සැප්තැම්බර් 27ත් ඔක්තෝබර් 03ත් අතර උපන් ඔබ...

සැප්තැම්බර් 27, 2024

සැප්තැම්බර් 27

(පෞද්ගලික අංකය 9)

සඳු-නෙප්චූන් යන ග්‍රහ සුසංයෝගයෙන් කුජට අයත් පෞද්ගලික අංකයක් නිර්මාණය වෙලා. වායෝ සස ත්‍රිවංකයේ බලපෑමත් සමගම කන්‍යා රාශියේ බුධ(-) කාලය මෙහිදී සක්‍රීයව පවතිනවා. ඔබ සටන්කාමී බව හෝ පරිපාලනයේ සුවිශේෂී දස්කම් කැපී පෙනෙන අයෙක් නෙවෙයි. ඔබ බලය පතුරුවන්නේ අධ්‍යාත්මික මාර්ගවලට සමීපව. ආගමික ස්ථාන ආශ්‍රිත සමිති සමාගම්වල බලය පතුරුවන්න ඔබට හැකියාව ලැබෙනවා. ඔබ අභියෝග භාර ගැනීමටත් දිරිමත් අයෙක්. ඔබ නිදහස් මතධාරී දාර්ශනික අදහස් ඇති අයෙක්. අවංක අදහස් නොවලහා ඉදිරිපත් කිරීම නිසා සතුරන් ඇති විය හැකියි. ශල්‍ය වෛද්‍ය අංශය හා ඉංජිනේරු තාක්ෂණ අංශය ඔබ වැනි අයෙකුට දස්කම් පෑමට හොඳම තෝතැන්නක්. විශාල යන්ත්‍ර සූත්‍ර ක්‍රියාත්මක වැඩබිම් ආශ්‍රිතව නිතර ඔබට ගැවසීමට සිදුවනු ඇති. මෙහිදී බොහෝ විට කාර්මික අනතුරුවලට භාජනය වීමේ වැඩි නැඹුරුවක් ද ඇත. වන සතුන්ගේ ප්‍රහාරයට ලක්වීමේ වැඩි අවදානමක් ද ඔබට පවතිනවා. විවිධ වූ දුෂ්කරතා හා රෝගී ළමා කාලයක් ගත කිරීමෙන් අනතුරුව වඩාත් ශක්තිමත්ව නැඟී සිටිමින් ජීවිතය ජය ගැනීමට තිර අදිටනින් යුතුව යන ගමනේදී පතපොත දැණුම ඔබට මහත් අත්වැලක් සපයනු ඇත. විශේෂයෙන් ගුප්ත විද්‍යා කටයුතුවල නිරත වීමෙන්ද ඔබට සාර්තක ප්‍රතිපල නෙළාගත හැකි වනු ඇති.

බැඩ්මින්ටන් ශූරි කාවින්දි සිරිමාන්නගේ (1995) ඔබත් සමග උපන් දිනය සමරන්නියක්.

සැප්තැම්බර් 28

(පෞද්ගලික අංකය 1-4)

මෙදින අංක විද්‍යාත්මකව නව මාසයක ඇරඹුමක් සනිටුහන් වෙනවා. සඳු-නෙප්චූන් හා ශනිගේ සම්මිශ්‍රණයෙන් පෞද්ගලික අංකය 1 ක් නිර්මාණය කරමින්. වායෝ සස ත්‍රිවංකයේ බලපෑමත් සමඟම තුලා රාශියේ සිකුරු(-) කාලය අදින් ඇරඹෙනවා. ඔබට හිමිවන්නේ සෞන්දර්‍ය-කලා අංශය, අලංකරණය, ඉවුම්-පිහුම්, හෝටල්, ප්‍රවාහන, සංචාර වැනි අංශයන්ටත් පහසු නැඹුරුවක් පෙන්නුම් කෙරෙනවා. මෙවන් දිනයක උපන් පිරිමි පාර්ශවයේ අයෙකු තුළ වුවද යම් ලාලිත්‍යයක් ගැබ්වෙනවා. ජීවිත කාලය තුළදී බොහෝ විට පියාගේ සෙනෙහස උපරිමව විඳ ගැනීමට යම් බාධා ඇති විය හැකියි. ඔබ ආදරයට ළැදි ඉතා ආදරණීය අයකු වුවත් දෙමව්පියන් හා සහෝදර සහෝදරියන්ගේ මෙන්ම ප්‍රේමවන්තයා-ප්‍රේමවන්තිය හෝ ස්වාමියා-බිරිඳ වෙතින් ආදරය දැනෙන්නේ අඩුවෙන්. මේ බව හරිහැටි තේරුම් බේරුම් කර ගැනීමට අපහසු වුවහොත් ඔබ ආදරයේ මිරිඟුව නිසාම ජීවිතයෙන් මංමුළා විය හැකියි. ඒ කොහොම වුවත් ඔබ නායකත්වයේ ප්‍රතිමූර්තියක් බඳුයි. නිතරම ඉහළ නැඟීමේ ආශාව වගේම ඒ කෙරෙහි කැපවීම ඔබ කෙරෙන් විද්‍යමාන වෙනවා. ඉතා නීතිගරුක වන අතර මව පියා අභිමුවෙහිදී පවා වරදක් ඇත්නම් ඒ බව නොවලහා ප්‍රකාශ කිරීම, වරදට දඬුවම් පැමිණවීම ආදිය ඔබ සතු සහජ පුරුද්දක්. කෙළින් වැඩ කිරීම නිසා හොඳ නමක් වගේම කෙළින් කතා කිරීම නිසා සතුරන් ඇති කර ගැනීමත් ඔබ එකවිට සිදු කරගනු ඇති.

ප්‍රවීණ ගායන ශිල්පීනී ශෂිකා නිසංශලා (1982) කියන්නෙත් ඔයාගේ උපන් දිනයේ කෙනෙක්.

සැප්තැම්බර් 29

(පෞද්ගලික අංකය 2-7)

සඳු-නෙප්චූන් හා කුජ සුසංයෝගයෙන් සඳු-නෙප්චූන්ටම අයත් පෞද්ගලික අංකයක් නිර්මාණය වෙලා. වායෝ සස ත්‍රිවංකයේ බලපෑමත් සමගම තුලා රාශියේ සිකුරු(-) කාලය මෙහිදී සක්‍රීයව පවතිනවා. ගීත රස වින්දනය හා සිතුවම් ඇඳීම, නිර්මාණාත්මක ලේඛනය වැනි අංශ ගණනාවකින් ඔබට සමත්කම් දැක්විය හැකි වෙනවා. ඉතා සංවේදී ගති පැවතුම් සහිත වෙනවා. කෙතරම් දක්ෂතා සතු වුවත් අභ්‍යන්තර වශයෙන් යම් මන්දගාමී ස්වභාවයක්ද ගැබ්ව පවතිනවා. බොහෝ විට සිහින ලෝකවල සැරිසැරීමෙන් පුදුමාකාර මානසික වින්දනයක් තමයි ලබන්නේ. ජීවිතයේ කෙතරම් මිල මුදල් හා ජයග්‍රහණ අත් කරගෙන හිටියත් ජීවිත කාලය තුළ කුමක් හෝ අඩුවකින් පීඩා විඳීන බවක් මෙවැනි සඳු-කුජ ගැටුමට මැදිව බැට කන අයගේ ජීවන වෘතාන්ත තුළ අනිවාර්‍ය කරුණක්. සුළඟින් හා ගුවන් ගමන්වලදී ඇති වන අනතුරු මෙදින උපන් අයට සුවිශේෂීව බලපාන බව දැක්වෙනවා. එසේම ශ්වසන ආබාධවලටත් යම් නැඹුරුවක් පවතිනවා. වයස්ගත වීමට පෙර විවාහයකට එළැඹීමට නොහැකි වුවහොත් ඔබ වෙතින් විවාහ වීමේ වාසනාව සදහටම ගිලිහෙණු ඇති බවත් පැවසෙනවා. විවේචනවලට බියෙන් මුලුගැන්වී උන්නත් යම් තීරණාත්මක අවස්ථාවකදී කඩා බිඳගෙන ඉස්සරහට එන්නේ පුදුම සහගත විදිහට. සහකරුට හෝ සහකාරියට නිදහස ලබාදීමටත් ඔබ වගබලා ගත යුතු වෙනවා.

හිටපු කතානායක කරූ ජයසූරිය මහත්තයටත් (1940) සුබපතලාම මෙදා පාර ඔයාගේ උපන්දින කේක් එක කපන්න.

සැප්තැම්බර් 30

(පෞද්ගලික අංකය 3)

මේ පෞද්ගලික අංකය ගුරු ග්‍රහයාගේ බලපෑමට නතු වෙනවා. වායෝ සස ත්‍රිවංකයේ බලපෑමත් සමඟම තුලා රාශියේ සිකුරු(-) කාලය මෙහිදී සක්‍රීයව පවතිනවා. කලා අංශය ඔයාගේ ජීවිතයට උපතින්ම බද්ධවන දෙයක්. ඒ වගේම තමයි පෑනෙන් හරි හැන්දෙන් හරි අවශ්‍ය විටකදි එක ලෙස රස පදම බෙදන්නත් ඔයා දක්ෂයි. ඔයා තුළ නායකත්ව ගුණාංග සහජයෙන්ම කැපී පේනවා. මහා පරිමාණ ව්‍යාපෘති ගොඩ දා ගන්නත් ඔයාට පහසුයි. හැබැයි පොඩි අවුලකට තියෙන්නේ වෙන කෙනෙකුට ඔයත් එක්ක වැඩකිරිල්ල ටිකක් විතර අපහසු වීමයි. ඒ කොහොම වුණත් අනුන්ගේ දුකක් වේදනාවක් දැක්කම මුළින්ම උණු වෙන්නෙත් ඔයාටම තමයි ඉතින්. වයස්ගත අයට වගේම වැඩි හිටියන්ට, පැවිදි උතුමන් හෝ ආගමික නායකයන්ට වුණත් ඔයා තුළ තියෙන්නේ ලොකු ළෙංගතු බවක්. හැබැයි ඔයාගේ අණපනත් සේරම හිස් මුදුණින් පිළිගන්නා තාක් විතරයි ඕනෑම අයෙකුට ඔයාගෙන් සත්කාර සම්මාන හිමිවෙන්නේ.

යම් අරමුණක් ධෛර්යයෙන් යුතුව ලුහුබඳීන කෙනෙක්. ඒ නිසයි ඔයා වැනි අය දවසක මව්පිය අභාසයෙන් තොරව ජීවන වෘත්තියක් නිදහසේ තෝරා ගන්නේ.

නිස්කලංක පරිසරයකදී නිදහසේ තමන්ගේ රාජකාරිය අකුරටම ඉටු කිරීමටයි ඔයා කැමති. තනි තනිව වෙන් වෙන්ව කාටවත් උපකාර කරනවාට වඩා ළමා නිවාස, වැඩිහිටි නිවාස වැනි උදවු උපකාර ඇවැසි සමූහයක් වෙත එකවර ආධාර උපකාර කිරීමයි ඔයාගේ ප්‍රතිපත්තිය. ජීවිත කාලය තුළදී අසාමාන්‍ය දියුණුවක නතර වීම ඔබේ අනිවාර්ය සිදුවීමක් වෙනවා.

ඉන්දීය රංගන ශිල්පී විවේක් ඔබ්රෝයි ද (1976) අංක විද්‍යාත්මකව ඔබ හා බැඳුණු අයෙක්.

ඔක්තෝබර් 01

(පෞද්ගලික අංකය 1-4)

මේ පෞද්ගලික අංකය තුළ රවි-යුරේනස් ග්‍රහයාගේ බලය කිසියම් අනුපාතයකට අනුව අන්තර්ගත වෙනවා. වායෝ සස ත්‍රිවංකයේ බලපෑමත් සමඟම තුලා රාශියේ සිකුරු(-) කාලය මෙහිදී සක්‍රීයව පවතිනවා. කලාවට සුවිශේෂී ළැදියාව හා නායකත්ව ගුණාංගත් හොඳීන් පිහිටනවා. ආදරයෙන් අසංතෘප්තවීම වගේම පොදුවේ මුළු ලෝකයා කෙරෙහිම ආදරණීය වීමත් මේ කාලයේ කැපී පෙනෙන ලක්ෂණයක්. එඩිතර බව, තිර අධිෂ්ඨානය, කැප වීම, තමන් ගැන ඉහළින් හිතීම වැනි කරණාත් ඔබ තුළ අන්තර්ගතයි.

වරදක් දුටු තැනදී අමුවෙන්ම පහදා දෙන ස්වරූපය නිසා බොහෝ දෙනකු ඔයාගෙන් ඈත් වෙලා ඉන්නේ. ඒ වුණාට ඔයාව ඇත්තටම වටහා ගත්ත අය නම් ජීවිත කාලය පුරාම ඔයාව අත් ඇරලා යන්නේ නෑ. ඒ තරමටම ඔයා ඇතුළාන්තයෙන් ආදරණීය හා ආකර්ෂණීය චරිතයක් නිසාම. ඔයා බොහෝම සමාජශීලී චරිතයක්. එහෙම වුණත් ඔයාගේ පෞරුෂය තුළට රවි-යුරේනස් සම්මිශ්‍රණය වෙලා තියෙන අනුපාතය හැටියට ඔයාගේ හුදෙකලාභාවය හෝ සමාජශීලී භාවය වැඩි දුරටත් තීරණය වේවි. ඒ කොහොම වුණත් කෙනකුගේ දුකක් කරදරයක දී උණුවන හදවතක් ඔයාට තියෙන්නේ. නිතරම ඔයාගේ මුහුණේ ඇඳෙන හිනා රැල්ළත් පෙර පිනෙන් උරුම වන දෙයක්. නීතිය හැදෑරීමෙන් ඔබට මහත් ප්‍රතිපල අත්කර ගත හැකියි. දේශපාලනයට යොමු වන්නේ නම් දේශපාලන ක්‍ෂේත්‍රයේ නීති සම්පාදන කටයුතුවලදී ඔබ වැන්නන් විසින් පුරෝගාමී මෙහෙවරක් ඉටු කරනු ඇති. වෛද්‍ය අංශයේ නිරත අය විසින් ගවේෂණාත්මක කටයුතු කෙරෙහි වැඩි වශයෙන් යොමු වන බවද ශාස්ත්‍රීය කාරණා අතර සඳහන්.

එක්සත් ජනපදයේ ජිමී කාටර් (1924) හා එක්සත් රාජධානියේ තෙරේසා මේ (1956) යන අය වරක් හෝ එරට මහ පුටුවට වගේම ඔබගේ උපන් දිනයටත් සම්බන්ධයක් දක්වනවා.

ඔක්තෝබර් 2

(පෞද්ගලික අංකය 2)

 

ඔබේ උපන් දිනය අයත් වන්නේ තුලා රාශියේ සිකුරු(-) කාලයට. එමෙන්ම වායෝ සස ත්‍රිවංකයට. ඔබ ඉතා හැඟුම්බර සංවේදී චරිතයක්. තම ඇතුළාන්තයට නැඹුරුව බොහෝ හෙමින් වැඩ කටයුතු සිදු කිරීමට කැමතියි. ප්‍රායෝගික යමක් සිදු කරන්න සිහින ලෝකවලින් මිදිලා එළියට එන්නම වෙනවා. කාගේත් සිත්ගන්නා වටකුරු හෝ තරමක් දිගැටි ප්‍රිය මනාප මුහුණක් ඔබ සතු වෙනවා. ආගමට දහමට වගේම කලා කටයුතුවලටත් පුදුමාකාර ළැදියාවක් තියෙන්නේ. සුන්දර හිනාව ඔබට හිමි ආභරණයක් වෙනවා.

සාමාන්‍යයෙන් සවිමත් නොවුණත් පිරුණු විශාල ශරීරයක් ඔබට හිමි වෙනවා. ඒ වගේම අහාර රුචියත් ඔබට වැඩි වශයෙන් පවතිනවා. මේ කාලයේ උපදින අයට තමන්ගේ සැලසුම්වල ඉදිරි ප්‍රතිපල ඉව ශක්තියෙන් පෙර දැකීමේ හැකියාවක් පවතිනවා. නිසි වයසේදී මංගල සීනු හඬවන්න උත්සාහ ගන්න. විටෙක සුළු සිද්දියකට ඔබ විසින් ඇතිකර ගන්නා චිත්ත පීඩාවක් මානසික අවපීඩනය දක්වාම පැසවා ගන්නේ විහින්මයි. එහෙම වුණත් අවශ්‍යම තැනකදී කඩාබිඳ ඉදිරියට පැමිණ ඔබ විසින් ගනු ලබන හදිසි තීන්දු තීරණ පවා විස්මිත ආකාරයට පල දරන්නේ. ආදරයට ඉතා සංවේදී වුණත් ජීවිත කාලය පුරාම ඔබ විසින් අපේක්ෂා කරන ආකාරයේ ආදරයක් නම් ළඟා කර ගැනීම තරමක් අපහසු වෙනවා. ශ්වසන අබාධ හා ගුවන් අනතුරු සම්බන්ධ යම් අවදානමක්ද ඔබ සතු බව සිහිපත් කරන්නම්. එසේම නිතර අමාශගත ආබාධ හා අජීර්ණවලින් පීඩා විඳීන බවත් පෙනී යනවා.

හොංකොං රාජ්‍යයේ ලේඛකයකු ලෙස නමක් දිනූ නූරි විට්ටච්චි (1958) ජීවන සිදුවීම් අනුව ඔයාට බොහෝ සමාන කමක් ඇති අයෙක් වේවි.

ඔක්තෝබර් 3

(පෞද්ගලික අංකය 3)

 

ඔයා ඇත්තටම සුපිරිම චරිතයක් තමයි. ජීවිතය පොඩි තැනක ඉඳලා පටන් ගත්තා වුණත් පියවරෙන් පියවර ඉලක්ක වෙත අනුපිළිවෙලට දවසක පිය මනින්නේ ඇඟට පතටත් නොදැනීමයි. කොහොමත් මහා පරිමාණ ව්‍යාපෘති සාර්ථකව ඉටුකර ගැනීමේ හැකියාව ඔබ සතු සහජ හැකියාවක් වෙනවා. අනික් අයට ආදරයෙන් කතා බහා කරන්න, ඉතා ප්‍රණීත ආහාර පානවලින් නිතර සංග්‍රහ කරන්න එහෙමත් ඔයා හුඟක් කැමතියි නේද? ඔබ ඉතා උත්සහාවන්ත අයෙක්. දක්ෂතා බොහෝමයි. නීති ගරුකයි. තමන්ම තෝරාගත් මඟක විශ්වාසයෙන් යුතුව ගමන් කිරීම ඔබ තුළ හොඳීන් කැපී පේනවා.

තමන්ට අභිමත ජීවන වෘත්තියක හොඳීන් නිරත වීමෙන් යහපත් ප්‍රතිපල අත්කර ගැනීමටත් සමත් වෙනවා. ආහාර පාලනයක් නොවූ තැන අධික ආහාර රුචිය හේතුවෙන් ඇති කරන කොලෙස්ටර්රෝල්, අධික රුධිර පීඩනය හා හෘද්‍යාබාධ වැනි ලෙඩවලට නිතර නැඹුරුව ඇති කළ හැකියි. තවද, ගුවන් අනතුරු මඟින් හෝ සුළඟින් වන අනතුරුවලටද යම් නැඹුරුවක් පෙන්වනු ඇති. ආරෝග්‍යශාලා හා මානසික රෝහල් වැනි ස්ථානවලට උදවු උපකාර කිරීමට ඔබ ළැදි අතර කෙසේ වුවද ඔබ වඩාත් සතුටු වන්නේ සමූහයකට එකවර උදවු උපකාර කිරීමට ඇත්නම් පමණි. ඔබ වංචනිකයන් හට කිසිදා අනුකම්පා කරන්නේ නැහැ. ඉතා සකසුරුවම් ලෙස හරි හම්බ කරන මුදල් අවශ්‍යම විටෙකදී පමණක් පරිත්‍යාග කිරීම ඔබේ පුරුද්දයි.

සමීප ඥාතීන් හා වැඩිහිටියන් ඔබ වෙතින් වැඩි වශයෙන් ආදර සැලකිලි සලසා ගනු ඇත.

කොළඹ ඩී.එස් සේනානායක විද්‍යාලයේ නිර්මාතෘ හා ආරම්භක විදුහල්පති ආර්.අයි.ටී අලස් මහතා (1932) ද ඔබ මෙන් සොඳුරු උපන් දිනයක් සමරන්නට ඇති.

 

පාරවිද්‍යා පර්යේෂක

එස්.පී.එන් සේනානායක

 

විශේෂ ස්තූතිය -

අයිරිෂ් ජාතික කවුන්ට් ලුයිස් හැමන් සාමිවරයා

හා වෛද්‍ය බන්දුල සිරිවර්ධන

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.