53 විය සපුරන සුබසෙතට අපේ සුබ පැතුම්

මැයි 27, 2022

 

2022 මැයි මස 28 වන දිනට සුබසෙත ජ්‍යෙතිෂ්‍යායුර්වේද පත්‍රයට වසර 53ක් සපිරෙයි. 1969 මැයි මස 28 දින ආරම්භ කරන ලද සුබසෙත පත්‍රයෙන් මේ දක්වා පුරා වසර 53ක් තිස්සේ අප සමාජයට ඉටු වූ සේවය අති මහත්ය. සුබසෙත පුවත්පත ආරම්භ වීමට පෙර ‘දවස’ පුවත්පත් ආයතනය විසින් පලකළ ‘ඉරණම’ පුවත්පත තිබුණ ද එය වෙන් වූයේ ජ්‍යොතිෂයටය. ආයුර්වේදයට එහි ඉඩක් වෙන් නොවීය. මෙම අඩුපාඩුව දුටු එවකට ලේක්හවුස් ආයතනයේ සේවය කළ ප්‍රවීණ පුවත්පත් කතුවරයකු වු පියසේන නිශ්ශංක සූරීන් විසින් ‘සුබසෙත’ පුවත්පත ආරම්භ කළේ ජ්‍යොතිෂ්‍යයට මෙන්ම ආයුර්වේදයට ද සේවය සැලසීමටයි. මෙසේ පියසේන නිශ්ශංකයන්ගේ ආරම්භක කර්තෘත්වයෙන් පණ ගැන්වුණු

සුබසෙත මේ දක්වා ප්‍රවීණ කර්තෘවරුන් කර්තෘවරියන් රාශියක ගෙන් ඔපවැටී සමාජය තුළ විශාල ජනප්‍රසාදයක් හිමිකර ගෙන සිටියි. එසේම, මේ දක්වා ‘සුබසෙත’ මඟිින් බිහිකළ ලේඛකයන් ප්‍රමාණය මා ද ඇතුළුව ඉතා විශාල ප්‍රමාණයක් වන අතර ඔවුන් මඟින් සමාජයට දායාද කළ ශාස්ත්‍රීය දැනුම් සම්භාරය ද අති මහත්ය. අප වැනි බොහෝ දෙනකු ලේඛන කලාව පිළිබඳ මුල් අකුරු කළේ සුබසෙතින් බව පවසනුයේ ඉතා නිහතමානීවය.

වෛද්‍ය ශාස්ත්‍රීය දැනුම සහ ජ්‍යොතිෂ ශාස්ත්‍රීය දැනුම සඳහා තෝතැන්නක් බඳු වූු සුබසෙත අද වන විට ශ්‍රී ලංකාවේ වෛද්‍යවරුන් සහ ජ්‍යොතිෂ්‍යවේදීන්ට අමතරව නාහිමිවරුන්, පුජකවරුන්,අධ්‍යාපඥයන්, විද්වතුන්, විශ්වවිද්‍යාල කථිකාචාර්යවරුන්, නීතීඥයන්, ව්‍යාපාරිකයන්, ගොවියන්, කම්කරුවන් ඇතුළු සියලුම ක්‍ෂේත්‍රවල ජනතාව අතර ජනප්‍රිය පුවත්පතක් බව පැහැදිලි වේ. මා සුබසෙත පත්‍රයට ලිපි ලිවීම ආරම්භ කළේ 2002 වසරේ සිට වන අතර එදා සිට අද දක්වාම ඖෂධ පැළෑටි පිළිබඳ ලිපි ලිවීම කරනු ලබයි. මේ සඳහා මා හට මග විවර වුයේ සුබසෙත පත්‍රය ඇරඹුණු දා පටන් 2002 වසර තෙක්ම සුබසෙතට ශාස්ත්‍රීය ලිපි ලියන ලද මාගේ ඥාතිවර ගම්පහ සිද්ධායුර්වේද වෛද්‍ය විද්‍යාලයේ හිටපු කතිකාචාර්ය ආයුර්වේද විශාරද පණ්ඩිත වෛද්‍යාචාර්ය රිච්ර්ඩ්.ඩී. පරණවිතාන මහතාගේ මඟ පෙන්වීම අනුවයි. සුබසෙතින් සමාජයට ඉටුවන සත්කාර්යය ඉතා විශාල වන අතර ආයුර්වේද ශාස්ත්‍රිය ලිපි,ජ්‍යොතිෂ ලිපි, වාස්තු විද්‍යා ලිපි ඇතුළු අංග රැසකින් යුතුව වඩාත් සාරගර්භ පුවත්පතක් ලෙස සෑම සතියකම සිකුරාදා පාඨක ජනතාව අතට පත් කරනු ලබයි. මෙහිදි පළ කරනු ලබන ශාස්ත්‍රීය කරුණු තුළින් වෛද්‍ය ශිෂ්‍යයන් ආධුනික වෛද්‍යවරුන් ප්‍රවීණ වෛද්‍යවරුන් ඇතුළු බොහෝ දෙනකුට ලැබෙනුයේ අමිල මෙහෙවරකි. මේ අයුරින් පුරා වසර 53ක් පුරාවට ‘සුබසෙත’ මඟින් සමාජයට ඉටුකළ මෙහෙය අති මහත්ය. සුබසෙත පත්‍රය මඟිින් ඉටුවන ජාතික මෙහෙවර ඉදිරියටත් වඩාත් සාර්ථකව ඉටු කිරීමට වත්මන් ක්‍රියාශිලී කාර්ය මණ්ඩලයට ශක්තිය, ධෛර්යය ලැබේවායි පතමි.

 

වෛද්‍ය මධුර පරණවිතාන

 

ජ්‍යොතිෂ අඹරේ දිදුළන සුබසෙත

තුන් සිංහලේ ජාතික මාධ්‍ය වේදිකාව “සුබසෙත” නම් වූ අතර ඡ්‍යොතිෂය සහ ආයුර්වේදය පිළිබඳ සංස්කෘතිකමය සාර සංග්‍රහයක් ලෙස එය සරලව බුද්ධිමත් පාඨක ලෝකයා අභියස ප්‍රකාශ කළ හැක්කකි. අවබෝධ ඥාණය මෙන්ම පරිණත බුද්ධි සංකලනයකින් පිරීගිය මානසිකත්වයක් පිහිටි සම්භාවනීය ලේඛක ලේඛිකාවන්ගෙන් ද දුරස්ථ නොවූ “සුබසෙත” යුගකාලීන අමා දහරෙකි. ඩී.ආර්. විජේවර්ධන මැතිතුමාගේ පත්තර මහ ගෙදරින් පියසේන නිශ්ශංක ශූරීන්ගේ මූලිකත්වයෙන් ක්‍රි.ව. 1968 මැයි 28 වැනි බුධ දින චිරාගත ඡ්‍යොතිෂමය සම්ප්‍රදායන්ට ගරුකරමින් අති විශිෂ්ටතම සුබ මුහුර්තයකින් “සුබසෙත සාර සංග්‍රහය” සමාරම්භ වූයේ ය. ඒ 1968 මැයි 28 සිට 2022 මැයි 28 එදා මෙදාතුර වසර 53ක් තරම් දිගු කාලීන චිර ජීවනයකට පාත්‍රවී යාමෙනි. සුබසෙතට ආශිර්වාදයක් වූයේ සුබ නැකතයි. තිරසරව නැකතෙහි බලය - ජීවය ඉස්මතු කරමින් මෙතෙක් ආ ගමන්මඟ පිළිබඳ කෙටි විවරණයකි මේ.

ක්‍රි.ව. 1981 සිට අද දක්වා සුබසෙත ලේඛකයකු ලෙස ක්‍රියාකාරීවීමෙහි භාග්‍යය මා හට ලැබිණි. ගුප්ත විද්‍යා , වෛද්‍ය විද්‍යාව, ඡ්‍යොතිෂවිද්‍යාව, හස්ත රේඛා, වාස්තු විද්‍යා, චරිතාප්‍රදාන, අනාවැකි, සුවිශේෂි ග්‍රහ විමර්ශන, හස්ත සාර ගුරුහරුකම්, ප්‍රබල නැකත් ග්‍රහ විමර්ශන යනාදී මහත් වූ විශේෂාංග අතරට අත්දුටු කෙම්ක්‍රම, පලාපල කථනය වැනි මාතෘකාවන් පාඨකයා ගෞරවණීයව සතිපතා අපේක්ෂා කළ පැතිකඩ සමූහයෙකි. මේ සියල්ල සුබසෙත පුවත්පතේ සම්පිණ්ඩනය වී ඇති අයුරු දක්නට අපූර්වය. ඡ්‍යොතිෂ අඹරේ රිදී සීනුව වසර 53 ඉක්මවා යුගකාලීන රාජ්‍ය යාන්ත්‍රණය සහ රාජ්‍යය ත්‍රාන්ත්‍රික ක්ෂේත්‍රයන් ආශි‍්‍රතව අභීතව සත්‍යයවාදී විශ්වතාරකා මන්දාකිණියෙහි ප්‍රභාෂ්වර අභිමානය සෘජුව අව්‍යාජව ප්‍රකාශ කරන එකම පුවත්පත බවට “සුබසෙත” පාත්‍ර වී ඇත.

වත්මන් පාඨකයාගේ හද ගැස්ම දිනෙන් දින ත්‍රීවර වන පරිදි නව ගමන් මඟක සුබසෙත රැගෙන ගනු ලබන බව පෙනේ.

විවිධ මාදිලියෙහි ඡ්‍යොතිෂ පුවත්පත් සඟරාදිය 50කට අධිකව ප්‍රකාශනයට පාත්‍ර වී ඇතත් ඒවාගේ ආයුෂ ඉතාම දුර්වල බව නිර්මාණය වූ බවක් පෙනෙයි. උදාරතර අදිමානසිකත්වයකින් කැපවීමකින් සුබසෙත පුවත්පත හරබරව කාලානුරූපව පාඨකයා වෙත කරුණු ඉදිරිපත් කිරීමෙන් පෙනී යන්නේ තවත් ශතවර්ෂ ගණනාවක් ඡ්‍යොතිෂ පුවත්පතක් ලෙස සුබසෙත පුවත්පත පත්තර ලොවෙහි වැජඹෙන සුරතුරක් විය හැකි බවයි. පියසේන නිශ්ශංක මැතිතුමාගේ පුරාතනික විධිමත් ක්‍රමවත් හරවත් සමාරම්භක ඊසැර වෙඩිසැර නැකත, නැකත ගැන සිතන සැමට ආදර්ශමත් පසුබිමකි. සමාජයේ සිදුවන සියලු පැතිකඩයන් අනාගතය දෙස බලා එක දිගටම සුබසෙතෙන් අනාවරණය කළේ වත්මන් පරිසරයේ පැතිකඩ පාඨකයාට කල්තබා දැනුම්දීමටයි. “සුබසෙත” වටා වර්තමානයෙහි රැඳී සිටින සියල්ලන්ට දිගාසිරි ලැබේවා. “සුබසෙත” පුවත්පත ද විශ්වයෙහි බැබලෙවා යයි ඉති සිතින් ප්‍රාර්ථනා කරන්නෙමු. චිරං ජයතු.

 

කොත්මලේ විජිත ඩී. ලියනආරච්චි

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.