උපන් ලප හෙළිකරන ඔබේ රහස්

නොවැම්බර් 8, 2024

පුද්ගලයකුගේ අඟපසඟ පිහිටීම අනුව හෙවත් දේහ ලක්ෂණ විද්‍යාව අනුව චරිත ස්වභාවයන් කිවහැකි සේම කෙනකුගේ ශරීරයේ පිහිටන උපන් ලප අනුව ද චරිත ලක්ෂණ පැවසිය හැකි බව පැරණි ඍෂිවරුන් සඳහන් කර ඇත. ශරීරයේ පිහිටන මේ උපන් ලප පිළිබඳව නොයෙකුත් මතිමතාන්තර ඇත. මේවායෙහි ශාස්ත්‍රීය තත්ත්වයන් ද නැතිවා නොවේ.

තල කැලැල් හා නියමල් ද උපන් ලප ගණනටම ගැනේ. යම් ස්ත්‍රියකගේ නළලේ මැද ලපයක් පිහිටියේ නම් එය තම සැමියාට සැප සම්පත් ලබාදෙන, සමාජයේ ගරු බුහුමන් ලබාදෙන, කුලාචාර කාන්තාවකට පිහිටන සුබ ලකුණකි. ස්ත්‍රියකගේ තද කළුපාට ලපයක් සමඟ රෝම ගසක් දැක්වේ නම් ඇය ජනපි‍්‍රයත්වයේ හිනිපෙත්තටම පත්වෙන අතර සුවිශේෂ පුද්ගලයකු සමඟ විවාහයකටද පත්වෙයි. එමෙන්ම ඇය සැමගේ ආදරයට ද පාත්‍රවෙයි. ධනය, බලය ලබන්නියක වන අතර රටේ, කීර්තියට ද පත්වෙනු ඇත.

පිරිමින්ගේ දකුණු උරහිසෙහි උපන් ලපයක් පිහිටීම සෞභාග්‍යය පෙන්වන සංකේතයක් වන අතර වම් උරහිසෙහි ඇති උපන් ලපය ගුණහීන පුද්ගලයකු ලෙස හඳුන්වා දෙයි. දකුණ උරහිසෙහි ඉන්නෙක් හෝ තල කැලැලක් පිහිටීම සුබ ලකුණක් වන්නේ ය. වම් උරහිසෙහි එවැනි ලකුණක් තිබීම සුබ නොවේ. වම් උරෙහි උපන් ලපයක් ඇති කාන්තාව ස්වාමි පුරුෂයාට පි‍්‍රය වන්නීය. දකුණු උරෙහි උපන් ලපයක් හෝ ඉන්නෙක් පිහිටීමෙන් දිගු කල් ජීවත්වෙන ඉසුරුබවින් පිරුණ කාන්තාවක් පෙන්නුම් කරයි.

අත්ලෙහි උපන් ලපයක් හෝ ඉන්නෙක් ඇති පුද්ගලයා අන් අයගේ සිත් දිනා ගැනීමට සමත් ඍජු ප්‍රතිපත්ති ඇති අයකු වේ. අත්ලෙහි උපන් ලපයක් පිහිටි කාන්තාව උසස් විවාහයකට හිමිකම් ලබන්නීය. දකුණු අත්ලෙහි තල කැලැලක් ඇත්නම් වස්තු භංගත්වයක් ද, වම් අත්ලෙහි එවැනි ලකුණක් ඇත්තේ නම් නෑදෑයන්ගේ ගෞරවයට පාත්‍ර වන බව ද දතයුතු ය. කාන්තාවකගේ ඇඟිලිවල උපන් ලප ඇතිවීම අසහනකාරී තත්ත්වයක් පෙන්නුම් කරන පිහිටීමක් වේ.

ස්ත්‍රියකගේ හෝ පුරුෂයකුගේ දෙබැමිවල ඇති ලප ඉතාම අභාග්‍යසම්පන්න, කරදරකාරී ජීවිතයක් පෙන්වන ලකුණකි. දෙබැම අතර පිහිටීම කාමයට දැඩි ලොල්බවක් පෙන්නුම් කරයි. එසේම දුර්ජන සිතුවිලිවලින් ගහනවූ හදවතක් හිමිය. ඇස් පිහාටුවල එවැනි ලප බොහෝදුරට දුක, කනගාටුව ගෙන දෙයි. නාසයේ දකුණු පැත්තේ උපන් ලපයක් ඇතිවීම අවාසනාව ප්‍රකට කරයි. වම් පැත්තේ පිහිටීම ඉසුරු සම්පත් ලැබෙන පිහිටීමක් වනු ඇත.

කොපුල් තලයේ පිහිටීම වාසනාවන්ත දරුවන් ලැබීමට ද, සංගීත, කලා අංශවලට දක්ෂ බව ද පෙන්නුම් කරයි. නිකටේ උපන් ලප පිහිටීම වාසනාව ගෙනදෙයි. බෙල්ලේ වම්පස උපන් ලපයක් පිහිටියේ නම් ආයුධ සම්බන්ධ කැපුම්, කෙටුම්වලට භාජනයවීමටද බෙල්ලේ දකුණු පස සල්ලාල ජීවිතයක ලක්ෂණ ද පෙන්නුම් කරයි.

හෘදයේ ලප පිහිටීම දරු ලාභ, මිත්‍ර ලාභද, උරෙහි පිහිටීම නෑදෑයින් අතර ආරවුල් ද, කිහිලිවල ධනය, දියුණුව, සැප සම්පත් විනාශවීම ද පෙන්නුම් කෙරේ. පිටෙහි උපන් ලපයක් පිහිටීම ද වාසනාවන්තය. ඍජු අදහස් ඇති කිසිවකුට යටත්නොවී ජීවත්වෙන අයකු වෙයි. මැණික් කටුව ප්‍රදේශයෙහි නම් කීකරු, මනා සංයමයකින් යුතුව ජීවත්වන අයකු බව පෙන්නුම් කරන අතර අත් දෙකෙහිම එවැනි ලකුණක් පිහිටීම මැණික්, ඉඩකඩම් වැනි භූමි ලාභ පෙන්නුම් කෙරේ.

සුරා පානයට ගිජු පුරුෂයාගේ තොල්වල උපන් ලප දිස්වෙන බව ශාස්ත්‍රීය නිගමනයයි. පුරුෂයාගේ තොලෙහි ඉන්නකු පිහිටීම සමාජශීලි ගතිය පෙන්නුම් කිරීමකි. තොලෙහි උපන් ලපයක් පිහිටි කාන්තාව අන් අයගේ ඕපාදූප සොයමින් කල්ගත කරන කේළාම්කාරියක් බව කියනු ලැබේ. තොලෙහි ඉන්නෙක් හෝ තල කැලලක් ඇත්තේ නම් ඇය මෙවුන්දම් සේවනයෙහි සීමා රහිත ආශා ඇති ගැහැනියක ලෙස හඳුනාගත හැකිය. ශරීරය පුරා විසිරී ගිය අධික කළුලපවලින් ලේ දුෂ්‍ය අසනීප, ඉක්මන් කෝප ගතිය, ස්වකීය මතයම අභිමත අයකු වේ. බෙල්ලෙහි ලප දිස්වීම, විවාහ සැප සම්පත් අඩු වී යෑමට හේතුවන අතර නිතර සිත්වේදනාවෙන් කල් ගෙවන අයකු බව දැක්වෙයි.

අත්ලේ බුධ මණ්ඩලයේ (සුළැඟිල්ල පහළ) කළුලප ඇති වී නම් අධ්‍යාපනයට බාධා ගෙන දෙන සලකුණක් වෙන අතර රවි මණ්ඩලයේ (වෙදඇඟිල්ල මුල) කළු ලප පිහිටියේ නම් ඔහු හෝ ඇය බියගුළු ගති ඇති, නීතියට බය ඇති අයකු කරවයි. කුජ මණ්ඩලයේ (අත්ලේ මැද) කළු ලප වැටීම බන්ධනාගතවීමට හේතු පෙන්වන අභාග්‍යසම්පන්න පිහිටීමකි. සිකුරු මණ්ඩලයේ හා දකුණු අත්ලෙහි මැද පිහිටි කළු ලපවලින් අසාර්ථක විවාහයන්, චිත්ත පීඩා හා ධන නාස්තිය ද පෙන්නුම් කරයි. ඇඟිලිවල උපන් ලප ඇත්තේ නම් හේ ප්‍රසිද්ධ පුද්ගලයකු විය හැකිය. අත්ලෙහි උපන් ලපයක් හෝ ඉන්නෙක් පිහිටි කාන්තාව උසස් විවාහ සැපතක් ලබන්නීය.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.