ඒරාෂ්ටකයේදී කිහිප වරක්ම රාජ්‍ය නායකත්වයෙන් පිදුම් ලද ඩඩ්ලි සේනානායක

මැයි 24, 2024

 

මෙරට කිහිප වරක්ම රාජ්‍ය නායකත්වයෙන් පිදුම් ලද ඩඩ්ලි සේනානායක මහතාගේ ප්‍රසිද්ධියට පත්ව ඇති උත්පත්ති කේන්දර සටහනට අනුව ලග්නය “කන්‍යා” වන අතර චන්ද්‍රයා හය වැනි භාවය තුළ තැන්පත්ව ඇත. මෙහි විශේෂත්වය වන්නේ 1952 වසරෙහි මාර්තු 26 වැනිදා, ඩඩ්ලි සේනානායක මහතා ප්‍රථම වරට මෙරට රාජ්‍ය නායකත්වයෙන් පිදුම් ලබන විට ශනි ග්‍රහයා කන්‍යා රාශිය මතින් ගමන් කරමින් සිට තිබීමයි.

ඒ අනුව පෙනී යන්නේ ඩඩ්ලි සේනානායක මහතා ජීවිතයේ ප්‍රථම වරට රාජ්‍ය නායකත්වයෙන් පිදුම් ලබන විට ඒ මහතාගේ උත්පත්ති කේන්ද්‍ර සටහනේ ලග්නභාවය මතින් ශනි ග්‍රහයා ගමන් කර ඇති බවය. එනම් ඒ මහතා ප්‍රථම වරට රාජ්‍ය නායකත්වයෙන් පිදුම් ලබන විට ඒ මහතාට ලග්න ඒරාෂ්ටකයේ උච්චතම අවස්ථාව ගත වී ඇති බව පෙනේ.

ඩඩ්ලි සේනානායක මහතා 1960 වසරෙහි මාර්තු 21 වැනිදා මෙරට රාජ්‍ය නායකත්වයෙන් දෙවැනි වරට පිදුම් ලැබූ පසු එම ධුරයේ කටයුතු කළ හැකි වූයේ මාස හතරක කාලසීමාවක් පමණි. සේනානායක මහතා මෙරට වැඩිම කාලසීමාවක් රාජ්‍ය නායකත්වයේ කටයුතු කර ඇත්තේ 1965 වසරෙහි මාර්තු 25 වනදා තුන්වැනි වරටත් මෙරට රාජ්‍ය නායකත්වයෙන් පිදුම් ලැබූ පසුවය. ඒ වන විට ශනි ග්‍රහයා කුම්භ රාශිය තුළ චලිතව ඇති බව ඡ්‍යොතිෂ්‍ය පිළිබඳව තරමක දැනුමක් ඇති අයෙකුට වුවද ඉතා පහසුවෙන් වටහාගත හැකි වනු ඇත. ඒ අනුව, ඒ මහතා තුන් වැනි වරටත් රාජ්‍ය නායකත්වයෙන් පිදුම් ලබන විට, ඒ මහතාගේ ප්‍රසිද්ධියට පත්ව ඇති කන්‍යා ලග්න දරන උත්පත්ති කේන්දර සටහනේ චන්ද්‍රයා මතින් ශනි ගමන් කර ඇති බව පෙනේ. මින් පෙනී යන්නේ ඩඩ්ලි සේනානායක මහතා මෙරට රාජ්‍ය නායකත්වයෙන් තුන් වන වරට පිදුම් ලබන විට ඒ මහතාට ජන්ම ඒරාෂ්ටකයේ උච්චතම අවස්ථාව ගත වෙමින් තිබී ඇති බවය. මීට පෙර ලිපිවලින්ද පෙන්වා දුන් පරිදි, සහ මෙම ලිපියට අනුව ඉතාම බලගතු ඒරාෂ්ටක කාලවකවානුවලදී පවා මෙරට රාජ්‍ය නායකත්වයෙන් පිදුම් ලැබීමට පවා භාග්‍යය උදා වන බව පෙනේ. රටක රාජ්‍ය නායකත්වය යනු යම් පුද්ගලයෙකුට ලෞකික වශයෙන් ලබා ගත හැකි ඉතා ඉහළම ජයග්‍රහණයකි. මෙයින් අදහස් වන්නේ කෙනෙකුට ලෞකික වශයෙන් ඉහළම ජයග්‍රහණයක් ලබන්නට පවා ඒරාෂ්ටක කාලවකවානු කිසිදු බාධාවක් නොවන බව සහ ඒරාෂ්ටක කාලවකවානු සමහර විට ඒ සඳහා ආශීර්වාදයක් විය හැකි බවත්ය.

මගේ මවට තදබල ඒරාෂ්ටක කාලවකවානුවලදි මුහුණ දීමට සිදු වූ තවත් සුබදායක අත්දැකීම් කිහිපයක් පිළිබඳව සාකච්ඡා කිරීමට මීළඟට බලාපොරොත්තු වෙමි. මගේ මවගේ වෘශ්චික ලග්නය දරන කේන්ද්‍ර සටහනේ මීට කලින් ලිපියකින්ද සඳහන් කළ පරිදි චන්ද්‍රයා 9 වැනි භාවය තුළ තැන්පත්ව ඇත. ඒ අනුව මගේ මවට 1975 ජූලි 23 වනදාත්, 1977 සැප්තැම්බර් 7 වන දාත් අතර කාලසීමාව තුළ ජන්ම ඒරාෂ්ටකයේ උච්චතම අවස්ථාව ගත වී ඇත. මාගේ වැඩිමහල් සහෝදරයාගේ උපත සිදුවී ඇත්තේ 1975 වසරෙහි දෙසැම්බර් 17 වනදා නිසා ඔහුගේ උපත සිදු වී ඇත්තේ මව තදබලම ජන්ම ඒරාෂ්ටකයක් ගත කරද්දී බව පෙනේ. කිසියම් පවුලකට තම කුළුඳුල් දරුවා ඉපදීම ජීවිතයේ ඉතා විශේෂිත සිදුවීමක් බව අමුතුවෙන් පැවසිය යුතු නැත.

වෘශ්චික ලග්නය දරන මගේ සමීපතම ඥාතිවරයකුට තදබල ඒරාෂ්ටක කාලවකවානුවලදී මුහුණ දීමට සිදු වූ අත්දැකීම් කිහිපයක් පිළිබඳව සාකච්ඡා කිරීමට මීළඟට බලාපොරොත්තු වෙමි. ඇයගේ කේන්දර සටහනේද චන්ද්‍රයා 9 වන භාවය තුළ තැන්පත්ව ඇත. ඒ අනුව ඇයට 2003 වසරෙහි අපේ‍්‍රල් 11 වනදාත් , 2004 වසරෙහි සැප්තැම්බර් 12 වනදාත් අතර කාලසීමාව තුළ අෂ්ටම ඒරාෂ්ටකයක් ගත වී ඇති බව පෙනේ. ඒ අනුව, 2004 වසරෙහි ජූලි 20 වනදා ඇයගේ ජීවිතයෙහි පෙරළිකාර වෙනසක් සිදු කරමින් ඇයට කීර්තිමත් පෞද්ගලික ආයතනයක වරලත් ගණකාධිකාරිවරියක ලෙස රැකියාව ලැබී ඇත්තේ ඇය මේ ප්‍රබල අෂ්ටම ඒරාෂ්ටකය ගත කරද්දී බව පෙනේ. එම රැකියාව තුළින් ඇයට විශාල ලෙස වරප්‍රසාද ලැබී තිබූ අතර එම රැකියා ස්ථානයෙහි ශාඛා ගණනාවක් විදෙස් රටවලද ඇත. එම තනතුර ලැබී දශකයකටත් අධික කාලයක් ඇය එම ආයතනය තුළම සේවය කළ අතර ඇයට පසුව ආයතනයේ මූල්‍ය කළමනාකාර තනතුරද ලැබුණි. තවද ඇයගේ ජීවිතයේ අතිසුවිශේෂී සිදුවීමක් වන විවාහ සහකරු මුණ ගැසීම සිදුවී ඇත්තේද එම ආයතනයෙහි සේවය කරද්දීය.

මීට අමතර ලෙස 2006 වසරෙහි දෙසැම්බර් 31 වැනිදාත්, 2007 වසරෙහි ජූලි 17 වැනිදාත් අතර කාලසීමාව තුළ ඇයට ජන්ම ඒරාෂ්ටකයේ උච්චතම අවස්ථාව ගත විය. මෙහි විශේෂත්වය වන්නේ ඔවුන් දැනට ජීවත් වන නිවෙස පිහිටි ඉඩම මිලදී ගෙන ඇත්තේ 2007 වසරෙහි අපේ‍්‍රල් මාසයේදීය. එනම් ඒ වන විට ඇයට ජන්ම ඒරාෂ්ටකයේ උච්චතම අවස්ථාව ගත වී ඇත. මීට අමතර ලෙස 2007 වසරෙහි දෙසැම්බර් මාසයේදි ඇයගේ විවාහය සිදුවී ඇති අතර විවාහයට අදාළ පසුබිම සැකසෙද්දී ජන්ම ඒරාෂ්ටකයේ උච්චතම අවස්ථාවද, විවාහය සිදුවද්දී ජන්ම ඒරාෂ්ටකයේ අවසාන අදියර ගත කර ඇත. තදබල ඒරාෂ්ටක කාලසීමාව තුළ මුළු ජීවිත කාලයටම බලපාන සිදුවීම් සිදු වන බව මෙම උදාහරණයෙන්ද පැහැදිලි වෙයි.

තවත් ප්‍රසිද්ධ පුද්ගලයෙකු ඒරාෂ්ටක කාලවකවානුවලදී මුහුණ දුන් අත්දැකීම් පිළිබඳව සාකච්ඡා කිරීමට මීළඟ ලිපියෙන්ද බලාපොරොත්තු වෙමි.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
17 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.