තම ඝාතකයා අල්ලා දුන් භූතාත්මය

ජුනි 21, 2024

එය 1977 වසරේ පෙබරවාරි මස 21 වෙනිදාය. එදින පෙරවරුවේ අමෙරිකාවේ ඉලිනොයිස් ප්‍රාන්තයේ චිකාගෝහි ගිනි නිවීමේ ඒකකයට ලැබුණු හදිසි දුරකථන ඇමතුමකින් කියවුණේ “ෆයින්ග්‍රෝ “මහල් නිවාස සංකීර්ණයේ ගින්නක් බවය. තොරතුරු සනාථ කරගත් ගිනි නිවීමේ ඒකකයේ භටයෝ වහා එතැනට පියඹා ගියහ. ගිනි ගෙන තිබුණේ නිවාස සංකීර්ණයේ එක් මහල් නිවාසයකි.

රැස්ව සිටි අසල්වැසියන් පැවසුවේ තමන්ගේ අවධානය මේ වෙත මුලින්ම යොමු වූයේ ඒ තුළින් නැඟුණු කටුක ගන්ධය හේතුවෙන් බවය. ගින්න නිවා දැමූ භට කණ්ඩායම තම අත්දැකීම් අනුව, එය මිනිස් සිරුරක් පිලිස්සීමේදී නැඟෙන ගන්ධයක් බව සැණෙකින් වටහා ගත්හ. ඒ අනුව සොයා බැලීමේ යෙදුණු ඔවුනට දැක ගත හැකි වූයේ මෙට්ටයකින් ඔතන ලද නිරුවත් කාන්තා මළ සිරුරකි. පපුවේ තුවාලයකින් ලේ ගලන සිරුර, රබර් මෙට්ටයකින් ඔතා ගිනි තබා තිබුණි.

ඒ අනුව පැමිණි පොලිසියට සිය මූලික පරීක්ෂණවලින් හෙළිකරගත හැකි වූයේ, ඇය මේ නිවෙසේ පදිංචිව සිටි ටෙරසීටා බාසා නමැති අවිවාහක කාන්තාවක් බවය. හෙදියක ලෙස රැකියාව කළ ඇය 48 හැවිරිදි පිලිපීන ජාතික කාන්තාවක් බවද පොලිසියට දැනගත හැකි විය.

මෙය දූෂණයට ලක් කිරීමෙන් පසු සිදු කරන ලද ඝාතනයක් විය හැකියයි පොලිස් නිලධාරීන් විසින් මුලින් සැක පහළ කරන ලද මුත්, පසුව කරන ලද පශ්චාත් මරණ පරීක්ෂණයෙන් හෙළි වූයේ එවැන්නක් සිදුවී නැති බවයි.

කාමරය සිසාරා පරීක්ෂාකර බැලූ පොලිස් නිලධාරීන්ට එක්තරා වැකියක් සහිත කඩදාසි කැබැල්ලක් හමුවූ අතර, එහි “ට්ඥබ බඩඥචබපඥ බඪජඬඥබඵ ටධප ඒඉ” යනුවෙන් සටහන් කර තිබිණි. ( ඒඉ වෙනුවෙන් සිනමා ටිකට් පත් අරගන්න) එසේ වුවද මේ කොළ කැබැල්ලේ සටහන් කර තිබූ ඒඉ යනු කවරෙක්ද යන්න සොයා ගැනීමට පොලිස් නිලධාරීහු අසමත් වූහ. ඔවුනට සොයා ගැනීමට හැකි වූයේ ඇය 1929 වසරේ පිලිපීනයේ උපත ලබා ඇති බවත්, කුඩා කල සිටම සංගීතයට මහත් ළැදියාවක් දැක්වූ බවත්ය. එමෙන්ම අන්‍යයන්ට පිහිටවීමේ බලවත් කැමැත්තක් සහිත චරිතයක් බවද ඔවුනට දැන ගන්නට ලැබී ඇත.

පිලිපීනයේ සුප්‍රකට මැනිලා විශ්වවිද්‍යාලයෙන් උපාධියක් ලැබූ ඇය 1964 වර්ෂයේදී අමෙරිකා එක්සත් ජනපදයට පැමිණ ඇත්තේ තමාගේ පි‍්‍රයතම විෂය වන සංගීතය පිළිබඳව තවදුරටත් හැදෑරීමට බවද පොලිස් විමර්ශකයින්ට දැන ගන්නට ලැබී තිබිණ.

එසේ වුවද එක්සත් ජනපදයේ සංගීතය හදාරද්දී ඇයගේ සිත හෙදි වෘත්තිය කෙරෙහි ඇදී ගොස් තිබිණි. හෙදියක් ලෙස පුහුණුව ලබා පත්වීම ලබා ගැනීමෙන් අනතුරුව බාසා වසර ගණනාවක් මුළුල්ලේ බලවත් සතුටකින් යුතුව එම වෘත්තියේ යෙදී සිට තිබේ.

මේ පරීක්ෂණවලදී පොලිස් නිලධාරීන්ට සොයාගත හැකි වූ තවත් කරුණක් වූයේ ඝාතනය සිදුවු දිනයේ සන්ධ්‍යා භාගයේ ඇය තමාගේ හොඳම යෙහෙළිය වූ රූත් සමඟ විනාඩි 30ක පමණ කාලයක් දුරකථන සංවාදයක යෙදී ඇති බවයි. එදින සවස බාසා තමන් සේවය කරන රෝහලෙන් නිවස බලා ඒමට පිටත්ව ඇත්තේ සවස 5.30ටය. බාසාගේ මිතුරිය වන රූත් පවසන පරිදි, බාසා සිය සංවාදය නතර කරනු ලැබුවේ ඒ මොහොතේ යම් පිරිමි පුද්ගලයකු නිවෙසට පැමිණි නිසා යයි විමර්ශන නිලධාරින්ට පවසා තිබේ. රූත් ඇගේ හොඳම මිතුරිය වුවත්, ඒ කවුරුන්දැයි යන්න කීමට ඇය දැන සිටියේ නැත.

මේ නිසා එතැන් සිට පරීක්ෂණ භාර නිලධාරීහු ඇය ඇසුරු කරන ලද පුරුෂ පක්ෂය කවුරුදැයි සොයමින් පරීක්ෂණ කටයුතු මෙහෙයවන්නට පටන් ගත්හ. අවිවාහක කඩවසම් කාන්තාවක වුවද බොහෝ දුරට සංයමයකින් යුතු ජීවිතයක් ගත කළ ටෙරසිටා බාසා පිරිමින් සමඟ දුරදිග ගිය සබඳතාවයන් පවත්වා ගත් තැනැත්තියක් නොවීය. අවසානයේ පොලිස් විමර්ශකයන්ට සිදු වූයේ අතට හමු වූ කඩාදාසි කැබැල්ල ගැන මෙන්ම, මේ ‘අදෘශ්‍යමාන පුරුෂයා” කවුදැයි සොයා ගැනීමේ බලාපොරොත්තුව අත්හැර දැමීමටය. ඒ අනුව ටෙරසීටා බාසා ඝාතනය පිළිබඳ පරීක්ෂණ රහස් පොලිසියට බාර කිරීම හැර වෙනත් විකල්පයක් ඔවුනට නොවීය.

සාමාන්‍යයෙන් මෙවැනි සංකීර්ණ පරීක්ෂණ විසඳීම සඳහා කීර්තියක් අත්පත් කරගෙන සිටි ජෝශප් ස්ටැචුලා නමැති පොලිස් නිලධාරියාගේ ප්‍රධානත්වයෙන් මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ ආරම්භ වූයේය. මහත් අවධානයකින් කටයුතු කළ නමුත් ඔහුට ද හාර මාසයයක් ගතවන තුර කිසිදු හෝඩුවාවක් සොයා ගත හැකි වූයේ නැත.

නමුත් මේ කියන වසරේ අගෝස්තු මාසයේදී තත්ත්වය වෙනස් විය. වෛද්‍යවරයකු යයි තමාව හඳුන්වා දුන් පුද්ගලයකු දුරකථන ඇමතුමකින් පවසා සිටියේ තමා සහ බිරිය රෙමී මියගිය බාසාව හොඳින් දැන සිටි අය බවත්, බාසාගේ ආත්මය තම බිරිඳට ඝාතකයා පිළිබඳ තොරතුරු ලබාදෙන බවත්ය.

රහස් පොලිස් නිලධාරියා මුලදී මේ තොරතුරු විශ්වාස කිරීමට අකමැති වුවත්, ඒ වෛද්‍යවරයා ගැන සොයා බැලීමේදී පෙනී ගියේ මෙහි මොනවා හෝ ගතයුත්තක් ඇති බවය. හැරත් එම යුවළද බාසා මෙන් පිලිපීන ජාතිකයන් වූහ.

ඔවුන්ව හමුවු රහස් පොලිස් නිලධාරී ජෝශප්ට දැන ගන්නට ලැබුණේ බාසාගේ ඝාතනයෙන් සතියක් ඉකුත්වන්නටත් පෙර ඇය සිහිනෙන් පෙනී සිට මේ ඝාතකයා ගැන තොරතුරු පවසන්නට වූ බවය. ඝාතකයා ගැන පමණක් නොව, ඝාතනය සිදු වූ ආකාරයද ඝාතකයා අල්ලා ගැනීමට අවශ්‍ය වන දුරකථන අංකද පවසා තිබුණි.

ඉතා පැහැදිලිව කතාන්දරයක් කියන්නාක් මෙන් මියගිය බාසාගේ ආත්මය රෙමීට පවසා තිබුණේ තම රෝහලේම සේවකයෙකු වන ඇලන් ෂොවෙල් නමැත්තා තම නිවසේ අක්‍රියව තිබූ රූපවාහිනිය අලුත්වැඩියා කිරීමට එදින සන්ධ්‍යාවේ පැමිණි බවය. ඒ කටයුත්තේ යෙදෙන අතරේම රූපවාහිනිය අසල වූ ස්ථානයක තිබූ වටිනා මුතු ඇල්ලූ රන් මුදුවක් මේ පුද්ගලයා විසින් සොරා ගන්නා ආකාරය ඇය දැක තිබේ. ඒ ගැන ප්‍රශ්න කිරීමේදී ඔවුන් දෙදෙනා අතර සන්ඩුවක් ඇතිවී එකිනෙකාට පහරදී ගන්නා තත්ත්වයකට පත්ව ඇත. එහි අවසාන ප්‍රතිඵලයක් වූයේ ඔහු අතින් ඇය පෙර කී ආකාරයෙන් මරු මුවට පත්වීමය.

විශ්වාස කිරීමට අසීරු කතාවක් වුවත් පොලිස් පරීක්ෂක ජෝශප් ඇලන් ෂොවෙල් නමැත්තාව අත්අඩංගුවට ගන්නා ලදී. ඔහුගේ කාමරයේ තිබී බාසා සතුව පැවැති මුදුවද සොයා ගන්නා ලදී.

අවසානයේදී ඔහු පාපොච්චාරණ කරමින් තමා විසින් ඇයව ඝාතනය කළ බව පිළිගත්තේය. පුදුම සහගත කරුණ නම් එය සිදුවී තිබුණේ මියගිය බාසාගේ ආත්මය පැවසු ආකාරයෙන්ම වීමය.

මිනීමැරුමට වරදකරුවූ ඇලන් ෂොවෙල්ට බරපතළ වැඩ සහිත වසර 14ක සිර දඬුවමක් නියම විය.ස්ස ප්‍රේමසිරි

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
12 + 8 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.