වර්ෂ 2024 ක්වූ November 15 වැනිදා Friday
රස්පුටින්ගේ දෛවය වෙනස් කළ රජ කුමරුගේ රෝගය
මෙතෙක් කතාව
සයිබීරියාවේ බටහිර දිග පෙදෙසේ ගොවි පවුලක උපත ලැබූ රස්පුටින් ගැටවර වියේ සිටම සොරකම්වල සහ වෙනත් දඩබ්බරකම්වල යෙදුණු නමුත්, අවුරුදු 28 දී හිටිවනම වන්දනාකරුවකු බවට පත්වෙයි. එසේ දුර බැහැර වන්දනාවක ගොස් පැමිණි රස්පුටින් විසින් පූජකවරුන් විවේචනයට ලක් කරන්නේ ඔවුන්ගෙන් වැඩි දෙනෙකු සමලිංගිකයන් බව පවසමිනි.
-------------------------
මේ ආකාරයට ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරමින් ස්වකීය ගම් වැසියන්ගේ අවධානය දිනා ගන්නා රස්පුටින් එතැන් සිට ධර්මය අනුසාරයෙන් ජීවිතය පිළිබඳ ගැටලු විසඳන්නෙකු බවටද, තමන් සතුව ඇතැයි කියන ආධ්‍යාත්මික ශක්තිය මඟින් යම් යම් ලෙඩ රෝග සුව කිරීමේ නිරත වන්නෙකු බවටද පත්වෙයි. මේ හේතුකොටගෙන, ඉතා කෙටි කලක් තුළ පළමුවෙන් තම පවුලේ සාමාජිකයින්ද, ඥාතී හිත මිත්‍රාදීන්ද, ගම්වාසීන්ද ආදී වශයෙන් අනුගාමිකයින් එකතු කර ගැනීමට ඔහු සමත් වෙයි.
මේ සමඟම ඔහුට තමාගේ සිත්ගත් තරුණියන් කාම අපචාරයන්ට ලක් කර ගැනීම වඩාත් පහසු වූ අතර, එම සිද්ධිය තමන් ඔහු අතින් දූෂණය වීමක් ලෙස මේ කිසිම තරුණියක විසින් නොසැලකීමද ඔහුට මහත් වාසියක් වූයේය.
මේ අයුරින් තමන්ගේ ගම තුළ ආධිපත්‍යයක් පතුරවා ගැනීමෙන් අනතුරුව ඔහු 1900 වසරේ යළිත් වන්දනා චාරිකාවක් ආරම්භ කළේය. ඒ රුසියාවේ කසාන් නගරය වෙතය.
මේ චාරිකාවට හේතු වූයේ ඔහු විසින් මීට පෙර චාරිකාවේදී හඳුනාගෙන තිබූ කාන්තාවක විසින් කරන ලද ආරාධනාවකි. මෙහිදී එම කාන්තාව ප්‍රධාන කොටගත් ආගමික බැතිමතුන් රැසක් මුණ ගැසුණු හෙතෙම, කෙටි කලකින් ඔවුන් අතර, මහත් ජනප්‍රියත්වයක් ඇතිකර ගැනීමටද සමත් වූයේ ය.
මේ සමඟම කිවයුතු තවත් කාරණයක් වන්නේ මේ කාලයේ රුසියාව තුළ බල පැවත්වුණු ආගමික නිකාය පිළිබඳවය. එය හඳුන්වනු ලැබුවේ රුසියානු ඕර්තොඩොක්ස් පල්ලිය නමිනි. මේ වන විට සයිබිරියාවේ සිටි රුසියානු ඕතොඩොක්ස් පල්ලියේ ඉහළම පූජකවරුන් කීප දෙනෙකුගේ හොඳහිත දිනා ගන්නටද ඔහු සමත් වී තිබුණි. ඒ හේතුවෙන් එම උසස් පූජකවරුන්ගෙන් තමන් පිළිබඳව ඉතා හොඳ තත්ත්වයේ රෙකමදාරු ලිපි ලබා ගැනීමට ඔහුට හැකිවී තිබුණි. මේ සියලු ලිපි යොමු කර තිබුණේ පූජකවරුන් වෙතය.
මේ කාලයේ නිකොලොස් සාර් රජු පීටර්ස්බර්ග් නගරය අගනුවර කර ගනිමින් රට පාලනය කළ අතර, රස්පුටින් වැන්නෙකුගේ ආගමනය තේරුම් ගැනීමට නම් ඔහු ගැන යම් අධ්‍යයනක යෙදීමද අත්‍යාවශ්‍ය කටයුත්තක් බවට පත්වෙයි.
මක්නිසාද යත් ඇත පිටිසර ගොවි පවුලක සිට පැමිණි රස්පුටින්ගේ චරිතය මේ අයුරින් ලෝක ප්‍රසිද්ධ තත්ත්වයට පත්වීම සඳහා පදනම දමා දෙනු ලැබුවේ සාර් රජ පවුල විසින් වන බැවිනි. ඒ කාරණයේදී සාර් අධිරාජයාටත් වඩා ප්‍රධාන තැනක් අත්පත් කර ගත්තේ ඔහුගේ බිසව වන සරීනා ඇලෙක්සැන්ඩ්‍රා බිසව බව කිව යුතුය.
ජර්මානු ජාතික කුමාරිකාවක් වන ඇලෙක්සැන්ඩ්‍රා බිසව සාර් රජු සමඟ විවාහ වන්නේ 1894 දීය. ඉතිහාසයේ සඳහන් වන පරිදි ඔවුන් දෙදෙනා හොඳ විවාහ ජීවිතයක් ගත කරනු ලැබුවද, සාර් රජතුමා ස්වභාවයෙන්ම දුර්වල පෞරුෂයකින් යුත් පුද්ගලයෙකු ලෙස හැඳීන්වෙන්නෙකි. ඇත්ත වශයෙන්ම නීත්‍යානුකූලව රුසියාවේ ඔටුන්න හිමි කුමාරයා වුවද, ඔහු කිසිසේත්ම තම පියාගෙන් අනතුරුව කිරුළ බාර ගැනීමට සූදානම්ව සිටි අයෙක් නොවී ය. ඔහුගේ පියාවන තුන්වැනි ඇලෙක්සැන්ඩර් රජතුමා 1894 දී හදිසියේ මියගිය අතර, නිකොලස් කුමරා ඒ මොහොතේ කිසිවක් කරකියාගත නොහැකි තරමට කම්පනයට පත්ව සිටි බව සඳහන් වේ.
නිකොලස් රජගේ මස්සිනා කෙනෙකු වූ මහාදිපාද ඇලෙක්සැන්ඩර් මිහයිලොවිච් පවසා ඇති ආකාරයට තමාට ඊළඟ සාර් විය නොහැකි බව නිකොලස් කුමරා පෙන්වා දී තිබේ.
“අඩුම වශයෙන් ඇමති මණ්ඩලය ඇමතිය යුතු ආකාරය ගැනවත් මා පුහුණුවක් ලබා නැහැ” යයි නිකොලස් කුමරා පැවසුවේ යයි පසුව ඔහු කියා තිබේ. එහෙත් මිහයිලොවිච් විසින් මේ කරුණු එළි දක්වන කාලය වන විට ඔවුන් දෙදෙනා අතර, යම් විරසකයක් තිබූ බැවින් රජතුමාගේ පෞරුෂය ගැන ඔහු කියන කාරණාවල සත්‍ය අසත්‍යතාවය පිළිබඳ යම් සැකයක්ද ඉතිහාසඥයන් තුළ පවතී.
ඒ කතා කුමක් වුවද, රජුගේ බිසව වූ සරීනා ඇලෙක්සැන්ඩ්‍රාට ඔහුව ශක්තිමත් පෞරුෂයක් සහිත පුද්ගලයෙකු බවට පත් කිරීමට බලවත් උවමනාවක් තිබූ අතර, ඒ සඳහා වූ සිය යුතුකම්ද නොපිරිහෙළා ඉටුකරනු ලැබුවා ය. මේ කාරණයේදී ආධ්‍යාත්මික වශයෙන් ශක්තියක් ඇති බව කියන පුද්ගලයන් පිළිබඳව ඇයගේ අවධානය යොමු වූ අතර, රස්පුටින්ගේ ආගමනය පිළිගැනීමටද මේ පසුබිම හේතුවක් විය.
නමුදු රස්පුටින්ට පෙරද සාර් රජ පවුල අරබයා මොන්සුයර් පිලිපේ නමින් ප්‍රංශ ජාතික ආධ්‍යාත්මික ගුරුවරයෙකු රජ පවුල විසින් ඒ සඳහා තෝරා ගෙන තිබිණි.
මොනයම් හේතුවක් නිසා හෝ මේ කාලයේ රජු සහ බිසව අතර විශ්වාසයක් ඇති වී තිබුණේ ඔවුනට උපදින්නේ ගැහැනු දරුවන් පමණක් බවටය. ඒ නිසා සිය රජ පෙළපත ඉදිරියට ගෙනයාම උදෙසා පිරිමි දරුවෙකු ලබා ගැනීම පිළිබඳව ඔවුහු ඉමහත් බලාපොරොත්තු ඇතිකර ගෙන සිටියහ. සිය ආධ්‍යාත්මික උපදේශකවරයා වූ මොන්සුයර් පිලිපේ විසින් ඔවුන්ට ඒ සඳහා පිළිපැදිය යුතු ආධ්‍යාත්මික උපදේශ ගණනාවක් ලබා දී ඇති අතර, කොයි ආකාරයකින් හෝ රජ
පවුලට පුත් කුමරුවකු ඉපදුණේ ය. මේ අතර ආධ්‍යාත්මික උපදේශක පිලිපේද සීමාව ඉක්මවා රාජ සභාවේ කටයුතුවලටද ඇඟිලි ගසන්නට පටන් ගත්තේ ය.
මේ තත්ත්වය සීමාව ඉක්මවා යාමත් සමඟ රාජ සභාවේ අනෙකුත් නිලධාරීන්ගේ දැඩි විරෝධය ඔහු වෙත එල්ල විය. එහි ප්‍රතිඵලයක් ලෙස නිකොලස් රජතුමා විසින් පිලිපේව රටින් පිටුවහල් කර දමනු ලැබීය. එහෙත් රස්පුටින්ට සාර් මාළිගය තුළට පැමිණීමට ඉඩ ලැබෙන්නේ මේ රික්තකය නිසා පමණක් නොවේ.
රජ පවුලට ඉපදුණු එකම පිරිමි දරුවා වූ ඇලෙක්සේයි කුමරා හිමෝෆීලියා රෝගියකු වීමද, රස්පුටින්ගේ ඉරණම කෙරෙහි දැඩි ලෙස බලපෑවේය. හිමෝෆීලියාව යනු කෙනෙකුගේ රුධිරය කැටි නොගැසීමේ රෝගයකි. එම නිසා එවැන්නකුගේ රුධිර වහනයක් සිදු වුවහොත් එය නවත්වාගත නොහැකි තත්ත්වයකට පත්වෙයි. කුමරාගේ හිමෝෆීලියා රොගී තත්ත්වයට ඒ වන විට නිසි ප්‍රතිකාරයක් කිරීමට කිසිදු රාජකීය වෛද්‍යවරයෙකු සමත් වී සිටියේ නැත.
බ්ලැක් ප්‍රින්සස්ලා යනුවෙන් හඳුන්වනු ලබන (Millitas and Anastasia of Montinegro) යනුවෙන් හඳුන්වනු ලබන මිලිටාස් සහ අනස්ටේසියා යන කුමරියන් දෙදෙනා විවාහ වී සිටියේ සාර් අධිරාජ්‍යයාගේ මස්සිනාවරු දෙදෙනකු සමඟය. සිය කුඩා පුතුට අසීමිතව ප්‍රේම කළ සරීනා ඇලෙක්ක්සැන්ඩ්‍රා බිසවට, පෙර කී සිය ඥාතී ප්‍රභූ කාන්තාවගෙන් චෙ ආධ්‍යාත්මික සුව කරන්නා ගැන අසන්නට ලැබෙන්නේ ඔය අතරතුරදී ය.
මේ දෙදෙනා හඳුනා ගැනීමෙන් පසුව රස්පුටින් හට ක්‍රමයෙන් රජ පවුල වෙත ප්‍රවේශවීමේ අවස්ථාව ලැබෙන්නේ ඒ අනුවය. ඔහුට පළමුවෙන්ම ඒ අවස්ථාව උදාවෙන්නේ 1905 නොවැම්බර් මස 14 වෙනිදාය. මේ බව දෙවැනි නිකොලස් සාර් රජු තම දින පොතෙහි සටහන් කර ඇති මුත් තම පුත්‍රයාගේ රෝගය පිළිබඳව කතාබහ කළ බවක් එහි සඳහන් කර නැත.
ඔටුන්න හිමි කුමරා වූ ඇලෙක්සි නිකලොවිච් නැමැති කුමරා රස්පුටින්ගේ දෛවය වෙනස් කරනු පිණිස මහා බලපෑමක් ඇතිකරනු ලබන්නේ ඉන් අනතුරුවය. රජ මැදුරට පැමිණි රස්පුටින්ට කුමරාගේ සෞඛ්‍යය වෙනුවෙන් යාඥා කරන ලෙස රැජින විසින් ඉල්ලීමක් ඉදිරිපත් කරනු ලැබෙයි. එක්වරම එම ඉල්ලීම පිළිගන්නා රස්පුටින් කුමරා වෙනුවෙන් යාඥා කරන්නට පටන් ගත්තේ ය.
එම යාඥාව හේතුවෙන් එක්වරම කුමරා සුවපත් නොවුණු නමුත්, රස්පුටින් කොතරම් ආත්ම විශ්වාසයෙන් එම යාඥා කිරීමේ යෙදුණේද යත්, ඒ මොහොත වන විට මේ පුද්ගලයා යනු සුව කිරීමේ බලයක් සහිත පුද්ගලයෙකු බවට දැඩි විශ්වාසයක් සරීනා බිසව තුළ ඇති වී තිබිණි.
මතු සම්බන්ධයි