ හැකියාව පවතී. දැඩි වෙහෙස මහන්සි වී කටයුතු කළහොත් උසස්වීම් ලබා ගැනීමේ හැකියාවක්ද පවතී.

වෘශ්චික ලග්නය

ලග්නාධිපති කුජ ග්‍රහයා නව වැන්නේ උසස් අධ්‍යාපන ස්ථානයෙහි වක්‍රව සිටියදී ඔබට 2025 වර්ෂය උදාවෙයි. තරමක් අවිවේකී ස්වභාවයක් ඇතිවීමේ තත්ත්වයක් බලපවත්වයි. එලෙසම වර්ෂය මැදදී ඔබේ බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ කර ගැනීම සඳහා ඔබට යම් පසුබිමක් නිර්මාණය වේ. එලෙසම වර්ෂය ආරම්භයේදී ම ඔබට ඔබේ ස්ථානය දියුණුවක් සාක්ෂාත් කර ගැනීමේ හැකියාවක් පෙන්නුම් කරයි. ඔබ කලබලකාරී තත්ත්වයෙන් මිදී තැන්පත් වී ආගම දහමට අනුව කටයුතු කරමින් ජීවිතය ජය ගැනීමට අවශ්‍ය වේ. ඔබ නිදි වැරීම නොකළ යුතු ය. ඔබට නිදි වැරීම නිසා යම්කිසි ආකාරයකින් සෞඛ්‍ය තත්ත්වයට හානියක් ගෙන දීමක් බලපවත්වනු ලබයි. එලෙසම තුන්දොස් කිපීමක් ඇතිවිය හැකි ය.

රැකියා ස්ථානය ඔබේ තනතුරට පහළින් සිටින්නා වූ අය විරුද්ධ වී යටිකූට්ටු ව්‍යාපාර රැගෙන ආ හැකි ය. නිර්නාමික පෙත්සම් ගැසිය හැකි ය. මේ පිළිබඳව කල්පනාකාරීව කටයුතු කිරීමෙන් එම තත්ත්ව මගහරවා ගත හැකි ය.

ධනු ලග්නය

ලග්නාධිපතියා ගුරු ග්‍රහයා 2025 වර්ෂය ආරම්භයේදී රෝග සතුරු ස්ථානයේ තැන්පත් වී සිටීමෙන් ඔබට පීඩාකාරී ස්වභාවයක් එල්ල විය හැකිය. කෙසේ වෙතත් ඔබ බලාපොරොත්තු වන්නා වූ ආකාරයකින් පැරණි දේවල් ඔබට හිමිවීමේත් අන් සතුව පැවතුණා වූ පෞරාණික දේ ලැබීමේත් භාග්‍යයක් බලපවත්වයි. ඒවා ප්‍රතික්ෂේප නොකොට භාර ගැනීම සඳහා වග බලාගත යුතු ය.

ඔබ විශේෂයෙන්ම සෑම අවස්ථාවකම ගමන් බිමන් යාමේදී සොර සතුරන්ගෙන් ප්‍රවේශම් වීමට වග බලා බලාගන්න. එසේම අමනුෂ්‍ය දෝෂ හා තනිකම් දෝෂ ඇති විය හැකිය.

නව වර්ෂයේ නව තනතුරක් ලැබීමේ පසුබිම සැකසුන ද ඔබගේ උනන්දුව මදි වීම නිසා ඒවා මඟ හැරී යාමක්ද පෙන්නුම් කරයි.

මකර ලග්නය

මකර ලග්නය හිමි බොහෝ දෙනෙකුට 2025 වර්ෂයේදී ගුප්ත ත්‍රිකෝණය නිර්මාණය වීමේ හැකියාවක් බලපැවැත්වේ. එය සෑම අංශයකින්ම දියුණුවක් සාක්‍ෂාත් කරගැනීමේ හැකියාවක් පෙන්නුම් කරන ලක්ෂණයකි. කෙසේ වෙතත් ඔබේ මකර ලග්න උත්පත්ති කේන්ද්‍රයේදී කුජග්‍රහයාගේ ක්‍රියාකාරිත්වය අයහපත් ලෙස පිහිටා තිබුණහොත් පීඩාකාරී තත්ත්වයන් නිර්මාණය වේ. යහපත් දශානුදශා ගෙවන අයෙක් නම් නව වර්ෂයේ සිටම සුබදායක අයුරින් ජයග්‍රහණ අත්පත් කර ගැනීමේ හැකියාව පවතී. ඔබ බලාපොරොත්තු වන වන්දනා චාරිකා සහ විදේශගතවීම්වලට භාග්‍ය හිමි වේ.

පසුගිය වර්ෂවලදී සම ආශ්‍රිත රෝගවලින්, කෙන්ඩා පෙරළීමෙන් පීඩා විදි අයෙකු නම් මේ වර්ෂයේ දී ඒවා සමනය වී ඔබට සහනය අත්වෙයි.

අධ්‍යාපනයේ නිරත වන ශිෂ්‍යයන්ට අනෙක් අයගෙන් ඇතිවන ගැටලුකාරී ස්වභාවයන් මගහරවා ගැනීමට ශක්තිය ලැබෙන වර්ෂයකි.

රැකීරක්ෂා කටයුතුවලදී යම් ගැටලුකාරී තත්ත්වයන්, කාර්යබහුල වීම වැනි තත්ත්වයන් පෙන්නුම් කරයි. එසේම ස්ථාන මාරුවීම් ද දුරබැහැර ගමන් ද යාමට සිදුවේ.

කුම්භ ලග්නය

ලග්නාධිපති සෙනසුරු ග්‍රහයා ලග්න ස්ථානයේම සැරිසරමින් සිටියදී ඔබට 2025 වසර උදාවෙයි. ඔබේ ජන්ම පත්‍රයේ දෙවැන්නෙහි, හත්වැන්නෙහි හෝ හයවැන්නෙහි කුජ ග්‍රහයා තැන්පත් වී සිටිනවා නම් ඔබට මේ කාලවකවානුව තරමක් පීඩා ගෙනදිය හැකිය. යහපත් දශානුදශා ගෙවන්නේ නම් ඔබට යහපත සෙත ශාන්තිය ළඟා කරගත හැකිය.

සෞඛ්‍ය තත්ත්වය යහපත් ස්වභාවයක් පෙන්නුම් කරයි. කුමන වයසක පසු වූවත් අලුතින් යමක් ඉගෙන ගැනීමේ හැකියාව හා අවස්ථාව උදා වේ.

රැකි රක්ෂා ස්ථානවල බොහොම පරිස්සමින් විනිවිදභාවයෙන් යුතුව කටයුතු කළ යුතු ය. නිර්නාමික තොරතුරු මත හෝ චෝදනා ඇතිව හෝ නොමැතිව නීතිප්‍රශ්න ඇති විය හැකි ය.

 

මීන ලග්නය

ඔබගේ ලග්නාධිපති ගුරු ග්‍රහයා ඔබේ ජන්ම පත්‍රයේ වික්‍රමස්ථානයෙහි තැන්පත් වී ඇත. ඒ අනුව 2025 වර්ෂයේදී ගෝචර වශයෙන් හිමිවන්නා වූ ගුප්ත ත්‍රිකෝණ බලයේ ශක්තියක් නිර්මාණය වේ. මේ අනුව ඔබෙන් ගිලිහී ගිය තනතුරු තානාන්තර හෝ රැකියාවක් නැවත ලබා ගැනීමේ හැකියාව පවතී. අධ්‍යාපන කටයුතු සම්බන්ධයෙන් පළමුවර අසාර්ථක වුවත් නැවත අභියාචනා ඉදිරිපත් කිරීම මඟින් එම අරමුණු සාක්ෂාත් කර ගත හැකිය.

ශිෂ්‍යත්ව ලැබීමේ භාග්‍ය ඇතිවේ. විදෙස් ගතවී ඉගෙනීම් කටයුතු කිරීම සඳහා ද කටයුතු සම්පාදනය වේ. මේ වසරේදී ඔබේ ශාරීරික ශක්තිය අඩු වී නිරන්තරයෙන් රෝග වැළඳීමේ ස්වභාවයක් පෙන්නුම් කරයි.

රැකියා මාරුවීම්, දුරබැහැර යාමට සිදුවීම් හා විදේශගත වී වෙනත් රැකියාවලට සම්බන්ධවීම් වැනි භාග්‍යවන්ත ස්වභාවයන්ද පෙන්නුම් කරයි.

ඡ්‍යොතිෂ නන්දන විශ්ව කීර්ති ජ්‍යොතිෂ විද්‍යා පණ්ඩිත ශිරෝමණී

තලගහ සද්ධානන්ද ස්වාමීන්වහන්සේ

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
9 + 8 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.