පත්තිනි මෑණියන්ට හරියටම පූජාව පවත්වන්නේ මෙහෙමයි

මැයි 20, 2022

අප රටේ ජනයා අතර බොහෝ පිරිසක් පත්තිනි දෙවියන් ඇදහීම සිදුකරති. ගැබිනි මවුවරු තම දරුවා නීරෝගිව උප්පත්තිය ලැබීමට පත්තිනි මැණියන්ට බාර හාර සිදු කරති. දරුවන් ලැබීමෙන් පසුව කිරි අම්මාවරුන් හත්දෙනකු හට දානයක් දීම අදත් දැකිය හැකිය.

මෙයට අමතරව සරම්ප, වසූරිය, පැපොල වැනි බෝවන රෝග ඇති වූ විට දී පත්තිනි මෑණියන් වෙත බාරහාර වී සුවය ප්‍රර්ථනා කිරීම ද ගම්බද ජනයා අදත් නොවරදවා සිදු කරන චාරිත්‍රයකි.

පත්තනි මෑණියන් වෙනුවෙන් ශ්‍රී ලංකාවේ පිහිටි ප්‍රධාන දේවාලය වන්නේ නවගමුව පත්තිනි දේවාලයයි. මෙයට අමතරව ලංකාවේ විවිධ වු ස්ථානවල පත්තිනි දේවාල දැකිය හැකි අතර ඉන්දියාවේ ඇති ප්‍රධාන දේවාලය සම්පුරම් ප්‍රදේශයේ පිහිටා ඇත. පත්තිනි මෑණියන් ගැන සඳහන් කරන විට දී ක්‍රි.ව 02 වැනි සියවසේ මෙරට රජ කළ ගජබා රජතුමා දකුණු ඉන්දියාවට ගොස් තම පියා වු වංකනාශීක තිස්ස රජුගේ කාලයේ දී දකුණු ඉන්දියාවේ රජකළ කරිකාලන් නමැති නපුරු රජෙක් මෙරටට පැමිණ මෙරටින් වහලුන් ලෙස රැගෙන ගිය මිනිසුන් 12000ත් එම පිරිසට හිලව් ලෙස තවත් 12000ක පිරිසකුත් සමඟ මෙරටට එන ගමනේ දී එවකට එරට රජකළ (පත්තිනි දේව ඇදහිල්ල ප්‍රචලිත කළ) සෙන්ගුත්තවාන් රජ පිරිනැමූ පත්තිනි දෙවියන්ගේ පා සළඹ ද වෙනත් දෙවිවරුන්ගේ රන් ආභරණ ද රැගෙන පැමිණිය බව ඉතිහාසයේ සඳහන් වේ.

මෙම පුවත පූජාවලිය, පැරකුම්බා සිරිත, වැනි මෙරට ඓතිහාසික සාහිත්‍ය මූලාශ්‍රයන් හි සඳහන් වේ. පත්තිනි දෙවියන්ගේ උපත පිළිබඳව කවියකු වන ඉලන්තෝ අඩිගල් විසින් රචිත ප්‍රධාන මුලාශ්‍රයක් වූ සීලප්පදිකාරම් (සළඹේ කතාව) කාව්‍ය ග්‍රන්ථයේ ද ගජබා රජු සොලී රටට ගොස් මෙරටට පත්තිනි දෙවියන්ගේ පා සළඹ රැගෙන පැමිණි පුවත සඳහන් කර තිබේ. මෙම සළඹ තැන්පත් කර සෑදූ දේවාලය නවගමුවේ ඇති බව සඳහන් වේ.

පත්තිනි දේව ඇදහිල්ලත් සමඟ අප රටේ ජන සමාජයට ඉතා වැදගත් වටිනා කරුණු මෙන්ම පුරුදු රැසක් දායාද විය.

කාන්තාව සතු වටිනාම වස්තුව වන්නේ පිරිසිදු භාවයයි. (පතිවත) මේ උතුම් දහම පිළිබඳව ලෝකයේ මානව ශිෂ්ටාචාරයේ මහත් බලපෑමක් ඇති කරන ලද්දේ පත්තිනි පුවතයි. මතු බුදුවන්නට පිං ඇති දෙවඟනක් ලෙස පත්තිනි දෙවඟන හැඳීන්වේ.

පත්තිනි දෙවියන් බවට පත්වීමට පෙර ඇය සොළී රටේ ‘කන්නගී‘ නම් කාන්තාව වුවාය. ඇයගේ සැමියා වු කෝවලන් නොකළ වරදකට මධුරාපුර රජු විසින් රාජපුරුෂයන් ලවා මරා දැමීම හේතු කොටගෙන උරණ වු පත්තිනිය සිය වම් පියයුර කඩා පොළොවේ ගසා තමන්ගේ පතිවෘතා බලයෙන් මුළු මධුරාපුරයම ගිනි ගනීවා කියමින් ශාප කරන ලදී.

එම ශාප කිරිමේ දී දරුවන්, ගැබිනියන්, සතුන් බේරාදෙන ලෙස ප්‍රාර්ථනාවක් ද කළාය. ඒ අනුව මධුරාපුරයම ගිනි ගන්නා විට දී රජු විසින් කන්නගිගෙන් මෙම ගින්න නිවා දමන ලෙස ඉල්ලීමක් කළ බව සඳහන් වේ. නැවුම් එළදෙනකුගේ නැවුම් කිරි ගෙන කිරි උතුරවා මුළු මධුරාපුරයේ ම ඉසීම හේතුවෙන් ගින්න මැඩ පැවැත් වූ බව සඳහන් වේ.

මෙම ක්‍රියාව අදත් අප රටේ ද දැකිය හැකිය. නව නිවසකට යෑමේ දී කිරි ඉතිරවීම, නිවසකට මුල් ගලක් තබන විට දී කිරි ඉතිරවීම, නව අවුරුදු උදාව ලබන විට දී ද කිරි ඉතිරවීම සිදුවේ.

ගැබිනි මව තම කුසේ හටගත් කලලය බිළිදකු වී ඉපදෙන තෙක් ද ඉප දී හැදී වැඩෙන තෙක් ද ආරක්ෂා කර දෙන ලෙස ඉල්ලන්නේ පත්තිනි මැණියන්ගෙන්ය.

පත්තිනි දෙවියන් වෙනුවෙන් විවිධ වු නැටුම් සම්ප්‍රදායන් මෙන්ම දෙවොල් මඩු අදත් පත්තිනි උපත සඳහන් කරමින් සිදුවේ.

අඹවිදිම,මරා ඉපැද්දිම,දෙවොල් නැටීම, දොළහ පෙළපාලිය, පත්තිනි මැණියන් වෙනුවෙන් සිදු වන විශේෂ පුජාවන්ය. මෙයට අමතරව සොකරි නැටීම, අංකෙළිය, මීගොන්පොර,පේළියාම, පොල් කෙළිය, ඔලිඳ කෙළිය, ලී කෙළිය, ගුඩු ගැසීම, තට්ටු පැණිම, උඩැක්කි කෙළිය, පන්තේරු කෙළිය, කළගෙඩි පිඹිම, යන ක්‍රීඩා පත්තිනි මැණියන් මුල් කරගෙන සිදුවේ.

පත්තිනි දේව ඉතිහාසයේ සඳහන් වන පරිදි තම සැමියා සොයා ගෙන කන්නගී මධුරාපුරයට යන ගමනේ දී කාවේරි නදියෙන් එගොඩ කර දෙන ලෙස තොටියාගෙන් ඉල්ලීමක් කළත් තොටියා එය ඉටු නොකළ හෙයින් තොටියාටත් ඔහුගේ පරපුරේ අයටත් ශාප කර වඳුරු වසංගත වැනි රෝග ඇති වන්නට ශාප කළ බව සඳහන් වේ.

මෙම යන ගමනේ දී වෙල්ලිස නම් අම්බලමේ දී කාලි යකින්න තමා කෑමට ආ විට දී තමාගේ නාමයෙන් මතුවට පවත්වන පුජාවන් ද කෙළි සෙල්ලම් ද යකින්නියට භාර ගැනීමට පැවරුවාය. මෙම වඳුරු වසංගත රෝග ඇති කරනුයේ කාලි යක්ෂණිය බව ජනයා විශ්වාස කරති.

පත්තිනි මැණියන් වෙනුවෙන් පුද පුජා තබන විට දී මස් මාළු අනුභවයෙන් තොරව කිලිවලින් වැළකී එම පුද පුජාවන් තැබීමට ජනයා ක්‍රියා කරති. පත්තිනි මෑණියන්ගේ උප්පත්ති කතාව පිළිබඳ මත කිහිපයක්ම දක්නට ලැබේ. තමාගේ බල සම්පන්න ක්‍රියා පිළිබඳව උදම් වූ පඬි රජුගේ විනාශකාරී කටයුතු නැවැත්වීම සඳහා සක් දෙවිඳුන්ගේ ආරාධනයෙන් මනු ලොව උපන් යෝගීවරියක් ලෙස පත්තිනි මෑණියන් හඳුන්වයි. පත්තිනි දේවිය භාරතයේ මධුරා පුරයේ උපත ලබා ඇති බව කියැවේ. මෙම දේවිය සත්වාරයක්‌ උපන් නිසා සත් පත්තිනි යනුවෙන් ද හඳුන්වයි. දොළොස්‌ වාරයක්‌ උපන් හෙයින් දොළොස්‌ පත්තිනි ලෙසටත් හැඳීන්වේ. සිද්ධ පත්තිනි, සලඹ පත්තිනි, අඹ පත්තිනි, මල් පත්තිනි, ගිනි පත්තිනි, දේව පත්තිනි හා සත් පත්තිනි යනුවෙන් නම් හත අනාවරණය වෙයි. දෙමටමලෙන්, ගින්නෙන්, නයි කඳුළෙන්, විදුලියෙන්, පිනි බිඳුවෙන්, සිනා රැල්ලෙන්, අඹ ගෙඩියෙන්, සළුවෙන්, නුග කොළයෙන්, කඳුරු පොත්තෙන්, ජලයෙන්, දළයෙන්, උපන් බව ද පැරණි ජන කතාවලින් කියැවෙයි.

පත්තිනි මෑණියන් උදෙසා පූජා පැවැත්වීම

පත්නිනි දේව මෑණියන්ගේ රූපය තබන පූජාසනය මත සුදු පිරුවටයක්‌ අතුරා එම රූපය ඒ මත තැබිය යුතුය. එහි විවිධ වර්ගයේ මල් අතුරා දේව ප්‍රතිමාවට ද මල් මාලයක්‌ දමා පොල් තෙල් පහන් 07 ක්‌ දැල්විය යුතු වේ. පහන් 07ක්‌ වෙනුවට තිර 07ක්‌ දමා එක පහනක්‌ දැල්වුවත් කම් නැත. අඹ ඇතුළු පලතුරු වර්ග 07ක් ‌ද තැබිය යුතු වන්නේය. තැඹිලි ගෙඩියක්‌ හා කැවිලි වර්ග 07ක්‌ ද කෙසෙල් සහිත පඬුරු 07ක්‌ ද පූජාසනයේ තැන්පත් කළ යුතුය.

පූජාව පැවැත්වීම සඳහා කිරි අම්මාවරු තෝරා ගැනීමේදී පාරම්පරික චිරාගත ක්‍රමයට සිදු කිරීම වැදගත් ය.

පහත අය මේ සඳහා නුසුදුස්‌සෝ වෙති. එනිසා මෙවැනි කතුන් කිරි අම්මා බාර සඳහා ඉඳනොගත යුතුය.

01. හැරමිටි වාරුවෙන් ගමන් කරන මහලු අය

02. සුව නොවන දද කුෂ්ඨ වලින් පෙළෙන අය

03. බිහිරි හා දෙනෙත් අන්ධ අය

04. අත් පා රහිත හෝ අංග විකල වූවන්

05. අපස්‌මාර හෝ අංශභාග රෝගීන්

06. කලින් දරුවන් ලැබ ඔවුන් සියලු දෙනා ම

මියගිය තැනැත්තියන්

07. සැමියා මියගිය වැන්දඹුවන්

08. දරුවන් නොලැබන වඳ ස්‌ත්‍රීහු

09. සුරාපානය කරන මස්‌ මාළු විකුණන කතුන්

10. කේලාම් කියමින් උගුල් අටවන උදවිය

11. අනාචාරයේ හැසිරෙන කතුන්

කතරගම සුද්ධ සුනියම් දේවාලයේ තේවාබාර

කපු මහතා

කේ. ඩි. දේවප්‍රිය

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.