මාංශ වර්ගවල ගුණ අගුණ

දෙසැම්බර් 6, 2024

ආයුර්වේදයේ මාංස වර්ග අටක් දක්වා ඇත. ඒවා අෂ්ටවිධ මාංශ නමින් හැඳින්වේ. මස් වර්ග ආහාරයට ගැනීමෙන් ශරීරයේ මාංශ වර්ධනය වන අතර දුර්වල වූ රෝගීන්ට හා රක්තහීනතාවයෙන් පෙළෙන අයට මාංශ හා මස්වලින් සාදාගත් සුප් ලබාදිය යුතුයි. මස් පුලුස්සා කෑම, අධික තෙල් භාවිතයෙන් මස් බැදීම, අමුවෙන් මස් කෑම, මස් පිසීමේදී කුළු බඩු වර්ග භාවිත නොකිරීම ආදී හේතු නිසා මස් දිරවීමේ දී දෝෂ ඇතිවේ.

මස් වර්ග කිහිපයක් එකවර ආහාරයට ගැනීම ද සුදුසු නොවේ. දියේ සිටින සතුන්ගේ මාංශ සමඟ ගොඩ සතුන්ගේ මාංශ එකවර ගැනීම රෝග සෑදීමට හේතුවන බවත් එසේම ඌරුමස් සමඟ මී කිරි කෑම විෂ සහිත බව දක්වා ඇත.

කුමන මස් වර්ගයක් සමඟ හෝ මීකිරි කෑම අගුණ විය හැකිය. මස් උයන විට හොඳින් තැම්බීමත් කුළුබඩු වර්ග යහමින් මිශ්‍ර කිරීමත් ඉතා යෝග්‍ය වේ.

ශරීරයේ බල පවත්වන වාතාදී දෝෂ අනුව සමහර මස් වර්ග දිරවීම අපහසු වන බැවින් නොදිරවන මස් වර්ග හඳුනාගැනීම සුදුසු අතර ඒවා ආහාරයට නොගෙන සිටීමට හැකිය.

අපි අද මස්වර්ග කීපයක් ගැන විමසා බලමු.

ගොඩබිමෙහි ඉපිද ජලයෙහි වසන සතුන් ජලචර ලෙසද

ගොඩබිමෙහි ඉපිද කැලෑවේ හැසිරෙන සතුන් ජාංගල ලෙස ද

ජලයෙහි ඉපිද ජලයෙහි වසන සතුන් වාර්ශය ලෙසද

තෙතමනය සහිත ළඳු කැලෑවන් ආශ්‍රය කොට වසන සතුන්

අනුප ලෙසද

ගුල්වල වාසය කරන සතුන් භූෂය හෙවත් විලේපය ලෙසද

එකෙනෙහිම සතුන් ගසා අල්වා කන සතුන් ප්‍රසෑ ලෙස ද

ආහාරය විසුරුවා කන සතුන් විෂකිවි ලෙසද දක්වා ඇත.

 

මස් වර්ග ගැන විමසා බලමු.

මුව මස්

මළ මුත්‍ර අඩස්සිය නැති කරයි. තුන්දොස් නසන අතර හෘදයට හිතයි. මහත අයට සහ දියවැඩියාවට සුදුසු නැත. මිහිරියි. සැහැල්ලුයි. ශීත වීර්යයි.

කුකුළු මස්

වාත සමනය කරන අතර උෂ්ණ වීර්යය ඇති කරයි. ශුක්‍ර ධාතු වඩයි. ස්නායු දුර්වලතාවයන් නිසා ඇතිවන සියලුම වාත රෝගවලට ගුණය.

එළු මස්

මිනිසුන්ගේ ධාතු සමඟ සමාන ගුණ ඇති අතර ධාතු වඩන ගුණයක් ඇත. අධික ශීතල හෝ අධික බර නොමැති අතර දෝෂ කෝප ඇති නොකරයි.

ඉදිබු මස්

මතක තබා ගැනීමේ හැකියාව ඇති කරයි. රෝග නාශකයි. මනසට ඇස්වලට ඉතාමත්ම හිතයි. බලකාරකයි. වායු නාශකයි.

මී හරක් මස්

උත්සාහය ඇති කරයි. ශුක්‍ර වර්ධකයි. දියවැඩියාවට අහිතකරයි. උෂ්ණ වීර්යයි. මධුර රස වීර්ය වඩන යන මේවායින් යුක්ත වේ.

මත්ස්‍ය මාංශ

මාංශ ධාතු, ශුක්‍ර ධාතු වර්ධනය කරයි. සෙම්පිත් වඩයි. උෂ්ණ වීර්යයි. මධුර රසයි. බලකාරකයි.

ගවමස්

දියවැඩියාට අහිතකර වේ. පීනස් රෝග, උණ රෝග, වියළි කාස, අත්‍යග්නි (බඩගින්න වැඩිවී) යන අවස්ථාවලට ගුණදායකය.

ඌරුමස්

තෙල් බහුලය. ධාතු වඩයි. වීර්ය වඩන ගුණවලින් යුක්තයි. බලකාරකයි. දහඩිදය වඩයි. දියවැඩියාවට අගුණයි.

 

උපදෙස්

මහරගම දේශීය වෛද්‍ය පර්යේෂණයේ හිටපු අධ්‍යක්ෂ

දේවපි‍්‍රය අභයවර්ධන

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.