වර්ෂ 2024 ක්වූ December 20 වැනිදා Friday
ලෝකඩ ඇත්පහනේ විස්මය
පහනෙහි ඇතාගේ ශරීරය තුළ ඇති තෙල් පහනට වැටෙන්නේ ඇතාගේ ලිඟුව හරහාය. ඇතා හොඬවැලෙන් දරා සිටින උක් දණ්ඩෙන් ඇතාගේ හොඬවැල ඉදිරිපස දෙපාවලට බද්ධ කර ඇත.
අපේ පුරාණ මූර්ති ශිල්පීන්ගේ හැකියාව මෙන්ම තාක්ෂණික ඥානය පිළිබඳ වූ දක්ෂතාවය ද පිළිබිඹු වන මේ ඇත්පහන ඉතා විශිෂ්ටම නිර්මාණයකි. පොළොන්නරු රාජධානි සමයට අයත් මේ ඇත් පහන ගැන අපි පළමුව විමසා බලමු.
මෙම ඇත් පහනේ ප්‍රධාන කොටස් දෙකකි.
1. ඇතකුගේ ලෝකඩ මූර්තිය සහිත පහන
2. ඇත්පහනට අයත් දම්වැල
මකර තොරණ
මේ පහනේ තවත් සුවිශේෂී කොටස් හතරකි.
1.තෙල් තැටිය 2. ඇතා 3. ඇතා පිට නැගුණු මිනිස් රූප දෙක 4. මකර තොරණ
මකර තොරණ හා එම මකර තොරණ දෙපසින් නැඟී සිටින සිංහරූප දෙක. එම සිංහරූප දෙක මත මකර හිස තබා සිටින සේ මකර තොරණ සාදා තිබේ. මේ මකර තොරණට යටින් ඇතා පිට නැඟ සිටින ඇත්ගොව්වා සිටී. ඔහු පිටුපස තවත් මිනිස් රූපයක් ද නිර්මාණය කර තිබේ. මකර තොරණ මුදුණේ දම්වැලක් සම්බන්ධ කර ඇත.
තෙල් තැටිය
මකර තොරණ සවිකර ඇත්තේ පහනෙහි ප්‍රධාන තෙල් තැටියට අමතරව තවත් තෙල්තැටියක් මතය. මෙහි ඇතුළත ඇති තෙල් තැටිය මත ඇතා සවිකර තිබේ. ඒ ඇතා සිය දලවලින් උක් ගසක් දරා සිටී.
පහනෙහි ඇතාගේ ශරීරය තුළ ඇති තෙල් පහනට වැටෙන්නේ ඇතාගේ ලිඟුව හරහාය. ඇතා හොඬවැලෙන් දරා සිටින උක් දණ්ඩෙන් ඇතාගේ හොඬවැල ඉදිරිපස දෙපාවලට බද්ධ කර ඇත. ඒ නිසා ලෝකඩ පහන කිසිදු බිඳී යාමක් හෝ කැඩීමක් සිදු නොවේ. විද්‍යාව අනුව පාලනය තෙල් ආධාරකයක් අඩංගුවීම මෙහි විශිෂ්ටත්වය කියාපාන්නේය. තෙල් පහනට වැටෙන එම තාක්ෂණය සහිත මේ නිර්මාණයෙන් ලෝකඩ කලා ශිල්පියාගේ ශිල්පීය දක්ෂතාවයද ඉතා පැහැදිලි ලෙසින් දැක්වේ.
ඇතෙක් සහිත වූ නිසා මේ පහන ඇත්පහන නමින් ලොව ප්‍රකට වී ඇත. මේ ඇත් පහනෙහි ඇති ඇතාගේ ඉදිරි දකුණු පාදයේ යටි පතුලේ ඇති කුඩා කුහරයෙන් පහනට තෙල් පිරවිය හැකිය. එසේ පිරවූ තෙල් කුඩා නලයක් මඟින් ඇතාගේ උදරයෙහි ගබඩාවෙයි. ඉන්පසුව ඇතුළත හා පිටත ඇති තෙල් තැටි දෙකට තෙල් පිරෙනු ඇත. මෙසේ පිරෙන තෙල් තැටිය මත ඇති වේදිකාවක් බඳු ස්ථානයෙහි ඇතා සවි කර ඇත. පිටත තැටියේ පහන් තිර දමා දැල් වූ විට දී දැල්වෙන ප්‍රමාණයට සරිලන තෙල් ඇතාගේ ලිඟුවෙන් දැල්වෙන පහනට තෙල් බින්දු බින්දු ලෙසින් වැටෙනු ඇත. මෙසේ ඇතාගේ කුස තුළ ඇති තෙල් දැවී අවසන්වීමට බොහෝ කාලයක් ගත වේ.
ලෝකඩ ඇත්පහන හමුවීම
පොළොන්නරුවේ රජ කළ ශ්‍රේෂ්ඨ නරපතියකු වූ මහාපරාක්‍රමබාහු රජතුමා උපත ලැබුවේ මේ දාගැබ සූතිඝර චෛත්‍යය පිහිටි ස්ථානයේය. මහා පරාක්‍රමබාහු රජතුමා උපත ලැබුවේ දැදිගම කොටවෙහෙර හෙවත් සූතිඝර චෛත්‍යය පිහිටි ස්ථානයෙහිය. එම උපන් ස්ථානය මැදිකර මේ දාගැබ සාදා ඇත. කොතක් නැති සූතිඝර චේතිය නමින් මෙය ප්‍රකට වූයේ ඒ නිසාය.
1951 වර්ෂයේදී දැදිගම කොටවෙහෙර (මේ දාගැබ) පුරාවිද්‍යා කැණීම් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් සිදු කරන ලදී. මේ කැණීම්වලදී මේ ඇත්පහන හමුවී ඇත. මෙවැනි ඇත් පහන් දෙකක් හමුවිය. එයින් එකක් කොටවෙහෙර අසළ ඇති පුරාවිද්‍යා කෞතුකාගාරයේ ද අනෙක කොළඹ ජාතික කෞතුකාගාරයේ ද තැන්පත් කර ඇත.
(හෙළ කලා විස්කම් නමින් 2010 වසරේ හිටපු සහකාර පුරාවිද්‍යා අධ්‍යක්ෂ සිරිසමන් විජේතුංග විසින හා ලේකම් මහාචාර්ය සෙනරත් පරණවිතාන පදනම ලියන ලද ග්‍රන්ථය ඇසුරෙන් මේ ලිපිය ලියන ලදී.)