සුබසෙත සමඟ ගෙවුණු අඩසිය වසක්

මැයි 31, 2024

 

1969 මැයි මස 28දා සුබ මොහොතින් නිකුත්වු සුබසෙතට වසර 55 පිරීම සුබසෙත පාඨකයින්ට මෙන්ම මටද ඇතිවන්නේ මහත් සතුටකි. වසර 48 පුරා ලිපි ලේඛන සපයමින් සුබසෙතට මාද දැක්වූයේ මහත් කැපවීමකි. එදා සුබසෙත ඡ්‍යොතිෂ ආයුර්වේද පුවත්පත ආරම්භ කළ කතුවරුන්ගේ යහපත් සිතිවිලි හා පිරිසුදු චේතනාවන් නිසා වසර 55 ඉතිහාසයට එක් වීමට ලැබීමත් විශාල ජයග්‍රහණයකි. විජේසිරි විද්‍යාරත්න, සිවපාල බණ්ඩාර, දයාරත්න රණසිංහ, ජයතිලක අඹුවන්ගල, කැප්ටන් චන්ද්‍රශී කුලරත්න, ගීතා ජයසූරිය, නිලූකා ඒකනායක, ආචාර්ය පියසේන රතුවිතාන, චම්පිකා අඹුවන්ගල, අජිත් ධර්මසිරි යන කතුතුමන්ලා තුමියලා සුබසෙත පුවත්පතේ දියුණුවට අතහිත දුන් ප්‍රබල කතුවරුන්ය.

ආයුර්වේද හා දේශීය වෛද්‍යවරුන් ඡ්‍යොතිෂඥයින් මෙන්ම පාරම්පරික වෛද්‍යවරුන් වෙද නාහිමිවරුන් ගුප්ත ශාස්ත්‍රඥයින් යන්ත්‍රමන්ත්‍රාචාර්යවරුන් ආචාර්ය මහාචාර්යවරුන් විශ්‍රාමික ගුරුභවතුන් වගේම විශ්‍රාමික උසස් තරාතිරමේ නිලදරුවන් සුබසෙත ඡ්‍යොතිෂ ආයුර්වේද පුවත්පතට ලිපි විශේෂාංග ලිපි හා තොරතුරුවලින් සහාය දැක්වූවෝ වූහ. මේ අතර සුබසෙත කතුවරුන් විශ්‍රාම යෑමෙන් නව කර්තෘවරුන් පවත්ව ඇත. ඔවුන් සමාජයට ගැළපෙන අයුරින් සුබසෙත ඉදිරියට ගෙන ආහ. පසුකාලීනව අජිත් ධර්මසිරි මහතා විශ්‍රාම යෑමෙන් පසු නව කර්තෘධුරයට පත්ව ආවේ අරුණි මුතුමලී මහත්මියයි.

එතුමිය සුබසෙත පාඨකයින්ගේ ඕනෑ එපාකම් මැනවින් තේරුම් ගෙන දේශීය වෛද්‍යවරුන් ආයුර්වේද වෛද්‍යවරුන් ඡ්‍යොතිෂ ශාස්ත්‍රඥයින් ගුප්ත හා යන්ත්‍ර මන්ත්‍ර ශාස්ත්‍රඥයින්, හස්ත රේඛා හා අනෙකුත් සුබසෙත ලේඛකයින්ගේ දස්කම් විස්කම් හා හැකියාවන්ට අනුව සුබසෙත මෙතෙක් ආ ගමන්මඟ යම් තරමකින් වෙනස් කොට නව ස්වරූපයකින් නිකුත් කිරීමට පියවර ගනු ලැබුවාය. මේ නිසා සුබසෙතට නව පෙනුමක් නව පි‍්‍රයමනාප ගතියක් ඇති විය. නවක ලේඛක ලේඛිකාවන්ගේ ලිපිවලට ඉඩක් ලැබිණ. වෙනදා සුබසෙතට ලිපි නොලියූ අය ලිපි එවීමට වඩවඩාත් උන්නදු විය. සුබසෙතද නවකයන්ගේ ජනපි‍්‍රය පුවත්පතක් වීමට කල්ගත නොවීය.

මේ නිසාම සුබසෙත පාඨකයන් වීමට උනන්දු වූයේ එහි පළවන සාරවත් ලිපි හා උපදේශයන් නිසාය. ඇය සුබසෙත ලේඛක ලේඛිකාවන්ට උපදෙස් දෙනු ලැබුවේ දරුවකුට බත්කැවීම, අකුරු කියවීම, කොණ්ඩය කැපීම ආදි ලිපි එවන්නේ නම් ඒ සඳහා යෙදෙන දින සුබ නැකත් හා ඉටුකෙරෙන විදි ඇතුළත්ව සවිස්තරව ලියන ලෙසයි. ආයුර්වේද ලිපියක් නම් රෝගවීමට හේතුවූ කරුණු කළ යුතු වත් පිළිවෙත් හා වෛද්‍යවරයා වෙත යන තෙක් ඉටු කළ යුතු කරුණු ආදි ඒ අයුරින් සෑම ලිපියක්ම අදාළ කරුණට අනුව විස්තර කළ යුතු ලෙසයි. මේ අයුරින් පත්‍රය වෙනස්වීම නිසා සුබසෙත ලබා ගැනීමට වෙනදාට වඩා ජනතාව උනන්දු විය. මේ අයුරින් සුබසෙතට නව පෙනුමක් නව අලංකාරයක් ලබාදීමට කටයුතු යෙදී ඇත.

මේ නව වැඩපිළිවෙළ අගය කළ ලේඛකයින්ද සුබසෙත ඡ්‍යොතිෂායුර්වේද පුවත්පතට ලිපි එවීමට දක්වන්නේ පුදුම උනන්දුවකි. එමෙන්ම ලේඛක ලේඛිකාවන් හා සුබසෙත කතු මඬුල්ල මනා සම්බන්ධතාවයක් පවත්වා ගෙන යෑමට පියවර ගැනීමත් සුබසෙතේ දියුණුවට මහත් රුකුලක් වී ඇත. කෙසේ වෙතත් සුබසෙතට අඳුරුවලාවක් පැවැති කාලයක් ද විය. ඒ කඩදාසිවල හිඟකමින් ඊ පේපර් ලෙස සුබසෙත එළිදැක්වීමටයි. ඒ අඳුරුවලාවන් පා කර හරිමින් සුබසෙත තිබුණු ආකාරය වෙනස් කරමින් පි‍්‍රයමනාප ලෙස දුටුවන් මන බඳන ලෙසින් මුද්‍රණය කරවීමට පියවර ගැනීම නිසා සුබසෙත ආලෝකයෙන් ආලෝකයට පත්වෙමින් පාඨක දනන් අතට පත් වේ. පණස් පස් වසරකට ළඟාවූ සුබසෙත සියක් වසර ඉක්මවා වැජඹේවායි ප්‍රාර්ථනා කරමි.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.