අද්භූත ගනුදෙනුවක කතාව

දෙසැම්බර් 13, 2024

ඔහු මීට වසර කීපයකට පෙර නිව්යෝර්ක් නගරයේ පමණක් නොව ඇමෙරිකාවේ මෙන්ම යුරෝපය තුළ ද වෘතාන්තයක් බවට පත් වූ චරිතයක් වූයේය. ඵ් රූපට් ඔරේන්ජ් ය. අපගේ පුදුමය රූපට් ඔරේන්ජ්ගේ විස්මිත දිවි පෙවෙත ගැන නොවේ. මෙතරම් ඉක්මනට ඔහු පිළිබඳ සියලු ස්මරණයන් ඔහු ඇසුරු කළ සමාජයට අමතක වී යාම පිළිබඳවය.

විශේෂයෙන්ම ඔහුගේ උප්පත්තිය සිදු වූවාවූත්, ස්වකීය ඓශ්චර්යමත්, අද්භූත දිවි පෙවෙත ගෙවා දැමුවාවූත් නිව්යෝර්ක් නගරයේ සමකාලීනයන්ට ඔහු අමතක වීම ගැනය. එහෙත් යම් පමණකට විවෘතව කතා කිරීමට තරම් නිර්භීත ඇතැම් වයෝවෘද්ධ නෝනා මහත්මියකගේ විශ්වාසය දිනා ගැනීමේ අවස්ථාවක් උදාවිය හැකි නම්, ඔහු පිළිබඳව වූ මතකයේ එක් අංශු මාත්‍රයක් හෝ සොයාගත හැකිවනු ඇතැයි යන්න මම විශ්වාස කළෙමි. මන්දයත් බොහෝ කතුන්ගේ හදවත්වල වර්තමානයේ සිදුවීම්වලට වඩා අතීතයේ සුන්දර ස්මරණයන්ට ඉඩක් වෙන් වී ඇති බැවිනි. එහෙත් පුරුෂ පක්ෂය අරබයා සලකා බලන විට එවැනි උපකාරයක් ලබා ගැනීම ලෙහෙසි යයි සිතිය නොහැකිය.

ඔහු හා සිනාසෙන්නට ලැබීම පවා ආඩම්බරයක් කොට සැලකූ බොහෝ පුද්ගලයන් පමණක් නොව, ඔහුගේ කතාබහ ඇතුළු ශරීර භාෂාව පවා අනුකරණය කරන්නට ලැබීම ආඩම්බරයක් කොට සැලකූ බොහෝ පුද්ගලයන් පවා රූපට් ඔරේන්ජ් ගැන අද දවසේ කතා බහ කිරීම ගැන සැලකුවේ තම විෂය පථයට අයත් නොවූ මාතෘකාවක් ලෙසය.

ඒ අනුව ඔහු පිළිබඳව යමක් දැන කියා ගැනීමට පෙර සඳහන් කළ ආකාරයට වයෝවෘද්ධ නිර්භීත කුලවමියක දැන කියා ගැනීමේ උත්සාහයක මම නිරන්තරයෙන් යෙදී සිටියෙමි.

මන්ද යත් විදුලි ලාම්පුවල රන් පැහැති මන්දාලෝකයෙන්ද, නානා ප්‍රකාර වූ විචිත්‍ර විලාසිතාවන්ගෙන් හා මුතු මැණික්, දියමන්ති ආදියෙන් සුසැදි ස්වරණාභරණයන්හි දිදුළන කාන්තියෙන්ද, දියමන්තියෙන් කැටයම් කළාක් මෙන් පෙනෙන අගනා කුසලානයන්හි පිරී ඉතිරී යන රක්ත වර්ණ මදිරාවන්ගෙන් ද, මියුරු සංගීතයට අනුව රොමාන්තික ආලිංගනයන්හි යෙදෙන තරුණ තරුණියන්ගේ කාමාශක්ත භාව ලීලාවන්ගෙන් හා ප්‍රීතිමත් සිනාවන්ගෙන්ද පිරී ඉතිරි ගිය සන්ධ්‍යා ප්‍රිය සම්භාෂණයකදී, තාරුණ්‍යයේ විඳී පෙම්සුව පිළිබඳව යළි සිහිපත් නොවන කාන්තා හදවතක් සොයා ගැනීම එතරම් ලෙහෙසි පහසු කරුණක් නොවනු ඇති බැවිනි. අන්න ඒ මොහොත හඳුනා ගැනීමට ඔබ දක්ෂයකු වී නම් එවැන්නියකගේ හදවතට සමීපව මෙවැනි අපූරු චරිතාපදානයක් ගැන දැන ගැනීම වුවද, එතරම් අසීරු කරුණක් නොවනු ඇත.

ඔරේන්ජ් රූපට් වෘතාන්තය කෙරෙහි අතිශයින් බැඳී ගියා වූ මා මෙවැනි ප්‍රිය සම්භාණයකදී හමූ වූ එක් කුලකාන්තාවකගෙන් එහි එක් පොටක් පාදා ගත්තේ මේ අනුවය. ස්වකීය රූප සම්පත්තිය පිළිබඳ සාඩම්බරය අතීතයට බාර දිය යුතු වයසක පසු වූ නමුදු, ආකර්ෂණීය ලලනා ලාලිත්‍යයක ශේෂයන් සහිත සිරුරකට හිමිකම් කියනු ලැබූ ඇය අදටද ඇතැම් තරුණයන් දුටු කල්හි තමාට රූපට් ඔරෙන්ජ් සිහිපත්වන බව කියන්නට තරම් නිර්භීත තැනැත්තියක වූවාය.

මේ අතර එක් පිරිමියකු පමණක් ඔහු පිළිබඳව කතා කරනු ලැබීමේ දුර්ලභ අවස්ථාවක්ද මා හට අත් විඳීන්නට ලැබුණේය. රූපට් ඔරේන්ජ් පිළිබඳව වූ අතීත ස්මරණයන් ගැන පුදුම වෙමින් සිටි ඔහු එකල විසූ අන් බොහෝ පිරිමින් මෙන් ඔහුව අනුකරණයේ යෙදෙන්නට උත්සහ කළ අයෙකු නොවීය. සිය කතා බහ අනුව ඔහු විසින් පෙන්නුම් කරනු ලැබුවේ තෙමේද රූපට් ඔරේන්ජ්ගේ ඉරණම පිළිබඳව යම්කිසි කම්පනයකට හා කුතුහලයකට පත් වූ මගේම වර්ගයේ එකකු බවය. පුදුමය පිරුණු මුහුණින් යුතුව ඔහු එක්වරම පැවසුවේ “අපි කාටවත් හිතාගන්නවත් බැරි විදියට තමයි එයා මුළු ලෝකෙන්ම සමුගත්තේ. නමුත් ඔහුට මොකක්ද වුණේ කියන එක නම් මට කොහෙත්ම හිතා ගන්නවත් බැහැ” යනුවෙනි.

ඉක්බිති තවත් මොහොතක කාලයක් නිහඬව සිටි ඔහු පැවසුවේ “රූපට් ඔරේන්ජ් ගැන මේ පරම්පරාවේ අය අහලා තියෙන්නේ කොයිතරම් ස්වල්පයක් ද? ඒත් ඔහු සමඟ සිටි පරම්පරාවට එයාව අමතක වුණේ කොහොමද කියන එක ගැන නම් මට හරිම පුදුමයි ” කියාය. ඇත්තෙන්ම රූපට් ඔරේන්ජ්ගේ අද්භූත ඉරණම ගැන සෙවීමට මා පොළඹවනු ලැබුවේ පෙර කී අමුත්තා ඕනෑවට එපාවට මෙන් මා වෙත නැඟූ ප්‍රශ්නය බව කිව යුතුය. “එනම් රූපට් ඔරේන්ජ්ගේ ඉරණම විසඳුණේ කෙසේද? ” යන්නය.

ඔහුගේ සමකාලීනයන් මෙන්ම මමද පොදුවේ එක් දෙයක් දැන සිටියෙමි. එනම් ඔහුගේ ජීවිතය ආශ්චර්යමත් දෙයක් වූවත්, ඔහුගේ මරණය අපකීර්තිමත් එකක් වූ බවය. එහෙත් තම සමකාලීනයන් පිස්සු වට්ටවනු ලැබූ ශ්‍රී විභූතියකින් දිවි ගෙවූ රූපට් ඔරේන්ජ්ගේ දිවි ගමනෙහි හේතුඵල සම්බන්ධතාවයන් තහවුරු කර ගැනීමට තරම් ඒ දැනුම ප්‍රමාණවත් නොවීය. එබැවින් මේ පිළිබඳව උපන් නොනවතින කුතුහලයකින් මම නිරන්තරයෙන් පෙළෙමින් සිටියෙමි. නමුත් මේ කුතුහලය සංසිඳවා ගැනීමේ අරගලය පවත්වා ගැනීමට සිදු වුයේ එක්තරා රාත්‍රී ප්‍රිය සම්භාෂණයකදී වියෙනා ආදිපාදවරිය මුණ ගැසෙන තෙක් පමණි.

ඒ මීට වසර දෙකකට පමණ පෙර දිනකය. මා ඇය මුණ ගැසෙන අවස්ථාව වන විට තාරුණ්‍යයේ විවිධාකාර ප්‍රේමාලිංගනයන්ට සමුදී සෑහෙන කලක් ගතවී තිබුණද, තවමත් ආකර්ෂණීය කුලවමියක සතු ලාලිත්‍යවත් සිරුරකට අනන්‍ය වූ හැඩකාර සෞන්දර්යයක් ශේෂව පැවතුණි. වියනා ආදිපාදිවරියත්, අවිවාහක තරුණයෙකු වූ ඔරේන්ජ් රූපට් අතරත් ගොඩනැගී තිබූ අසම්මත පෙම් පලහිලව්ව එකල ඉහළ සමාජයේ අංක එකේ ඕපාදූපය බවට පත්ව තිබූ නමුදු, මේ කාලයේ රූපට් ඔරේන්ජ් වටා තිබූ අසිරිමත් ශ්‍රී විභූතිය හේතුකොටගෙන ඔහු වටා ඇති වී තිබුණේ, කෙනෙකුට තම සියලු අපචාරයන් නොදකින ලෙස නෙත් අන්ධ කළ හැකි රශ්මි ධාරාවකි. ඉතාමත් විවෘත හදවතක් සහිත හොඳ මිතුරියක් ලෙසද සැලකිය හැකි වියානා ආදිපාදවරිය, රූපට් ඔරේන්ජ් ඇසුරු කළ අනෙක් පුද්ගලයන් මෙන් ඔහුගේ අපකීර්තිමත් අභාවයෙන් පසු ඔහුව අමතක කර දැමීමට තරම් අකෘතඥ තැනැත්තියක නොවූවාය.

ඇය සතුව පැවැති ඔහු පිළිබඳව වූ මතකයන් ගැන කතා කරද්දී මා හට වැටහී ගිය සුවිශේම කරුණ වූයේ වියනා ආදිපාදවරියත්, රූපට් ඔරේන්ජ් අතරත් තිබී ඇත්තේ හුදෙක් ඔහුගේ ඉසුරුමත්භාවය නිසා ඇති වූ සම්බන්ධයකට වඩා ඔබ්බට ගියා වූ ගැඹුරු අවබෝධයක් සහිත ප්‍රේමයක් බවය.

අනෙක් බොහෝ දෙනෙකු මෙන් නොව ඔහුගේ දුක්ඛිත අවසානය ගැන පරිභවයෙන් කතා කරනු නොලැබූ එකම පුද්ගලයා ඇය පමණක්ම වූයේය. ඔහුගේ සම්පූර්ණ ආත්ම කථනය ඇයට පවසා තිබිණැයි මා සිතන්නේද එහෙයිනි. ඔහු එයින් යම්කිසි සහනයක් බලාපොරොත්තු වන්නට ඇති අතර, ඔහු සමඟ පැවැති මානුෂීය ගණුදෙනුව මා සමඟ පැවසීමෙන් වියනා ආදිපාදවරියද එවැනිම සහනයක් ලබන්නට ඇතැයි මම සිතමි.

ඒ හැරුණු කල රූපට් ඔරේන්ජ්ගේ ජීවිතය අසුරින් ඇය යම්කිසි ආත්මාවබෝධයක් අත්පත් කරගන්නට ඇතැයි කියාද මා හට කල්පනා වන්නේ ඇය සිය දිවි ගමනේ අවසානයේදී අතිශයින් සරල දිවි පෙවෙතකට යොමු වී සිටිනු දැකීමෙනි.

තම සුවිසාල සිටු මැදුර විකුණා කුඩා නිවෙසක දිවිගෙවූ ඇය තමන් සතු ඉතා වටිනා ගෘහ භාණ්ඩ දන්නා කියන දුප්පත් අසල්වැසියන්ට බෙදා දුන්නාය. ඇය සතු බැංකු ගිණුම් සිය අවසාන කාල පරිච්ජේදය ගෙන යාමට ඕනෑවටත් වඩා ප්‍රමාණවත් වූ හෙයින් යම් වෘත්තියක යෙදීමට අදහස් කළාදැයි නැද්දැයි යන්න මම නොදනිමි. එහෙත් සිය වංශවත් ජීවන රටාවට අයත්, ඇඳුම් පැලඳුම් ආදියෙන් මෙන්ම දැසි දස්සන් ආදින්ගෙන්ද මිදුණු වියනා ආර්යාව සාමාන්‍ය පොදු ජනයාගෙන් කෙනකු ආකාරයට දිවිගෙවනු ලැබුවේ සිය අසල්වැසියන් උදෙසා හැකි විලස ආධාර උපකාරද කරමිනි. විටින් විට මා සමඟ පවසනු ලැබූ රූපට් ඔරේන්ජ් පිළිබඳව වෘතාන්තයේ අවසාන පරිච්ජේදයද කියා නිම කිරීමෙන් අනතුරුව ඇය ඉතා හැඟීම්බර ලෙස හඬා වැටෙමින් එක් දෙයක් මගෙන් තරයේ ඉල්ලා සිටියාය. එනම් තව වසර කීපයකින් සිදුවිය හැකි තමන්ගේ මරණය තෙක් මේ කතාව ලියා ප්‍රසිද්ධ කිරීමෙන් වළකින ලෙසය. මට ඒ මොහොතේ හැඟී ගියේ තමන් පිළිබඳ වෘතාන්තය ආදිපාදවරියට පැවසීමෙන් අනතුරුව ඔරේන්ජ් රූපට්ද ඇයගෙන් මෙවැනිම ඉල්ලීමක් කරන්නට ඇතැයි කියාය. අප අතර වූ මිත්‍රත්වය පිළිබඳව මෙන්ම මානව ගෞරවයේ නාමයෙන්ද ඇගේ මරණය තෙක් මෙය ලියා ප්‍රසිද්ධ නොකරන බවට ස්ථාවර ප්‍රතිඥාවක් දීමට මා පෙලඹුණේ එහෙයිනි.

ඒ අනුව මා මෙය ලියනු ලබන්නේ මෑතදී සිදුවූ ඇයගේ අභාවය පිළිබඳ ආරංචිය නිශ්චිතව තහවුරු කර ගැනීමෙන් අනතුරුවය.

(මතු සම්බන්ධයි)

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.