අනාවැකි කියන සිහින

මැයි 24, 2024

සිහින පලාපල පැවසීම හෙවත් ස්වප්න විද්‍යාව බොහෝ ඈත පුරාණයේ සිට පැවත එන මනෝ විද්‍යාවකි. මව්කුසින් බිහිවූ මොහොතේ සිට ජීවිත කාලය පුරාම නා නා ප්‍රකාර සිහින පෙනෙන අතර සිහින නොදුටු අයකු මේ මිහිපිට ඇතැයි සිතිය නොහැකිය. කුඩාම කුඩා බිළිඳු දරුවන් පවා සිහිනයෙන් අඬනවා, සිනාසෙනවා දකින මුත් එවන් දරුවන් දකින සිහින මොනවාද කියා අසා දැනගන්නට නොහැකි නිසා වැඩිහිටියෝ දරුවන් දෙවියන් සමඟ එසේ අඬන සිනාසෙන බව කියති.

බෝසත් කල මෙන්ම බුදු වූ පසු බුද්ධචරිතාපදානය හා බැඳුණු සිහින පලාපල කථනයන් අනුව බෝසතුන් උපත සිදුවන කාලයේ සිහින පලාපල නිවැරදිව ප්‍රකාශ කරන වේද වේදාන්ත හැදෑරූ සුප්‍රකට බමුණු පඬිවරුන් ගැන තොරතුරු සඳහන්ව ඇත. ඔවුන් එකල සිටි රාජරාජ මහාමාත්‍යාදීන්ට පෙනෙනා සිහින පලාපලවල පල විපාක පැහැදිලි කර දී ඇත.

ඇසළ මස පුන් පොහෝදා සුදොවුන් මහරදාණන්ට දාව මහාමායා දේවියගේ කුස තුළඋත්‍රසල නැකතින් බෝසත්හු පිළිසිඳ ගත්හ. සුදුඇත් පැටවකු උතුරු දෙසින් අවුත් රිදී දමක් වැනි සොඬින් සුදුපියුමක් ගෙන දේවිය සැතපෙන යහන වටා තුන්වරක් පැදකුණූ කොට ඇයගේ දකුණු ඇලයෙන් කුසට පිවිසියාක් මෙන් දුටු සිහිනය රජතුමාට පවසා ඇත.

සුදොවුන් රජතුමා ත්‍රිවේදයෙහි කෙළපැමිණි බමුණන් ගෙන්වා සිහිනයේ පලාපල විචාළේය. බමුණන් සිහිනයේ තතු විමසා පරීක්ෂා කර බලා පවසා ඇත්තේ දේවයන් වහන්ස පී‍්‍රතිවුණ මැනවි. ඔබතුමාගේ දේවියගේ කුසෙහි දරුවෙකු පිළිසිඳ ගෙන ඇත. එම දරුවා ගිහියෙක්ව සිටීනම් සක්විති රජෙක් වන්නේය. ගිහිගෙයින් නික්ම පැවිදි වුවහොත් ලොව්තුරා බුදු වන්නේ ය යනුවෙනි. එය අසා සතුටට පත් රජතුමා දරුවකු පිළිසිඳගත් මවකට දියයුතු සියලුම ඇප උපස්ථාන සැප පහසුකම් සපයා ගැබ්පෙරහරවල් යාගහෝම ආදී සෙත් ශාන්ති කර්ම සිදු කරමින් දස එකඩ මස ඇවෑමෙන් දෙව්දහනුවර සිය මවුපියන් වෙත යනු පිණිස රාජ්‍ය ආරක්ෂාව ඈතිව මහ පෙරහරකින් ගමනාරම්භ කළ දේවිය කිඹුල්වත් පුරයටත් දෙව්දහ නගරයටත් අතරවූ ලුම්බිණී සල් උයනේද ආශ්චර්යමත් වූ අසමසමවූ දරුවෙකු ප්‍රසූත කළාය. එසේ උපන් පින්බර බෝසත් කුමාරයාණන් උතුරු දිසාවට සත් පියවරක් තබන විට එම පියවරක් පියවරක් පාසා නෙලුම් මල් 07ක් පොළොවෙන් පැන නැඟී කුමරුගේ පාද යටින් පිපුණ බව පැවසේ. සත් වන පියවර මත සිට

අග්ගො හමස්මි ලොකස්ස
ජෙට්ඨො හමස්මි ලොකස්ස
සෙට්ඨො හමස්මි ලොකස්ස

අයමන්ති මා ජාති නත්ථිදානි පුනබ්භවො යනුවෙන් මම ලොවට අග්‍රවෙමි, මම ලොවට ජ්‍යෙෂ්ඨ වෙමි, මම ලොවට ශ්‍රේෂ්ඨ වෙමි. මාගේ මේ අන්තිම ජාතියයි, නැවත ඉපදීමක් නැත යනුවෙන් මධුර වූද නිර්භීත ස්වරයෙන් සිංහනාද කළහ. මහාමායා දේවිය ඇසළ මසේ පුන්පොහෝදා දුටු සිහිනය වෙසක් පුන් පොහෝදා සැබෑ විය. එම සිහිනය තවත් අවුරුදු 35ක් ගෙවී ගොස් ලැබු වෙසක් පොහොය දා සියලුම ක්ලේශ මාරයන් 10 දෙනෙකු පලවා හැර ලොව්තුරා බුද්ධත්වයට පත්ව සිහින පලාපල කියූ පරිදිම සැබෑවක් කරවූහ.

සාරාසංක්‍යෙ කල්ප ලක්ෂයක් පෙරුම් දම් පුරා බුදුබව පතාගෙන ආ බෝධිසත්වයන් වහන්සේට බුදුවීමට පෙරදා රාත්‍රියේ දුටු සිහින 05ක් තුළින් උන්වහන්සේගේ යටි සිත තුළ කල්පාන්තර ගණනාවක සිට පැවැති උතුම් ශ්‍රේෂ්ඨ අරමුණ සඵල වන බැව් එළිදරව් කරවනු ලැබීය. මෙසේ අසම සමවූ ප්‍රඥාවෙන් යුක්ත වූවාවු බෝධිසත්වයාණන් වහන්සේට ද සිහින පෙනී එම සිහින සුබ සිහින ලෙස මල්ඵල දැරුවේ නම් සාමාන්‍ය ස්ත්‍රී පුරුෂයන්ට පෙනෙන සිහිනවලද කුමන හෝ සුබ අසුබ අරුතක් පවතින අතර ඒවා ඔවුන් කරන්නා වූ කුසල අකුසල සිතිවිලි පදනම් කරගෙන පෙනෙන්නාවූ සිහින වනු ඇත.

1. බෝසත්වයන් වහන්සේ දුටු

පළමුවැනි සිහිනය

සිදුහත් බෝධිසත්වයන් වහන්සේට මුළුමහත් මහ පොළොවම එකම යහනාවක් වී සුදෝසුදුවන් හිමාල පර්වතය එහි කොට්ටය විය. එම යහනෙහි උඩුකුරුව සයනය කළ උන්වහන්සේගේ දකුණු අත අවරගිර මහ සයුර මතද වම් අත පෙරදිග මහ සයුර මතද දෙපා දකුණු දිසාවේ මහ සයුර මතද තිබෙනු දුටුවේය.

එහි අර්ථය වූයේ ලෝකය තුළ පවත්නාවූ පරම සත්‍ය වූ චතුරාර්ය සත්‍ය ධර්මය උන්වහන්සේ විසින් තත්ත්වාකාරයෙන්ම අවබෝධ කරගන්නා බවය.

 

2. දෙවැනි සිහිනය

බෝසතාණන් වහන්සේගේ නාභියෙන් රන් පැහැති ඊතන ගසක් පැන නැඟී එය අහස්කුස පුරා විහිදී පැතිරී යනු දැකීමයි.

මෙහි අර්ථය වන්නේ තමන් වහන්සේ විසින් අවබෝධ කරගන්නාවූ පරම සත්‍යය ලෝකවාසීන්ට පැහැදිලි කරදී අවබෝධ කරවීමට සමත් වන්නේය යන්නයි.

3. තුන්වැනි සිහිනය

කළුපාට හිස් ඇති සුදුපාට පණුවෝ තම දෙපා මතින් පැන නැගී දෙදණ දක්වා වසාගෙන පැතිරී සිටීමය. එහි අර්ථය වනුයේ ගිහි උපාසක උපාසිකාවන් බොහෝ දෙනෙකු උන්වහන්සේ ධර්මය ශ්‍රවණය කොට ශ්‍රාවකයන් බවට පත්වී ඒ අනුව ජීවන රටාව හැඩ ගසාගෙන බුදුන් වහන්සේගේ අනුගාමිකයන් වන බවය.

4. සිව්වැනි සිහිනය

විවිධ පැහැති ලිහිණියෝ සතර දෙනෙක් සතර දිසාවෙන් පියඹාගෙන ඇවිත් බෝධිසත්වයන්ගේ දෙපාමුල වැටී ඔවුන් සියලු දෙනාම සුදෝසුදුවන් පාට ලිහිණියන් බවට පෙරළෙන බවයි.

මෙහි අර්ථය වනුයේ එකල භාරතයේ පැවැති බ්‍රාහ්මණ ක්ෂති‍්‍රය, වෛශ්‍ය, ශුද්‍ර යන සිව් කුලයටම අයත් වූවෝ උන්වහන්සේගේ ශ්‍රාවකයන් බවට පත්වී උස් පහත් ජාති කුලභේදාදී වූ විවිධ භේදයන් අත්හැර සසර දුකින් මිදී පැවිදි භික්ෂු භික්ෂුණීන් බවට පත්වන බවය.

5 පස්වැනි සිහිනය

විශාල අසූචි පර්වතයක් මතට නැඟී එම අසූචිවල නොගෑවී සක්මන් කරනු දැකීමයි.

මෙහි අර්ථය වනුයේ උන්වහන්සේ ලාභ සත්කාර පුද පූජාවලට ගිජුනොවන කරුණාව, මෛත්‍රිය, දයාව පෙරටුකොට ගෙන රාජ රාජ මහාමාත්‍යවරුන්ට මෙන්ම දුගී මගී කුලවත් කුලහීන සැම දෙනාටමත් දෙවියන්, බඹුන් කෙරෙහිත් එක සේ ක්‍රියාකරන බවය.

මෙසේ මහාමායා දේවිය දුටු සිහිනයත් බුදුවීමට පෙරදා රාත්‍රියේ බෝසතුන් දුටු සිහිනත් කොසොල් මහරජතුමා දුටු සිහින 16යේ තේරුමත් බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ පරිදිම අද වන විට සත්‍ය වී ඇත.

මනෝවිද්‍යාවට අනුව යටිසිතේ පවතින කුසල අකුසල චේතනා නින්දේදී සිහින වශයෙන් සිතෙන් මැවී පෙනෙයි රාග, ද්වේෂ, මෝහ යන අකුසල චේතනා නිසා අසුබ සිහිනයෝද අලෝභ, අදෝෂ, අමෝහ යන කුසල චේතනා ඉස්මතු වීමෙන් සුබ සිහිනද වා, පිත් සෙම් යන තුන්දොස් කුපිත වීමෙන් රෝග පීඩා පෙන්වන සිහිනද යක්ෂ, පේ‍්‍රත ආදි අමනුෂ්‍ය බලපෑම් මත බියකරු මෙන්ම මානසික පීඩා ඇතිවන සිහින පෙනෙන බවත් පැවසේ.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.