පේ‍්‍රමකීර්ති ද අල්විස්ගේ සහ ජැක්සන් ඇන්තනිගේ ඉරණම් කලින්ම කියූ හූනු සාස්තරය

මැයි 17, 2024

 

වියළි කාලගුණික තත්ත්වය තව තවත් තීව්‍ර කරමින් කොණ්ඩදෙණිය, යාබද යාපහුව, මහව ප්‍රදේශයට ඉඩෝරය කර්කෂව දැනෙන්නට විය. සිඳී ගිය වැව්තාවුල්ල නියඟයේ උග්‍ර බවට සාක්ෂි සපයන්නට විය. මිනිසුන්ට පමණක් නොව සතා සිවුපාවන්ටත් පානීය ජලය හිඟ වී යාමත් ප්‍රදේශයේ ළිං හිඳී යන්නටත් පටන් ගත්තේය.

ප්‍රදේශවාසීහු කොණ්ඩදෙණියේ සීලරතන හිමියනුත් යාපහුව රජමහා විහාරයේ නායක හිමියනුත් හමුවට පැමිණ කුමන ක්‍රමයකින් හෝ වැසි ලබා දීමට සලස්වන ලෙසට යදින්නට පටන් ගත්හ. හිමිවරු දෙදෙන කතිකා කොට ඉඩෝරය පලවා හැර වර්ෂාව අපේක්ෂාවෙන් “මහ පිරිත් දෙසුමක්” පවත්වන ලදි.

වැස්ස වලාහක දෙවියන් මේ කන්නලව්ව කන වැකීමත් සමඟ ගිනිගත් මහ පොළව සිසිල් කරමින් මහවැසි වස්සන්නට විය. පිලිස්සුණු ගහකොළ යළි පණ ගැහෙමින් හරිත වර්ණයෙන් බැබළෙන්නට විය.

හිමිදිරි පාන්දර මහවැසි මැද්දෛ් කොණ්ඩදෙණිය පාසලට කොළොම්තොටේ සිට ආගන්තුක තරුණයකු පැමිණියේය. ඒ අන් කවරෙකුවත් නොව හිනහෙන විට, කතා කරන විට, සිය මුවෙහි දෙපැත්තේ නළ දත් දෙකක් සෝබමානව පිහිටි පේ‍්‍රමකීර්ති අල්විස් නම් මාධ්‍යවේදියාය.

“අවසරයි අපේ නායක හාමුදුරුවනේ”,

ඔන්න අපි වරුසාවත් අරගෙනම දෙවෙනි සැරේටත් ඔබවහන්සේ මුණගැහෙන්න ආවනේ.”

“මේ අපේ මාධ්‍යවේදී මහත්තයා නොවැ....වැහි අන්ධකාරේ මට එකපාරට හඳුන ගන්නත් බැරිවුණා.” “ඩිංගිරි බණ්ඩෝ.............

මේ මහත්තයලට මූණ කට හෝදගන්න අර අලුතෙන් හදාපු නාන කාමරේට එක්කගෙන යන්න. මේ ඇත්තන්ට උදේට සප්පායම් වෙන්ඩ කුරහං තලප එක්ක හොඳ වෑංජනයක් හනික හදල ගත්ත නං............

ඊට පස්සෙ විහාර මන්දිරයයි. බෝධියටයි ගිහින් වන්දනා මාන කරලම එන්න කියන්න.”

හිමි අණ වහා පිළිපැදිණි.

අමුත්තන් තේ පානයෙන් පසුව දේව මන්දිරයේදී හිමියන් මුණගැසුණි.

“අපේ නායක හාමුදුරුවනේ,

ළඟකදි ඉඳල ආයෙත් මම මහ කරදරේක පැටලිලයි ඉන්නේ. මේ දවස්වල අපේ ලොක්කා මාත් එක්ක උරණ වෙලයි ඉන්නේ. “මොකක් කළත් මගේ වැරදිමයි හොයන්නේ. පස්සෙන්ම පන්නනවා රස්සාවත් මට එපාවෙලයි තියෙන්නෙ. අසරණ වෙච්ච මට, මේ සැරේත් පිහිට වෙන්න හාමුදුරුවනේ.”

“හොඳයි, මේ සැරේ එනකොට මහත්තයාගේ කේන්දරය ගෙනාවද?”

“ඔව්. මේ තියෙන්නෙ හාමුදුරුවනේ.”

ධනු ලග්නයේ කන්‍යා නවාංශකයේ පිහිටි කේන්දරය හොඳින් පිරික්සුම් කර බැලූ උන්වහන්සේ මොහු ඉතා බලගතු විචක්ෂණශීලි අයකු බව වැටහෙන්නට විය. ඡ්‍යොතිෂය මෙන්ම දේහලක්ෂණ විද්‍යාව ප්‍රගුණ කළ උන්වහන්සේ පේ‍්‍රමකීර්තියන්ගේ දකුණු කකුලේ පිහිටි ලංකාවේ සිතියමක් සේ ඇති උපන් ලපය දිහා මොහොතක් බලා සිට “මහත්තයා කවදහරි ලංකාවේ කීර්තිමත් සුප්‍රසිද්ධ කෙනෙකු වෙනවා. හැබැයි මතක තියාගන්න වටේටම හතුරෝ ඉන්නවා. ඒ නිසාම ජීවිත අවදානමකුත් තියෙනවා.”

“මේ සැරේ රත්රන් සුරයකුත් අරන් ආව හාමුදුරුවනේ.”

“හොඳයි ඒක දෙන්නකෝ”

දේව මන්දිරය තුළට මේ මාධ්‍යවේදී මහතා කැටුව ගිය හිමියන් එම දේව මන්දිරය තුළදීම බලගතු මන්ත්‍රයක් හෝරා කිහිපයක්ම ජීවම් කරන්නට විය. ඉන් අනතුරුව දිව්‍ය නැකතින් එය ගෙල පැලඳවීමට නියමිතය. නැකත එළඹෙත්ම හූනෙක් කෑගසන්නට විය. එය බාධාවක් ලෙස සැලකූ හිමියන් නැවතත් දෙවැනි වරටද දිව්‍ය නැකත් වේලාවක් බලා එම රන් සුරය ඔහුගේ ගෙලෙහි පලඳින්නට යත්ම නැවතත් හූනෙක් කෑගසන්නට විය. එවරද බාධා වී යයි කියූ හිමියන් තවත් නොබෝ වේලාවකින් එදිනට ඇති ඉතා බලගතු නැකත් වේලාවක් එන තුරු සිට එය නියමිත වේලාවට පලඳ වන්නට සැරසුණි. ඒ සමඟ නැවතත් හූනෙක් කෑගැසීය. ආයි නැකතක් ඇත්තේ හෙට දින බව හිමියන් පවසත්ම,

“අපේ හාමුදුරුවනේ කමක් නැහැ ඕක මට පලන්දවන්න. මට හැන්දෑකොරේ වෙනකොට රේල්ලුවෙන් කොළඹට යන්න තියෙනවා.”

ඔහුගේ බලවත් පෙරැත්තය මත අසුබ පෙරනිමිත්ත තිබියදී අප හිමියන්ට රන් සුරය එවර පලඳවන්නට සිදුවිය. බලවත් කර්ම ශක්තීන්ට පිටුපෑමට නොහැකි නිසාදෝ එතුමා මාධ්‍ය ක්ෂේත්‍රයේ දිදුළන තරුවක් වුවද පසුකාලීනව ඝාතකයකුගේ වෙඩි පහරින් දැයෙන් සඳහටම සමුගන්නට සිදු විය.

කොණ්ඩදෙණිය වත්මන් විහාරාධිපති ශාස්ත්‍රපති කඩම්බාවේ අනුරුද්ධ නායක හිමියන් ජැක්සන් ඇන්තනී නම් මහා කලාකරුවා සමඟ කොළඹ විශ්වවිද්‍යාලයේ එකම ශාස්ත්‍ර පීඨයේ අධ්‍යාපනයේ වූහ. එවකට මෝටර් රථවාහන කොමසාරිස් ජනරාල් මෙන්ම අමාත්‍යාංශ ලේකම්වරයකු වූ ජගත් චන්ද්‍රසිරි මහතාද, හිටපු රජයේ රේගු අධ්‍යක්ෂවරයකු වූ එල්. දොඩම්පේගම මහතාද, හිටපු අධ්‍යාපන අධ්‍යක්ෂවරයකු වූ අබේරත්න බණ්ඩාර මහතාද මමද ජැක්සන් ඇන්තනී කලාකරුවාගේ විශ්වවිද්‍යාල සමකාලීනයන් වීමු.

හදිසියේ ජැක්සන් ඇන්තනී සොයුරාට සිදුවූ අනතුර නිසා එකල ඔහු කොළඹ මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ නේවාසිකව අසාධ්‍ය තත්ත්වයෙන් පසුව ප්‍රතිකාර ලබන්නට විය. ජැක්සන් ඇන්තනීගේ හොඳම කුළුපග සමීපතම මිතුරා වූයේ ජගත් මහතාය.

ජැක්සන් ඇන්තනී සොයුරාට සිදුවූ හදිසි අනතුරෙන් ජීවිතය බේරා ගැනීමටත් ඉක්මනින් සුවපත් කර ගැනීමේ අරමුණින් අපි සැම ජගත් චන්ද්‍රසිරි මහතාගේ මෝටර් රථයෙන් වහාම කොණ්ඩදෙණිය පන්සලට ගියෙමු. එහි වත්මන් විහාරාධිපති අනුරුද්ධ හිමියන් සමඟ අනුරාධපුරයේ ශ්‍රී මහා බෝධියට සහ රුවන්වැලි සෑයට ගොස් ඉතා බලගතු මන්ත්‍රයක් ජීවම් කොට පිරිත් නූල් තුන කොළඹ දැඩිසත්කාර ඒකකයේ අසාධ්‍යව සිටින ජැක්සන් ඇන්තනී මහතාගේ ගෙලෙහි පැලඳීමටත්, එක් පිරිත් නූලක් අතෙහි බැඳීමටත්, තවත් පිරිත් නූලක් සයනයේ කොට්ටය යට රුවා තැබීමටත් තීරණය විය.

කොණ්ඩදෙණියට ගිය අපි හැන්දෑකොරේම අනුරුද්ධ හිමියන් සමඟ අනුරාධපුරයට ගොස් ශ්‍රී මහා බෝධීන් වහන්සේට සියලු පුද පූජා පවත්වා බෝධි පූජාව පවත්වා, අවසන් වන විට රාත්‍රි 10 කණිසමද පසුවී තිබුණේ අප සැමටත් නොදැනුවත්ව ම ය. එම පූජාව සඳහා ජැක්සන් සොයුරාගේ දූ පුතුන් සහ සොයුරන්ද හිත මිත්‍රාදීහු ද සහභාගි වූහ.

පසුව රාත්‍රී 10.00 වන විට රුවන්මැලි සෑය ගේට්ටු සියල්ල වසා තැබීම සිදුකර තිබිණි. එහෙත් රාත්‍රී 10.30 ද පසු වුවත් “කොණ්ඩදෙණියේ පොඩි හාමුදුරුවෝ” නමින් විරුදාවලිය ලද අප අනුරුද්ධ හිමියන් ඇතුළු අපි සැමට මෙතෙක් වැසී තිබුණු මහ ගේට්ටු විවෘත කර පූජා නියමයන් රිසි සේ කර ගැනීමට එහි සිටි ආරක්ෂක අංශ ඉඩ ප්‍රස්තා ලබා දුන්නේය.

සියලු පූජා විධි අවසන් කොට එළැඹි දිව්‍ය නැකතින් අනුරුද්ධ හිමියන් විසින් ජගත් චන්ද්‍රසිරිට ඒ බලගතු ජීවම් කළ පිරිත් නූල් භාරදීමට යෑමේදී රුවන්වැලි මහා සෑයේ සිටි හූනකු කෑ ගසන්නට විය. සිය කිරිඅප්පාගෙන් ඉගෙන ගෙන තිබූ මන්ත්‍ර ශාස්ත්‍රය අනුව එය මහත් බාධාවක් ලෙස සලකා තවත් විනාඩි 20කින් එළඹෙන දිව්‍ය නැකැත් වේලාව තෝරාගත් උන්වහන්සේ එම වේලාවට පිරිත් නූල් භාර දීමට සූදානම් වූහ. ඒ නැකැත් අවස්ථාවේදී ද හූනකු කෑගැසීය. දෙවැනි වරද බාධා විය. හිමියන් පැවසුයේ තව අඩ හෝරාවකින් අද දවසේ අවසන් දිව්‍ය නැකැත උදාවන බවය. ඉතින් අපි සෑම රුවන්වැලි සෑයේ එම බලගතු පිරිත් නූල් තුන භාරදෙන තුරු තවත් පැය භාගයක් බලා සිටියෙමු. නියමිත අවසන් දිව්‍ය නැකත එළඹුණා පමණි. කොහෙදෝ සිට පැමිණි හූනකු නැවත කෑගැසීය.

අපට කළ යුතු වෙන දෙයක් නොමැති වූයෙන් එම බාධකය ගණන් නොගෙනම අනුරුද්ධ හිමියන්ගෙන් පිරිත් නූල් තුන ඉල්ලා ගතිමු.

ජගත් චන්ද්‍රසිරි මහතා ඒවා රැගෙන වාහනය බලා පිටත් විය. එවිට අනුරුද්ධ හිමියන් අප තිදෙනාට කීවේ, ජැක්සන් මහත්මාට මේ මන්ත්‍රයේ බලයෙන් සෑහෙන දින ගණනක් පණ අල්ලාගෙන සටීමට හැකි වුවත්, තුන්වැනි වරටත් සිදුවූ බාධකයෙන් ඇඟවෙන්නේ ජීවත් කිරීමට අපහසු බව මෙන්ම නැවත යථා තත්ත්වයට ගන්න ලේසි පහසු නොවන බවයි.

මේ මහා සුවිශේෂ කලාකරුවන්ගේ ඉරණම් ගමනේ පෙරනිමිති ඡ්‍යොතිෂයේ සඳහන් වන හූනු ශාස්ත්‍රයෙන් උන්වහන්සේලා කලින්ම දුටු බව හැඟුණි. එබැවින් වසර දහස් ගණනකට පෙර මහා ඍෂිවරු දුටු ශාස්ත්‍ර විධි කිසිවක් බැහැර කළ නොහැකි බව මා හට පසක් වුණි.

 

හිටපු දුම්රිය සාමාන්‍යාධිකාරි (මෙහෙයුම්)

ඡ්‍යොතිෂ අවිශ්කාර්

ඡ්‍යොතිෂ ශිරෝමණී

ආචාර්ය විජය සමරසිංහ

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 12 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.