රවිගේ අපල දුරලන සූර්ය මණ්ඩල යන්ත්‍රය

දෙසැම්බර් 13, 2024

අද ලියන්න විස්තර කරන්න සූදානම සූර්යය මණ්ඩලය ගැන. ඔබ දත් දේ වැඩිදියුණු කරන්නත් නොදත් දේ දැන ගන්නත් හැංගුණ ඡ්‍යොතිෂ කරුණු රාශියක් හෙළි කරනවා. සමහර විට මේ කරුණු කලින් ඔබ අහලවත් නැතුව ඇති. අපි දන්නවා නව ග්‍රහයො අතරින් සෞරග්‍රහ මණ්ඩලයේ ප්‍රධානියා අර්ඛඞ නැත්නම් රවි. ලෙහෙසි වචනයෙන් කිව්වොත් සූර්යයා.

මේ තාරකාව අනෙත් හැම ග්‍රහයෙකුටම වඩා වෙනස්. එය තමන් වටේ පමණක් භ්‍රමණය වන අතර හැම ග්‍රහයෙක්ම මේ සූර්යයා වටේ කැරකෙනවා. එහෙත් අපේ ලෙහෙසියට රවිත් අප වටා භ්‍රමණය වන ග්‍රහයකු කියල තමයි හිතාගෙන ඉන්නෙ.

මේ සූර්යයාගේ නැත්නම් රවිගේ අපලවලට සහනය දෙන එකම යන්ත්‍රය තමයි සූර්යය මණ්ඩලය. පවුලක අම්මා තාත්තා තනිවම කිසි දෙයක් භුක්ති විඳින්නෙ නැහැනේ. එනිසා මේ යන්ත්‍රය හදන කොට මුළු මණ්ඩලයටම සංග්‍රහ කරනවා. ඒක කරන්නෙ යන්ත්‍රය මතුරන කොට. මොකද රවි කියන්නෙ සෞරග්‍රහ මණ්ඩලයේ පියා. සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහයො 9 දෙනාගෙන් 8 දෙනකු ළඟට මනුෂ්‍යයාට යෑමට හැකි වුණත් මේ ග්‍රහයා ළඟට යන්න තියා හිතන්නවත් බැරි බව ඡ්‍යොතිෂයේ, තාරකා විද්‍යාවේ හා බෞද්ධ පොත්වල පවා සඳහන් වනවා. ඇයි ඒ තරම්ම නපුරුද? ඔව්. හරි ප්‍රබලයි. කිට්ටුවටවත් යන්ට බැහැ. දාල පිච්චිලා යනවා.

මෙය විහිදුවන ආලෝකයට අපි සූර්යාලෝකය කියනවා. ඒකේ දිග කොච්චරද කියනවා නම් එක් කොනක සිට අනිත් කොනට ආලෝක වර්ෂ 120000යි. ඒ හරස් අතට. තිරස් අතට උඩ සිට පහළට ආලෝක වර්ෂ 20000යි. උස මෙන් 6 ගුණයක් වනවා. ඒ ගැන ඒ ඇති.

මේ යන්ත්‍රය මිනිසාට පලඳින්න හේතුව ටිකක් විස්තර කළොත් යහපත් වේවි කියල හිතුණා. රවි මිනිස් ශරීරයේ ප්‍රධාන වන්නෙ මිනිස් ඔළුවට සම්බන්ධ මොළය හා ඒ සම්බන්ධ සියුම් නහර හා ස්නායුවලට. මෙයා තමයි තැනකට රිදවලා වෙනත් තැනකට ප්‍රතිඵලය දෙන්නේ. කලාන්තය හදන්න මෙයා දක්ෂයි. මොකද මොළයට ලේ යන නහර අවහිර කරනවා. ලොකුවට අවහිර කළොත් ගොළු අංශභාගය වගේ රෝග හදනවා. විශේෂ දේ තමයි රවි සමඟ අඟහරුවා නපුරට එක්වන එක. ඒ කිව්වේ රවි නහරයක් වේළලා හිරකරන කොට ඒ නහර තුළට අඟහරුවා ලේ කැටියක් හිරකරනවා. අඟහරුවා හා රවි යන ග්‍රහයෝ දෙන්නම නීච වුණොත් නරක් වුණොත් අඟහරුවා ලේ කැටිය හිරකරන ගමන් පුපුරුවා හරිනවා. ඒක ඉක්මනින් දියකරල නොදැම්මොත් හෝ ඉවත් නොකළොත් නියම පූර්ණ අංශභාගය හැදෙනවා. මේ වෙලාවට කලාන්තය දාලා වැටෙන්න හොඳම නැහැ. එතකොට ගොඩක් අසරණ වනවා. ඔය ටික කරන්නෙ මේ නපුරු රවි හා කුජ. මේ ග්‍රහ පිහිටීම එක් ග්‍රහයෙක් අටවැන්නෙ හා අනිත් ග්‍රහයා 2 වැන්නෙ දෘෂ්ටි හෙළුවොත් තමයි. පුංචි ගුරු මුෂ්ටියකුත් කියන්නම්කෝ. අපේ පෙර වාසනාවකට මේ නපුරු දෘෂ්ටින් ශප්තම දෘෂ්ටියට දීප්තිමත් චන්ද්‍රයා හෝ බ්‍රහස්පති දුටුහොත් ඒ කරදර බොහෝ දුරට අහෝසි වනවා. ඒ වෙලාවට මේ යන්ත්‍රය ස්වකීය ජීවිතය පවා බේරනවා. මේ යන්ත්‍රය දමාගත් බොහෝ අය අනූනවයෙන් බේරුණා කියල කියන්නෙ මේ වෙලාවට තමයි.

මේ සූර්යය මණ්ඩලය අනිත් යන්ත්‍ර වගේ තනි ඉරෙන් අඳින්නෙ නැහැ. මේකට ද්විත්ව ඉරි පාවිච්චි කරන්න වේවි. තහඩුවට කරදරයක් නොවන පරිදි ප්‍රවේශමෙන් නිම කරන්න. ටිකක් අමාරුයි. අභිසම්භිධානයේ ගැබ් 9 යි. සූර්යය මණ්ඩලයේ ගැබ් 25 යි. අඟල් 2 සුර තහඩු මදි වේවි කියල හිතනවා. මම නම් පාවිච්චි කළේ අඟල් 3 තහඩුව. මන්ත්‍ර ටිකත් නියමෙටම පුරපුවාම නියම ගුණ දෙනවා.

මේ යන්ත්‍රයේ ජපය ලියන්ට කලින් ටිකක් විස්තර කළොත් හොඳයි හිතෙනවා. ඔබ අසා ඇති ඊශ්වර දෙවියෝ ගැන. මේ ඊශ්වර දෙවියො තමයි ඡ්‍යොතිෂයෙත් ගුප්ත ශාස්ත්‍රයෙත් ප්‍රධානියා. ඔය තොවිල් පොළවල්වලදි, බහිරව පූජාවලදි දෙවියන්ගෙන් ඉස්සෙල්ලම හදන්නෙ ඊශ්වර තටුව. අන්තිමටනේ ප්‍රේත තටුව හදන්නේ. ඉස්සෙල්ලම හදන්න ඕනි ඊශ්වර තටුව ඉතා පිරිසුදුව. මේක දිෂ්ටි කරන්නෙ ඊශ්වර දෙවියන්ට. මේ ලෝකෙට ඕනම දෙයක් ඇති කරන්නෙ මහ බ්‍රහ්මයා. විෂ්ණු රකිනවා. ඊශ්වරයා නැති කරනවා. යමක ස්වභාවයත් ඕකනේ. ඇතිවනවා. පවතිනවා. නැතිවනවා. ඊශ්වර දෙවියෝ ටිකක් සැරයි. ඒ වගේම මේ යන්ත්‍රය විටෙන් විට මතුරන්න බැහැ. එක එල්ලේ 1008 කින් භාගයක් වත් මතුරන්න ඕනෑ.

රවිටම අයත් මේ යන්ත්‍රය හිස - මොළය ස්නායු සම්බන්ධව වුණාට කීර්තිය ලැබීමට, තේජස් ලැබීමට වගේම අධිකරණ කටයුතුවලටත් ඉතා හොඳයි. රජුන්ගෙන් ගරු බුහුමන් ලැබීමටත් ඉතා අගනා යන්ත්‍රයක් කියල තමයි යන්ත්‍ර පොතේ සඳහන් වන්නේ. ජපයට නියමිත පුද තබන්නටම ඕනෑ. අනිකුත් යන්ත්‍ර වගේ ඒ යන්ත්‍රයේ නමින් දිෂ්ටි කළත් මේ සූර්ය මණ්ඩලය සූර්ය දිෂ්ටියෙන් දිෂ්ටි කරන්නෙ නැහැ. ඒ වගකීම ගන්න කැමැති නැති නිසා. මොකද ඒ තරම්ම සූර්ය දිෂ්ටිය සැරයි. මේ යන්ත්‍රය පැලඳීමේදී නීති රීති ටිකතුත් තිබෙනවා.

මේ යන්ත්‍රයත් මතුරන්න කලින් රත්රන් ආලේප කළොත් ගුණ වැඩියි. රවි නරක් වුණොත් ලැබෙන අරිටු ප්‍රතිඵල දැක්වෙන ශ්ලෝකයත් ලියනවා. ඒ යන්ත්‍රවලට කැමැති ඔබට....

“ද්වී සංග චිත්තවරී චෝදිත චිත්ත නාසං
කෙල්ශ ප්‍රවාස ගධ පිධ්‍ය භයනි තස්ස
සත්තෝභිජාත ජන බන්ධු පියෝඵ දුක්ඛං
භානු දසාම් භදනි නිශ්චය මා පාදස්ම”

 

සූර්යය මණ්ඩලය මතුරන කොට තව පුංචි අදහසක් කියන්ට ඕනෑ. වෙනත් යන්ත්‍ර මතුරන කොට සුළු දිෂ්ටියකින් ආරම්භ කර දෙවනුව රාම දිෂ්ටිය හෝ නවනීල දිෂ්ටියෙන් මතුරල ජප මන්ත්‍රය මතුරන බව දන්නවනේ. එහෙත් මේ යන්ත්‍රය මතුරන කොට ඊට අමතරව

“ඕං හී‍්‍රං ක්‍රිෂ්ණ විභූෂණ දේස් චක්‍රවර්ති පිසාච ලෝක නාරායනේ දේස් ගිනි බුදුරැස් කට්ටු”

කියන ඊශ්වර අලගුවත් පාවිච්චි කරන්න වේවි. දන්නවනේ ඊශ්වර අලගුව මතුරන කොට තටුවට ලේ තබන්න ඕනෑ බව. හරියට මහන්සි වෙලා කළොත් ප්‍රතිඵලය නියමයි.

ඕනෑම කේන්දරයක රවි 7 වැන්නෙ නරකට ගෝචර වුණොත් ස්වාමියාගේ නම් භාර්යාවටත්, භාර්යාවගේ නම් ස්වාමියාටත් රවි පුත්‍රස්ථානයේ නම් පුත්‍රයන්ටත් හානිය වනවාමයි. අපේ කේන්දරවල භාව දොළහෙන් රවිගේ ගෝචරයට රාශි 8ක්ම නරකයි. රාශි 4 යි හොඳ. ඒ බවත් මතක තබාගෙන කටයුතු කරන්න.

 

පාරම්පරික ඡ්‍යොතිෂවේදී ගුප්තවේදී, මීපේ ගණිතගේ

රන්ජිත් විද්‍යාරත්න 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
9 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.