මහ කන්නයේ වගා රැකදෙන අත්දුටු කෙම් ක්‍රම

නොවැම්බර් 8, 2024

පුරාණයේ සිටම කෘෂිකාර්මික රටක් වූ මෙරට ගැමි ජනතාව තමන්ගේ ජීවනෝපායන මාර්ගය කරගෙන සිටියේ ගොවිතැනයි. කෘෂි කර්මාන්තයෙන් ඉහළ අස්වැන්නක් ගත් ගොවියා පළිබෝධකයන්ගෙන් අස්වැන්න රැක ගැනීමට ලබා දුන්නේ මුල් තැනක්. එදා ගොවියන් මෙන්ම අද කෘෂිකර්මයේ යෙදෙන්නන් ද විවිධ ව්‍යසනයන්ගෙන් තම ගොවිතන ආරක්ෂා කර ගැනීම සඳහා විවිධ ක්‍රමෝපායන් භාවිත කරන බව දැකගත හැකියි.

බොහෝ ගොවීන් පළිබෝධයන්ගෙන් ගොවිතැන් ආරක්ෂා කරගැනීමට යොදා ගත්තේ අහිංසාවාදී ක්‍රමවේදයන්ය. එහිදී ප්‍රධානකොටම කෙම් ක්‍රම, විවිධ ශාකවල කොටස් යොදාගෙන සතුන් පලවා හැරීම, පහන් උගුල් ඇටවීම, විශ්ව බලය භාවිතය, ශබ්ද බලය භාවිතය, අදාළ කන්නවලට නියමිත කාලවලදී බීජ වැපිරීම වැනි ක්‍රම යොදාගත් බව පෙනේ.

විශේෂයෙන් පළිබෝධයන් ලෙස වගා හානි කරන කෘමීන්ගෙන් සිදුවන වගාව බේරා ගැනීමට යොදාගත් කෙම් ක්‍රම මන්ත්‍ර රහිත මෙන්ම මන්ත්‍ර සහිත කෙම් ලෙස දෙවර්ගයකි. මේ ක්‍රම අයත් වන්නේ අපේ සාම්ප්‍රදායික දැනුමටය.

වර්තමානය වන විට විවිධ රසායන ද්‍රව්‍ය ගොවිතැන් ආරක්ෂා කර ගැනීම සඳහා භාවිත කෙරුණ ද එය මිනිසාට මෙන්ම සතුන්ට විසකර මෙන්ම හානිදායක බව මේ වනවිට තහවුරු වී හමාරය.

එහෙත් අපේ සාම්ප්‍රදායික දැනුම භාවිතයෙන් කෙරෙන කෘෂිකර්මය හා අස්වනු රැකගැනීමේ ක්‍රමවේද බොහෝ පරිසර හිතකාමී මෙන්ම මිනිසාටත් පොදුවේ සියලු සතුන්ටත් හානිදායක නොවන අතර, විශේෂයෙන් පළිබෝධකයන් පවා සමූල ඝාතනය නොකිරීමෙන් එම සතුන් ආහාර දාම හා ජාලවලින් මුලිනුපුටා දමා එම විශේෂ මෙලොවින් තුරන්වන ආකාරයේ ක්‍රමවේදයක් නොවේ.

මේ වන විට මහ කන්නය ඇරැඹී ඇති බැවින් අතීතයේ සිට අද දක්වා පැවතෙන කෙම් ක්‍රම කීපයක් පිළිබඳ සිහිපත් කිරීම යුතුකමක් ලෙස සලකමු.

බොහෝ කෙම් ක්‍රම ගොවීන් විසින් කරන ලද්දේ සවස් යාමයේය. එනම් බොහෝ විට ගොම්මන් කළුවර කෙත්වතු වෙලා ගනිද්දීය. එයට හේතුව කුඹුරට විශාල හානියක් කරන ගොක් මැස්සා ගොයම් කොළ මත බිත්තර ලන්නේ එම වේලාවට වීමයි. එසේම කොපු පණුවා සහ ගොඩවෙල්ලා ද දුඹුරු පැළ කීඩෑවාද රාත්‍රී කාලයේ ගොයමට හානි කරන බැවින් මේ සතුන් වඩාත් ක්‍රියාකාරී හෝරාවන් අලලා මේ කෙම් ක්‍රම සිදු කිරීමට තරම් ගොවියා තීක්ෂණ වී ඇත. එසේම ඉන් තෙදිනක් ගත වන තුරු කුඹුරට ගොවීන්වත් නොයන්නේ එම කෙම් ක්‍රමවලට යෙදූ ශාකවල ඔසුගුණ ක්‍රියාත්මක වීමට කාලය අවශ්‍ය බැව් දන්නා නිසාය.

සාම්ප්‍රදායික ගොවිතැනේ දී ගොවියන් කුඹුරට බැස්සේ කුඹුර අස්වැද්දීමට පෙර යාය පුරා පොල් ගෙඩි ගෙන ගොස් එල්ලා යාතිකා කිරීමේ සිරිතට පසුවය.

බොහෝ ගොවීන්ගේ විශ්වාසය දිනූ කොහොඹ සාරය ඉතා ප්‍රචලිත වූ කෙම් ක්‍රමයක් මෙන්ම ඖෂධ ක්‍රමයකි. කොහොඹ ඇට මෙන්ම කොළවල සාරය ගොයමට ඉසීමෙන් පළිබෝධකයන්ගේ වර්ධනය සීමා කර හානිය අවම කරගැනීමට හැකි බව විශ්වාස කෙරේ.

මීට අමතරව කලවැල්, තිත්තවැල් සහ අන්නාසි පිති තලා ඒවා කුඹුරේ ජලයට මිශ්‍රවන පරිදි කතා නොකොට වක්කඩට දැමීමට කටයුතු කිරිම ගොයම් මැස්සන් පාලනයට සුදුසු කෙම් ක්‍රම ලෙස පිළිගැනේ.

කුඔුරේ මීයන් බෝවීමෙන් මී උණ වැනි භයානක රෝගී තත්ත්වයන් හට ගැනීම වර්තමානයේ බහුලව දක්නට ඇති ගොවි ගැටලුවකි. මෙය පාලනය සඳහා පැරණි ගොවි මහතුන් ගිනිසීරියා හෙවත් වැටිමාර ශාකයේ මල් පොකුරු කිහිපයක් ගෙන කතා නොකොට මීයන් සිටින ස්ථානවල ඉසිරවීම කෙමක් ලෙස කර ඇත. එය මීයන් වඳවීම හෝ කුඹුරෙන් පලා යෑමට හේතු වන බව විශ්වාසයයි.

එසේම කතා නොකර කුඹුරට ගොස් අන්නාසි කොළ කුඹුරේ තැන් තැන්වල තැබූ විට ද මීයන්ගේ විකර්ෂණය සිදුවන බව විශ්වාස කෙරේ. කතා නොකර හණ ගොබ කුඹුරේ තැනින් තැන සිටුවීමද මීයන් පලවා හරින කෙමකි. එහිදී සිදුවන්නේ හණගොබ වතුර සමඟ එක්ව කුණු වීම නිසා ඇතිවන දුර්ගන්ධයට මීයන් විකර්ෂණය වීම ලෙස සිතිය හැකිය.

මීයන් විසින් ගොයමට කරන හානිය වැළැක්වීම සඳහා නොපෑගුණු ඇළකින් හෝ දොළකින් කතා නොකර වැලි මිටක් ගෙන එය වියළා, පූජාසනයක තබා ‘ඕං නමෝ ඇති හිමියේ ඒස්වාහංං’ යන මන්ත්‍රය 108 වරක් මතුරා කුඹුරු යාය පුරා ඉසීමෙන් කන්නය අවසන් වනතුරු මීයන්ගේ හානිය සිදු නොවන බව විශ්වාසයයි. මෙහිදී වැලි සමඟ දුම්මල ද එක්කොට මතුරා ඉසීම තවත් ක්‍රමයකි. එහිදී දුම්මලවල ගන්ධයට කෘමීන් විකර්ෂණය වීම මෙහි විද්‍යාත්මක පදනම ලෙස ද ගත හැකිය.

මුට්ටි නැමීම යනු තවත් කෙම් ක්‍රමයකි. නැවුම් මුට්ටියක් ගෙන කුඹුරේදීම කිරි උතුරුවා එම මුට්ටි නැමීම සිදු කිරීමෙන් කෘමි උවදුරු මර්දනය වන බව විශ්වාස කෙරේ.

මෙය තවත් ආකාරයකින් සිදු කෙරෙන්නේ පොල් කිරි සමඟ කොස් කිරි, දෙල් කිරි එක්කොට උතුරුවා පත්තිනි දේවියට පූජා කොට ඉන්පසු කතා නොකර පුවක් මලක් ගෙන එයින් එම කිරි කුඹුරට ඉසීම මඟින් කෘමිපාලනයට කරන කෙම් ක්‍රමයයි.

පහන් උගුල් ඇටවීමෙන් ද මැස්සන් පලවා හැරීම තවත් ක්‍රමයකි. එහිදී සුදු පාටට හුරු වැටමාර කෝටු ගෙන ඒවායේ මුදුන හතරට පලා එම පැල්මෙහි ගිතල් පහන් පත්තු කිරීමෙන් මැස්සන් එයට ආකර්ෂණය කර ගනී. එය කෘමි පාලනයට සුදුසු කෙමක් ලෙස ගැනේ. පහන් වැටි තුනක් කුඹුරේ පත්තු කර සබ්බ පාපාස්ස අකරණං ගාථාව කියමින් පසුපස නොබලාම නිවසට යෑම ද තවත් කෙම් ක්‍රමයක් ලෙස සැලකේ.

මේ අයුරින්ම කතා නොකර කරන තවත් කෙමක් වන්නේ කෙසෙල් කඳන් ශුද්ධ කර පිති සකසා ඒවා මත කිරිබත් තැබීමයි. උදේවරුවේ එසේ කිරිබත් තැබූ කෙසෙල් පිත්තේ සවස් වරුවේ පහනක් දැල්වීමෙන් දෙආකාරයකට කෘමීන් පාලනය වේ. එනම් කිරිබත් කන කුරුල්ලන් විසින් කෘමීන් ද ආහාරයට ගන්නා අතර පහනට ඇදෙන කෘමීන් එහි ගැටී විනාස වීම මෙහි විද්‍යාත්මක හේතුවයි.

කුඹුරු යාය පුරා පොල් පිති සිටුවීම ද තවත් කෙමකි. මෙහි විද්‍යාත්මක පදනම වන්නේ ජෛව පාලන ක්‍රමයක් ලෙස කුරුල්ලන්ට වැසීමට උස් ස්ථානයක් සකසා දීමයි. එවිට එම කුරුල්ලන් කිරිවදින ගොයමේ සිටින කෘමීන් හා දැලඹුවන් වැනි සතුන් ආහාරය ගනී. පොල්ලෙළි තැබීම, කුඹුරේ විවිධ මල් වර්ග සිටුවීම ද මේ කෙමටම අයත් තවත් කොටසකි. එහිදී අටපෙතියා, දාස්පෙතියා, සූරියකාන්ත වැනි මල් වර්ග වැවීමෙන් පළිබෝධක කෘමීන් විකර්ෂණය කිරීම මෙන්ම සමනලයන්, මීමැස්සන් වැනි හිතකර සතුන් ආකර්ෂණයෙන් පරාගණයට සහාය ලබා ගැනීම අපේක්ෂා කෙරේ.

කැන්ද හෝ අලකොළ ගොටුවකට බත් ගුලි දමා කුඹුරේ තැබීම ද කුරුල්ලන් ආකර්ෂණය කර ගැනීමේ ජෛය පාලන ක්‍රමයේ කෙමකි. බත්ගුලි දැක එය ආහාරයට ගැනීමට පැමිණෙන කුරුල්ලන් ගොයමේ සිටින දළඔුවන් හා පළිබෝධක කෘමින් ආහාරයට ගනී.

හිමිදිරි පාන්දර කතා නොකර කුඹුරට ගොස් කරන අළු සාත්තුව ද තවත් කෙම් ක්‍රමයකි. නැවුම් අළු ටිකක් කොලපතකට ගෙන කතා නොකරම කුඹුරට යන ගොවියා ගොයම පින්නෙන් තෙමී ඇති මොහොතේ සබ්බ පාපස්ස අකරණං ගාථාව මතුරමින් ගොයමට අලු ඉසීම මේ කෙම් ක්‍රමයයි. මේ අළු සාත්තුවෙන් ගොයම් ගස්වල ඇලී සිටින දළඹුවන් පාලනය වීම සිදුවන අතරම පොළොවේ භාෂ්මික ගුණය වැඩි වීම ද සිදුවේ. එය සැම අතින්ම වගාවට ගුණදායක බැවින් පහසු කෙම් ක්‍රමයක් ලෙස ගැනේ.

දලුක් අතු කැබලි කතා නොකර වක්කඩට දැමීමද කෘමීන් පාලනය සඳහා කරන තවත් කෙමකි. එසේම දලුක් මිටි බැඳ කුඹුරේ තැනින් තැන කතා නොකොට එල්ලීමද කෘමි හානි වළක්වන කෙමකි. කතා නොකර වක්කඩ ළඟට යන ගොවීයා පුස්වැල් හා කරවැල් ඉස්ම එනතුරු අඹරා වක්කඩට දමන්නේ කෘමි මර්දනයට කෙමක් ලෙසය.

ඉතා සුවඳවත් මහත් ගුණ ඇති ඔසු පැළයක් වන කප්පරවල්ලිය මිටියක් ගෙන කතා නොකර එය තරමක් පොඩි කර කුඹුරේ තැනින් තැන එල්ලීමද කෘමි විකර්ෂණ කෙමකි.

කතා නොකර කැකුණ ගෙඩි දල්වා කුඹුරේ තැබීමත්, කතා නොකර මඩුමල් වංගෙඩියේ දමා කොටා කුඹුරට ඉසීමත් කෘමීන් පලවා හරින කෙම් ක්‍රම වේ.

මී වද කෙම ද එවැනිම සාර්ථක ක්‍රමයකි. කතා නොකර උදෑසනම කුඹුරට එන ගොවියා පිරිසුදු මී වද ගොයමේ තැවරෙන පරිදි ඇදගෙන යයි. මී පැණි රසවිඳීමට කුඔුරට එන මී මැස්සන්ගෙන් නැගෙන ගුමුගුමු ශබ්දයට කෘමින් වඳ වනු ඇතැයි විශ්වාස කෙරේ. එමෙන්ම කුඔුරේ නියරවල පලා වර්ග , එළවලු වර්ග වගා කිරීමෙන් පළිබෝධ හානි අවම කර ගැනීමට හැකි වන බව ගොවියෝ අදහති. එසේම එය අමතර ආදායම් මාර්ගයක් ද වන බැවින් එයට වත්මන් ගොවීන්ගේ වැඩි අවධානය යොමුව තිබේ.

තවත් කෘමි පාලන කෙම් ක්‍රමයක් වන්නේ පස් තෙල් ලෙස හඳුන්වන කොහොඹතෙල්, පොල්තෙල්, මීතෙල්, තල තෙල් හා එඬරු තෙල් යන තෙල් වර්ග පහ එකට මිශ්‍ර කර පරණ වී කඩමාලු වූ සිවුරු ඉල්ලාගෙන ඒවායින් පන්දම් සාදා කුකුළන් හැඬලීමට පෙර කුඹුරේ හතර කොන ඒවා සිටුවා සබ්බ පාපස්ස අකරණං ගාථාවෙන් එය 108 වරක් මතුරා කුඹුරට ඉසීමයි.

ගොයම් කිරිවැදී අස්වැන්න පෙනෙන්නට ගන්නා විට ඇස්වහ කටවහ දෝෂ ඇති වන බව විශ්වාස කරන ගොවීන් අන් අයගේ අවධානය ගොයමෙන් ඈත් මෑත් කිරීමට පඹයකු සිටුවීම කෙමක් ලෙස සිදු කරනු දැකිය හැකිය.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 7 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.