කර්තෘටලියුම්

ඔක්තෝබර් 18, 2024

පසුගිය සතියේ කර්තෘට ලියූ ලියුමට පිළිතුර

කුජ සිකුරු යෝගය

විවාහ ජීවිතය සහ ඡ්‍යොතිෂය අතර පවතින්නේ අන්‍යෝන්‍ය සම්බන්ධයකි. එහිදී විවාහයට පෙර තරුණ තරුණියන්ගේ කේන්දර පරීක්ෂා කිරීමට දෙමාපියන් පෙළඹෙන බව අප දන්නා කරුණකි. එමෙන්ම ස්ත්‍රී කේන්දරයක හෝ පුරුෂ කේන්දරයක කුමන භාවයක හෝ කුජ සිකුරු සංයෝග වී තිබුණේ නම් එය ප්‍රබලව කාම ශක්තියක් උපදවන ග්‍රහ පිහිටීමක් ද වේ. මේ පිළිබඳ සුබසෙතට සමීප පාඨක ගෝණදෙණියේ ජනිත් පසුගිය සතියේ කුජ සිකුරු යෝගය පිළිබඳ කර්තෘට ලියුම් මඟින් පැනයක් යොමු කර තිබුණි. එබැවින් ඔහුගේ මෙන්ම සුබසෙත පාඨක ඔබ සියලු දෙනාගේ දැන ගැනීම උදෙසා ඡ්‍යොතිෂවේදීනී ගීතිකා සමරතුංග මහත්මිය ලබා දුන් පිළිතුර මෙසේ සටහන් කරමු.

ඡ්‍යොතිෂයේ සඳහන් අන්දමට කුජ ග්‍රහයා ලේවලට, රණකාමීත්වයට, පරිපාලනයට ද සිකුරු ග්‍රහයා කාමයට, ලෞකික සැප සම්පත්, මානසික සතුට ද නියෝජනය කරනවා. කුජ සිකුරු ග්‍රහයන් දෙදෙනා යෝග වීමෙන් කරුණාවන්ත සාමදානයට කැමති ධෛර්යයවන්ත අයෙකු බිහි කරනවා. මේ යෝගය අතිධාවන කාම යෝගයක් හෙවත් අධික කාමාශාවක් ගෙන දෙන යෝගයක්. එමෙන්ම මෙය ශරීර ශක්තිය ගෙන දෙන පිහිටීමක් ද වනවා.

මේ යෝගය යහපත් අයුරින් පිහිටිය හොත් ප්‍රීතියෙන් වාසය කරන්නා වූ නිතර සෙල්ලෙමින් කාලය ගත කරන, ව්‍යාපාරයන්හි දක්ෂ නිර්භීත වියදම් කිරීමට ද පෙලඹෙන පුද්ගලයෙකු නිර්මාණය කරනවා. ස්ත්‍රී , පුරුෂ පක්ෂ අතර වැඩි ප්‍රසිද්ධියක් උසුලන, ලෞකික ආශාවන් ඉතාමත් දැඩි ලෙස බලපවත්වන ස්ත්‍රියක් නම් පුරුෂ ඇසුරටද පුරුෂයෙකු නම් ස්ත්‍රී ඇසුරටද වැඩිපුර කැමැත්තක් දක්වනවා.

ලග්න කේන්දරයේ හත්වැන්නේ මේ යෝගය යෙදීම අශුභ වීමටද හැකියි. කුජ සිකුරු යෝගය සහිත පුද්ගලයා ලිංගික ආශාවන් වැඩි අයෙකු බැවින් ඒවා මුදුන් පමුණුවා ගැනීමට ඕනෑම අසම්මත ක්‍රියාවක වුවත් නිරත වනවා. එනිසා තම කීර්තිනාමයට පළුදු ඇති කර ගන්නටත් හේතු වෙනවා. විවාහ ජීවිතය ද අවුල් කර ගැනීමේ හැකියාව ද වැඩියි.

මේ කුජ සිකුරු ග්‍රහයන් සමඟ සෙනසුරු හෙවත් ශනි ග්‍රහයා සිටියහොත් නැතිනම් සෙනසුරුට පෙනෙනවා නම් හෝ බලයෙන් යුතුව සිටිනවා නම් විවාහය අවුල් වන්නේවත්, චරිතය කෙළෙසා ගන්නේවත් නැහැ. කුජ සිකුරු හත්වැන්න අධිපතියා සමඟ මිථුන, ධනු, සිංහ යන ද්විස්වභාව රාශිවල සිටීමෙන් විවාහ දෙකක් සිදුවන්නත් පුළුවන්.

පළමුව විවාහ වෙන සහකරු හෝ සහකාරිය මිය යාමට ද පුළුවන්. ඊට පසුව නැවතත් විවාහයක් කර ගැනීමට ද බොහෝ දුරට ඉඩකඩ තිබෙනවා. එසේ නැතිනම් අප්‍රසිද්ධ වශයෙන් හෝ තවත් කෙනෙකු සමග අඹු සැමියන් ලෙස ජීවත්වීමට පෙලඹීමේ අවස්ථා තිබෙනවා.

ස්ත්‍රියකගේ කුජ සිකුරු යෝගය පවතී නම් ඇය පූර්ණ ස්ත්‍රී ලාලිත්‍යය ඇති තැනැත්තියක වනවා. පිරිමියෙකු නම් ස්ත්‍රීන්ට බොහෝ ළැදි කෙනකු විය හැකියි. එහෙත් යම් කේන්දර සටහනක කුජ සිකුරු යෝගය නරකට සිටියහොත් සමාජ රෝග වැනි දේ හැදෙන්නට ඉඩ තිබෙනවා. වකුගඩු රෝග ඇති වීමේ ප්‍රවණතාවය ද වැඩියි.

ඊට අමතරව රාශියක කුජ සිකුරු සංයෝගය තිබූ පමණින් ම සම්පූර්ණ ඵලය නොලැබීමට පුළුවන්. ඒ සඳහා එම ග්‍රහයන් එකම නවාංශකයේ හෝ යාබද නවාංශකවල පිහිටිය යුතුයි.

කෙසේ වෙතත් විවාහ වීමට බලාපොරොත්තුවෙන් සිටින අය තම සහකරු, සහකාරිය හා විවාහයට ප්‍රථම කේන්දර පරීක්ෂා කරගැනීම යහපත්.

 

ඡ්‍යොතිෂවේදිනී ගීතිකා සමරතුංග

සටහන - ඉෂාරා විජේරත්න

-----------------------------

චන්ද්‍රයාගේ බලපෑම පිළිබඳ

සන්දරිගම - කෑගල්ල

මහත්මියනි,

ඉහත නම් සඳහන් මා තුලා ලග්න හිමි කාන්තාවක්. වරක් කේන්දර පරීක්ෂාවකදී මාගේ කේන්දරයේ චන්ද්‍රයා 8 වැනි භාවයේ පවතින බවත් , 8 වැන්නට සඳු ග්‍රහයා එතරම් සුබ නොවන බවත් දැන ගන්නට ලැබුණා. මෙහිදී සඳු ග්‍රහයා රාශි චක්‍රයේ 8 වැන්නේ පිහිටීමෙන් කේන්දර හිමියාට වන සුබ අසුබ තත්ත්වයන් පිළිබඳ ඡ්‍යොතිෂ සිද්ධාන්ත අනුව සුබසෙත පුවත්පත මගින් පිළිතුරක් බලාපොරොත්තු වෙමි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 11 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.