55 වැනි වියට පා තබන සුබසෙතට ජය

මැයි 31, 2024

එදා සිරිලක් ගිහි පැවිදි දෝ සතර දත් මහා වියතුන් රාශියක් ‘පත්තර මහගෙදරට’ පැමිණ මහා සාකච්ඡාවකින් පසුව අප කියවන සත වෙත සිරිසෙත සලසන සතිපත වූ සුබසෙත 1969.05.28 වෙනි දින කලඑළි දැක්වූහ.

මේ සාකච්ඡාවට පැමිණි සියල්ලම පාහේ අද ජීවතුන් අතර නොමැත. එහෙත් ඒ අයගේ කැපවීම සහ සාකච්ඡාවේ ප්‍රතිඵලය අද දකින්නේ වත්මන් පරපුරය. මහා ගත්කරු පුවත්පත් කලාවේදී කාව්‍ය, බෞද්ධ දර්ශනවේදී ඡ්‍යොතිර්ශාස්ත්‍රවේදි තුන් කල් දත් මහා වියතකු වූ පියසේන නිශ්ශංක ශූරීන් ය. එතුමාගේ නාමකරණයෙන් සුබසෙත නම එළි දැක්විය. දැන් දැන් පනස්පස්වෙනි ජන්ම දිනයට පත්ව ඇත. එයට සෑහෙන කාලයක් මෙන්ම ඉතිහාසයක්ද ඇත.

‘සුබසෙත’ ආරම්භයේ තිබුණේ ඡ්‍යොතිෂය පමණි. ටික කලකදි ආයුර්වේදයද එක් කරන ලදී. දැන් සුබසෙත ඡ්‍යොතිෂායූර්වේද සති පුවත්පතකි. පියසේන නිශ්ශංක පළමු කතුවරයාය. එදා පැවති කාලය අනුව සුළු මුදලකට අලෙවිකරණ ලදී. එහෙත් එහි ඇති ඇතුළත තොරතුරු හා දැනුම සුළුපටු නොවිය. එදා ජනතාවට මේ පුවත්පත රස ගුලාවකි. දැනුම් සම්භාරයකි. පහසුතාවය මත මිලදී ගත්තේය. දැනුම බෙදා ගත්තේය. ඊළඟට ඡ්‍යොතිර්වේදි ශාස්ත්‍රවේදී විජේසිරි විද්‍යාරත්න මහතා කතුධුරය දැරීය. ළමා වියෙහි පසුවූ සුබසෙතට එතුමාද රසැදි විශේෂාංග එකතු කරමින් හදා වඩා ගත්තේය.

ඉන්පසු සුබසෙත කතු පදවියට පත්වූයේ ශිවපාල බණ්ඩාර මහතාය. ශිවපාල මහතාද විවිධ විශේෂාංග එක්කරමින් සුබසෙත නවමඟකට පෙරළීය. ඉන්පසුව මා මාතකයට එන්නේ දයාරත්න රණසිංහ මහතාය. ඒ මහතාද සුබසෙත දියුණුවට හරිප්‍රිය ගුණසේකර මහතා සමඟ මහත් විරියකින් කටයුතු කළේය. පසුව ජයතිලක අඹුවන්ගල මහතා එක්විය. ඒ මහතා පුවත්පතෙහි කටයුතු කරමින් පළමු ඡ්‍යොතිර්වේදී හමුවක් කෑගල්ලේ දී ආරම්භ කරන ලදී. ඒ මහතා දිවයිනේ පළාත් කීපයක ඡ්‍යොතිර්වේදී සංගම් ආරම්භ කරමින් “ශාන්තිකර්ම හා දේව පූජා සම්මන්ත්‍රණ” කටයුතු පැවැත්වීමට කටයුතු කළේය.

ඉන් අනතුරුව කැප්ටන් චන්ද්‍ර ශ්‍රී කුලරත්න මහතා සුබසෙතට එක්විය. ඒ මහතාද පුවත්පතේ දියුණුව වෙනුවෙන් ඉමහත් පරිශ්‍රමයකින් කටයුතු කළ කර්තෘවරයෙකි. ඉන් අනතුරුව ගීතා ජයසූරිය මහත්මියගේ සේවා කාලය අතරතුරදී ඡ්‍යොතිෂ වැඩමුළු පවත්වමින් පුවත්පතෙහි ඉදිරි දියුණුව වෙනුවෙන් ඉමහත් පරිශ්‍රමයක් දරමින් කටයුතු කළාය. පසුව නිලූකා ඒකනායක මහත්මිය උපදේශක කර්තෘ ධුරයට එක්විය. එක් එක් විශේෂාංග එක්කරමින් සුබසෙත ගමින් ගමට ගෙන ගියේය. දිවයින පුරා ඡ්‍යොතිෂ සංගම් ආරම්භකර ඡ්‍යොතිර්වේදින් ලේක්හවුස් සම්මන්ත්‍රණ සභා කාර්යාලයට කැඳවා දිස්ත්‍රික් සංවිධායකවරු පත්කර පළමු සුබසෙත වැඩමුළුව අනුරාධපුරයෙන් ආරම්භ කළාය. නොමිලයේ කේන්දර බැලීම්, හස්තරේඛා, වාස්තුවිද්‍යාව, ආයුර්වේදය, ශාන්තිකර්ම ආදිය කාලීනව හඳුන්වා දුන්නාය. දිවයිනේ සැඟවී සිටි පාරම්පරික හා දැනුමැතියන් එළියට ඇද දැම්මාය. මහජනතාවටද ඡ්‍යොතිෂයේ අගය දැනුණි. එමඟින් ජීවිතයේ එදිනෙදා කටයුතුවලට බොහෝ පිරිස් ඡ්‍යොතිෂ උපයෝගි කර ගත්හ. නිලූකා මහත්මිය සමඟ එක්වෙමින් සුබසෙත වැඩමුළු ගණනාවක් කළ අතර දිවයින පුරාද දෙමසකට වරක් වැඩමුළු සංවිධානය කරමින් සුබසෙතෙහි වැඩ කටයුතු සාරවත් කරන ලදී. බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති වැඩමුළුවලට මහ ජන ගඟක් සහභාගි වූයේ පොර බඳිමිනි. මේ වැඩසටහන් තුළින් සුබසෙතට මහත් ප්‍රබෝදයක් උදාවිය. ඉන්පසුව පියසේන රතුවිතාන සූරින් පත්ව සුබසෙත නවමඟකට හරවමින් දිවයින පුරා විසිරී සිටින ඡ්‍යොතිෂවේදීන් සමඟ වැඩමුළු පවත්වා අරලියගහ මන්දිරයට රැස්කර රාජ්‍ය සම්මානයන් ප්‍රදානය කළේය. ඒ අතරම සුබසෙත පංචාංග ලිතක්ද ආරම්භ කළේය. එයට මමද සංස්කාරවරයකු වශයෙන් කටයුතු කළ අතර විවිධ හේතුන් මත නතර විය. පියසේන රතුවිතාන මහතා දිවයින පුරා විසිරී සිටින නවක ඡ්‍යොතිෂවේදීන්ට අත්වැලක් වෙමින් ඡ්‍යොතිෂ විභාග පවත්වා නවක ඡ්‍යොතිෂවේදීන් බිහිකරන ලදී. පසුව චම්පිකා අඹුවන්ගල මහත්මිය පත්වීමෙන් පසුව පෙර පරිදිම එම කටයුතු මඟ නොහරිමින් සුබසෙත ඉදිරියට පවත්වාගෙන පැමිණියාය. නගරයෙන් නගරයට සුබසෙත වැඩමුළු රැගෙන ගිය අතර පාඨක පිරිස වැඩිකර ගැනීමට යුහුසුළුව වෙහෙසෙමින් කටයුතු කළාය.

එමෙන්ම මේ කාලය අතරතුරදී පත්වූ අජිත් ධර්මසිරි මහතාද සුබසෙත පුවත්පතේ ඉදිරි දියුණුවට විශාල මෙහෙවරක් කළ කතුවරයෙකි. ඔහු ද දිවයිනේ විවිධ ප්‍රදේශවල වැඩමුළු පැවැත්වූ අතර සුබසෙත අවුරුදු 50ක් පිරුණු දිනයේදී පදනම් ආයතනයේදී ඡ්‍යොතිෂවේදීන්හට සම්මාන සහතික ප්‍රදානය කරන ලදී.

මෙතෙක් සුබසෙත පුවත්පතට සේවය කළ ඡ්‍යොතිෂවේදීන්ගේ කුසලතා සුදුසුකම් පරික්ෂාකර බලා ඔවුන් ඇගයීම වෙනුවෙන් මේ ආකාරයෙන් විවිධ විශේෂාංග කැටුව සුබසෙත කතුවරුන් පවත්වාගෙන යාමට හැකිවූ අතර දිවයින පුරා පවත්වන වැඩමුළු තුළින් සුබසෙත බැබලීමට අදත් හේතු වේ. මෙම වැඩමුළු පැවැත්වීමට මමද මහත් කැපවීමකින් කටයුතු කළ අතර ඉදිරියේදීත් වැඩමුළු කීපයක් පැවැත්වීමට අදහසින් කටයුතු කරමි. මා දන්නා පමණින් සුබසෙත තොරතුරු මෙසේ වන අතර මෙයට ඇතුළත් කිරීමට ඇති තොරතුරු ද බොහෝය. දැන් සුබසෙත මැදිවයසය. තවත් දැනුම දීමට සවිය ඇත. පනස් පස් වෙනි සුබසෙත සැමරුම ඉතා උත්කර්ෂවත්ව කරගෙන යාමටත් සුබසෙත දිගුකල් පවත්වාගෙන යාමටත් නව කතුවරිය ඇතුළු කර්තෘ මණ්ඩල සාමාජිකයන්ට හැකිවේවායි මගේ පැතුමයි.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.