සමාජයේ පිළිගැනීම ගෙන දෙන ලක්ෂණ

සැප්තැම්බර් 27, 2024

අප සැම කෙනකුම සමාජයේ පිළිගැනීම බලාපොරොත්තු වන බව රහසක් නොවේ. කිසියම් පුද්ගලයකු සමාජය හෙළා දකින්නේ නම් එවැන්නකු දැඩි ලෙස එයින් මානසිකව පවා දුර්වල මට්ටමකට ඇද වැටෙනු නියතය.

ඡ්‍යොතිෂමය වශයෙන් ගත් කල සමාජයේ පිළිගැනීම ඇති කරන ග්‍රහ සංයෝග රැසක් පවතින බව අපි දනිමු. ඉන් පංච මහා පුරුෂ යෝගවලට ලැබෙන්නේ මූලික ස්ථානයකි. එසේම ධර්මකර්මාධිපති යෝගය, ගුරු හංස යෝගය, වැනි තවත් යෝග රැසක් මෙන්ම සුබ ග්‍රහ සංයෝග කේන්දරයේ සුබ ස්ථානවල ප්‍රබලව සිටීමෙන් පිරිසක් අතර කැපී පෙනෙන චරිතයක් බවට පත්වීමේ ලක්ෂණ පුද්ගලයකුට පිහිටන බව ඡ්‍යොතිෂයේ පිළිගැනීමයි.

එහෙත් කේන්දරයක් මෙතෙක් තනා නැති හෝ කේන්දර පිළිබඳ අවබෝධයකින් තොරව නැතහොත් මෙවැනි විෂයයන් තමන්ට අදාළ නොවන බව සිතන අයකුට පවා සමාජයේ කැපී පෙනෙන, සමාජය පිළිගන්නා පුද්ගලයකු වීමට හැකියාව පවතින බව ඔබට නිකමට මෙන් සිතෙනවාද? එවිට ඡ්‍යොතිෂය පිළිබඳ දැඩි බැඳීමකින් සිටින්නෙකු නම් ඔබ තර්ක කරනු ඇත්තේ විෂයය පිළිගත්තත් නොගත්තත් ඒ ග්‍රහ පිහිටීම් ඇති නිසා අදාළ පුද්ගලයා සමාජයේ පිළිගත් චරිතයක් බවට පත් වී ඇති බවටයි.

එහෙත් ලොව බිහිවන සියලුම මිනිසුන්ට සහ ගැහැනුන්ට මේ සුබ ග්‍රහ පිහිටීම් එක ලෙස යෙදෙන්නේ නැති බව අපි දනිමු. එසේ වුවත් ඉතා ප්‍රසන්න ස්වභාවයෙන් සමාජය ඉදිරියට පැමිණ තමන්ගේ දක්ෂතා නිසා කැපී පෙනෙන පුද්ගලයන් අපි දැක ඇත්තෙමු. ඒ පිළිබඳ ගැඹුරු ඡ්‍යොතිෂ විග්‍රහයක යෙදීමට වඩා ඔවුන්ගේ ඒ ලක්ෂණ සමාජය ආකර්ෂණය කරගන්නට හේතු වන ආකාරය පිළිබඳ සැලකිලිමත් වීම මඟින් අපට ලබාගත හැකි පාඩම් අපමණය.

ඉන් පළමුවැන්න වන්නේ මොන තරම් ගැටලු සිත තුළ තිබුණත් ඔබ සතුටින් සිටීමට උත්සාහ කිරීමයි. ඔබට සතුටු වීමට නොහැකිම ප්‍රබලම කනගාටුවක් ඇති විට පවා බලෙන් හෝ සතුටු වීමට ඔබ උගත යුතුයි. එසේ බලෙන් මෙන් ටික කලක් සතුටු වන විට ඔබ නොදැනම සතුටු වීම ඔබේ පුරුද්දක් බවට පත් වනු ඇත. එවිට ඔබේ මුහුණින් ඒ සතුටු ස්වභාවය මුර්තිමත් වනු දැකිය හැකිය. එය ඔබට ගෙනෙන්නේ ප්‍රසන්න ස්වභාවයකි.

මෙසේ සතුටු වීමට ඔබ පුරුදු පුහුණු විය යුත්තේ විශාල දේවල් කිරීමෙන් පමණක් නොවේ. ඇතැම් විට සතුටු වීම සඳහා මහා විශාල දේවල් කිරීමට උත්සාහ කිරීමෙන් ඔබ යළිත් දුකටම පත් වීමට පවා ඉඩ ඇත. උදාහරණයකට ඔබ සතුටු වීමට නම් විදෙස් සංචාරයක යෙදිය යුතු යැයි තීරණය කළ හොත්, එයට අවශ්‍ය වියදම ඔබ සතුව නැත්නම් හෝ ඔබ සතු මුදල වෙනත් අත්‍යවශ්‍ය කරුණක් සඳහා යෙදවීම නිසා ඔබට සංචාරය මඟහැරුණේ නම් එයින් ලැබෙනු ඇත්තේ දුකකි. එහෙත් ඔබ අවට පරිසරයෙන් නොමිලේ ලැබෙන දේවලින් ඔබට සතුටු විය හැකි නම් ඔබ නිරන්තර සතුටින්ම සිටින අයකු වනු නියතය. උදෑසන හිරුපායන විට අහසේ ඇතිවන වර්ණවත් දසුන් නරඹා සතුටු වීමට ඔබට කිසිදු මුදලක් වැය වන්නේ නැත. එසේ සිතාගෙන අවදිවන දිනෙක වැසි අඳුරකින් අහස පිරී ඇත්නම් ඒ මේඝවලාවන් මවන අමුතුම රටා මෙන්ම විදුලි කෙටීම්වලින් මැවෙන රිදී රේඛා දැක සතුටු වීමට ඔබේ සිත නම්‍යශීලී කරගත හැකි නම් ඔබ සතුට ජයගත්තකු වනු නිසැකය.

හිරු පායන විට තණ බිස්සක පුංචි පුංචි මල් මත පිනි වැටී දිලිසෙන අපූරුව ඔබ විඳීනවා නම් ඔබට සතුටක් දැනෙනු ඇත. එසේ නැති දිනෙක ඒ තණ පියල්ලට වැසි බිඳු වැටෙන තාලය ඔබ රස විඳීනවා නම් එයින්ද ඔබ ලබන්නේ සතුටකි. වෙල් යායේ බණ්ඩි ගොයම සුළඟේ තාලයට මුහුදු රැල්ලක් සේ එන අපූරුව ඔබ දැක ඇති. එය සොබා දහමේ රිද්මය කෙතරම් මනරම්දැයි කියා සතුටු වීමට හේතුවක් කරගන්නට ඔබට පුළුවන් නම් එය සතුට ජය ගැනීමකි.

දන් දීමෙන් සතුටක් ලබන්නට සිතන ඔබ සියක් නමකට මහා දානමය පුණ්‍ය කර්මයක් කිරීමට සැලසුම් කරන්නේ නම් එය අගනේය. එහෙත් එයට ඔබට මේ මොහොතේ අවකාශ නැත්නම් ඔබේ බත් පතෙන් එක බත් මිටක් ගෙමිදුලේ දුව පැන නටන කුරුල්ලන්ට හා ලේනුන්ට දන් දෙන්න. උන් එයින් උද්දාමයට පත්ව කෑ ගසමින් බුදින හැටි දකින විට ඔබට ඇති වන්නේ අසීමිත සතුටක් බව දැනෙනු ඇත. එයින් ඉතිරි වන බත් ඇට ආදිය පුංචි කූඹි රංචු පිටින් තමන්ගේ ගුල් වෙත මහත් වෙහෙසක් දරමින් ඇදගෙන යන අයුරු දකින ඔබට මේ සත්ත්වයන් විශාල සංඛ්‍යාවකට දානයක් දුන්නේ මම නේද යන හැඟීමත් සමඟ විශාල සතුටක් දැනෙනු ඇත.

ඔබේ ඒ සතුටු මුහුණෙන් නැඟෙන අව්‍යාජ සිනාව ඔබට නොමිලේම අන් අය වෙත ද සතුට ලබා දිය හැකි ප්‍රබල අවියක් වනු ඇත. මඟ තොටේදී, කාර්යාලයේදී ඔබ ඒ ඔබ ලබාගත් පින්බර සතුට සමඟ නැඟෙන පිරිපුන් සිනාවෙන් ඔබ ඉදිරියට එන ඕනෑම පුද්ගලයකු සමඟ සිනාසෙන්න. යම් විටෙක එය ඒ පුද්ගලයාගේ සම්පූර්ණ දවසම හෝ ජීවිතයම වෙනස් කරන එකම හේතුව වන්නට ද පුළුවන.

ඔබ නියැළෙන වෘත්තියේ සතුටින් නියැළෙන්න. එයට එන බාධක ඔබට පන්නරයක් කරගන්නා ආකාරය සිතන්න. වැරදීම්වලට පසුබට නොවන්න. වරදින්නේත් හරියන්නේත් ඔබ වැඩ කරන නිසා බව අවබෝධයෙන් ඉන්න. බෙන්ජමින් ෆ්රෑන්ක්ලින් කිසි විටෙකත් තමන්ට වැරැදුණු බව පැවසුවේ නැත. ඔහු කීවේ තමන් අනූනව ක්‍රමයකට තම පරීක්ෂණයෙන් ප්‍රතිපල නොගත හැකි අයුරු ඉගෙන ගත් බව සහ එක් ක්‍රමයකින් එය කළ හැකි අයුරු ඉගෙනගත් බවය. මෙරට ජුජුබ්ස් කර්මාන්තය ආරම්භ වන්නේ ද එවැනි වැරදීමක් රසවත් වීමෙන් බව ඔබත් අසා ඇති. තමන් අතින් වැරැදීමක් නොවනවා යනු ඔබ යම් කටයුත්තක් කිරීමට වෙහෙසක් දරා නැතිවා වන්නට පුළුවන. වැරැදීම් සිදු වන්නේ උත්සාහ කරන්නා හට පමණක් වන බැවිනි. පාරක් වැරැදුණු විට ආපසු යද්දී හොඳීන් මතක සිටින්නේ ද එනිසාය.

ඔබෙන් බලාපොරොත්තු වන සේවයට වඩා යමක් ඔබට කළ හැකි නම් ඔබ කාර්යාලයේ හෝ නිවෙසේ හෝ මිතුරන් අතර හෝ වෙනස් චරිතයක් බවට පත්වනවාට සැක නැත. ඒ සියල්ලන් සැම විටම යම් වැඩක් ඔබට කීවා නම් හරියටම කරගත හැකි බව කලකදී පවසන්නට පෙලඹෙනු ඇත. එවැනි විශේෂිත පුද්ගලයකු වන විට ඔබ දක්ෂයකු බවට ඉබේම හංවඩු ගැසෙනු ඇත. එය සුබවාදී හංවඩුවකි.

එලෙස විශේෂිත වන ඔබට දැන් අවශ්‍ය වන්නේ අන් අයට වඩා වෙනස් චරිතයක් බව සමාජයට පිළිගැන්වීමටය. එය අප කවුරුත් යටි සිතෙන් පතන පැතුමයි. එහිදී ඔබ ඔබේ අධ්‍යාත්මික ගුණ වගාවට අවස්ථාව දිය යුතුය. මෑතක එළවළු ගැනීම සඳහා පොළට ගිය අවස්ථාවේ එක්තරා වයසක මවක් පැමිණ තක්කාලී ග්රෑම් සියයක් සහ උයන්නට අඹ ගෙඩි තුනක් කිරාගෙන අයකැමි වෙත ගියාය. ඒ සඳහා දිය යුතු මුදල ඇය සතුව නොතිබුණු නිසා ඇය අඹ ගෙඩි තුන ආපසු දී තක්කාලි පමණක් ගත්තාය. එතැන සිටි එක්තරා තරුණ කාන්තාවක් ඒ අඹ මල්ලේ මිල විමසා එය තමන්ගේ එළවලු මිලට එකතු කරන ලෙස පවසා පෙර කී වයසක මවට අඬගසා එය පරිත්‍යාග කළාය. මුලින් එය ප්‍රතික්ෂේප කරන්නට මෙන් ගියද පසුව පින් දී අඹ ගෙඩි තුන අතටගත් වයසක මවගේ මුහුණ සතුටින් ද දෑස කඳුළින්ද පිරී ගියේය. කඩයේ එළවළු ගනිමින් සිටි අනෙක් සියලු දෙනා මෙන්ම මුදල් අයකැමි ද ඒ පරිත්‍යාගය කළ තරුණ කාන්තාව දෙස විමතියෙන් මෙන් බලා පසුව සුහද සිනාවෙන් සංග්‍රහ කරන්නට වූහ. ඒ ඇය එම කඩයේ සිටි අනෙක් පාරිභෝගිකයන්ට වඩා වෙනස් දෙයක් කළ නිසාය. ඇය එතැන සුවිශේෂි චරිතයක් වූවාය. ඇයට ඒ වෙනුවෙන් වැය වූ මුදලින් තමන්ට තවත් එළවළු ග්රෑම් පන්සියයක් රැගෙන ගියා නම් ජීවිත කාලයටම මතක සිටින ඒ සුවිශේෂි බව සහ ආධ්‍යාත්මික සතුට ලැබිය හැකිද? නැත. මේ පින ඇයට ජීවිතාන්තය දක්වා මතක් වන වාරයක් පාසා සතුට ගෙනෙන ආධ්‍යාත්මික සුවයකි. එවැනි සුළු දේ මෙන්ම සමාජයට විශාල සේවාවන් කිරීමට ඇප කැප වීමෙන් ලැබෙන ආත්ම ශක්තියේ තීව්‍රතාව හා බැඳුණු සතුට ඔබ සමාජය තුළ සුවිශේෂී පුද්ගලයකු මෙන්ම අමුතු චරිතයක් බවට පත් කරනු ඇත. එය ඔබ ජීවිතට පුරා අත්විඳීන සතුටට හේතු සාධක සපයනු ඇත. එනිසා හැකි සැම විටම පොදුවේ එදිනෙදා කරන දෙයට වඩා විශේෂ වූවක් කරන්නට උත්සාහ ගන්න. එය ද සතුටින් කළ යුත්තක් බව මතක තබා ගන්න. එවිට සමාජයේ පිළිගැනීම ඔබ පසුපස හඹාගෙන එනු ඇත.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.