යක්ෂයාගේ ඉඩම් බෙදිල්ල

මාර්තු 1, 2024

 

කිසිසේත්ම ජනප්‍රිය පුද්ගලයකු නොවූ මහයායේ ගොවිරාළ ප්‍රසිද්ධියට පත්ව සිටියේ ඉඩකඩම් පිළිබඳව අසීමිත තෘෂ්ණාව ඇති පුද්ගලයෙකු ලෙසය.

“යහමින් ඉඩ කඩම් ටිකක් තිබුණ නම් මමත් මිනිහෙක් තමයි..” මේ ඔහු නිතර නිතර කියූ දෙයකි. නමුත් මේ පවුලේ උදවියට හොඳට කා බී හැඳ පැළඳ ජීවත් වන්නට ආදායමක් ලැබෙන තරමේ ඉඩ කඩම් ප්‍රමාණයක් දැනටමත් ඔහු සතුව පවතී. එහෙත් වතුපිටිවල ආදායම වශයෙන් ලැබෙන සෑම සතයක්ම එකතු කරනු ලැබුවේ තවතවත් ඉඩ කඩම් මිලදී ගනු පිණිසය. ඔහුගේ බලාපොරොත්තුව වූයේ එකවර ලොකුම ලොකු වතු යායක හිමිකරුවා වීමටය. මේ හේතුකොටගෙන කරනු ලැබූ අසීමිත අරපිරිමැස්ම නිසා ඔහුගේ බිරිඳත් දරුවාත් ගෙවනු ලැබුවේ ඉතා නීරස දිවි පෙවෙතකි. කටට රසයක් ලැබෙන ආහාර වේලක් ගත් දිනයක් හෝ හිතට සතුටක් ලැබෙන ගමනක් බිමනක් ගිය බවක් හෝ අලුත් ඇඳුමක් මිලට ගත් බවක් හෝ සිය දරුවාට තබා බිරියටද මතක නැත. මේ නිසා ශෝකයටත්, කෝපයටත් පත්වන ඇය “ඔය තරම් ඉඩම් මොකටද? කන්ඩදැ?”යි අසමින් සැමියාගේ ඇඟට කඩා පනියි. “..ඒක කන බොන එකට වඩා හුඟක් ලොකු දෙයක් ගෑණියෙ. වැඩිපුර ඉඩම් කියන්නෙ වැඩිපුර සතුට. උඹ දැන ගනින් මට මීට වඩා යහමින් ඉඩ කඩම් තියෙනවනම් ....ඔව් ලොකු වතු යායක අයිතිකාරයෙක් වුණොත් ..මම එහෙනම් යකාටවත් බය නෑ.....ඒක හොඳට මතක තියා ගනින්...” මෙම කතාවට එක් අයෙකු කන් දී සිටියේය. ඒ යක්ෂයාය.

“ඉඩ කඩම් යහමින් තිබේ නම් යක්ෂයාටවත් බය නැතැ”යි ගොවිරාළ කී කතාවට තනිවම සිනා පහළ කළ යක්ෂයා මෙසේ තීරණය කළේය. “හොඳයි පුතෝ මම උඹට ඇති තරම් ඉඩම් දෙන්නම්..අන්තිමේදී අපි බලා ගනිමු බයද නැද්ද කියල” එතැන් සිට ගොවිරාළගේ සියලු කටයුතු සිදු වූයේ බොහෝ දුරට ඔහුට වාසි අත්වන පරිද්දෙනි. පළමුවෙන්ම එම ගමෙහි පිහිටි ඉඩම් හිමි වැන්දඹුවක් සිය විශාල ඉඩම කොටස් කර විකුණන්නට පටන් ගත්තාය. ඔහු තමා ඉතිරි කර ගත් මුදල්වලින් එහි සාරවත් ඉඩම් කොටසක් මිලට ගත්තේය.

එහෙත් ඔහුට ඊර්ෂ්‍යා කළ පුද්ගලයෝ ඒවායේ වූ වටිනා ගස් කපා ගැනීමටද, වත්තට පැන හරකුන්ට තණ කැවීම, අස්වනු විනාශ කිරීම ආදිය නිසාද ඔහුට නඩු හබවලට පැටලෙන්නටද සිදුවිය. ආණ්ඩුව විසින් ඈත පළාතක අක්කර පණහ බැගින් එක් අයෙකුට ලබා දී මිනිසුන් පදිංචි කරවීමේ ව්‍යාපෘතියක් ගැන ඔහුට අසන්නට ලැබුණේ මේ අතරය. අදාල නිළධාරීන් හමුවූ මොහු මොන උප්පරවැට්ටියක් යොදා හෝ සිය පවුලේ තිදෙනා වෙනුවෙන් අක්කර එකසිය පණහක් ලබා ගැනීමට සමත් වූයේය. මේ අතර සූදුවට ගොස් සියල්ල විනාශ කර ගත් නාස්තිකාර පුද්ගලයකුගේ අක්කර දහසක් පමණ වූ ඉඩමක්ද ඉතා ලාබදායි ලෙස ඒ පළාතෙන්ම මිලදී ගැනීමට හෙතෙම සමත් වූයේය.

ඉක්බිති මහයායේ ගොවිරාල මහයායකට හිමිකම් කියන ඉඩම් හිමියෙක් බවට පත්විය. සේවයට අතවැසියෙක් පත් කර ගත් අතර ගමන් බිමන් යාමට අශ්ව කරත්තයක්ද විය. බිරිය හා දරුවාද සතුටට පත්ව සිටියහ. එහෙත් ඒ සතුට පැවතුණේ එක්තරා ආගන්තුකයකු පැමිණ සිය කුඩා අශ්ව කරත්තය ගොවිරාළගේ මිදුලේ නවත්වන තුරු පමණි.

රාත්‍රියට නවාතැන් බලාපොරොත්තුවෙන් ඉන් පැමිණ සිටියේ බොහෝ දුර බැහැරක සිට පැමිණියා වූද, තවත් දුර යා යුතුවූද ගොවි මහතෙකි. ඔහුට නවාතැන් දුන් ගොවිරාළට, දෙදෙනා කෑමට පෙර වොඩ්කා බඳුනක් හිස් කරන අතරේ ආගන්තුකයාගෙන් අසන්නට ලැබුණේ අමුතු ආරංචියකි.

එය නම් බොහෝ ඈත ප්‍රාන්තයක එක්තරා ගෝත්‍රිකයින් පිරිසක් මිලදී ගන්නාට ඉතාම ලාබදායි ක්‍රමයකට විශාල ඉඩම් කොටස් විකුණන බවය. මේ තමා පැමිණෙන්නේද ඉතා ලාබයට විශාල ඉඩමක් මිලදී ගැනීමෙන් පසුව යයි හෙතෙම පැවසීය.

ඔහුට අසන්නට ලැබුණ පරිදි මෙම අපූර්ව ඉඩම් ගණුදෙනුව කොතෙක් ලාබදැයි කියනවා නම් ඕනෑම ඉඩමක මිල රුපියල් ලක්ෂයකි.

එම ගණුදෙණුව මෙසේය. මිලදී ගන්නා ඉර උදාවට පෙර පැමිණ සිය මුදල් පසුම්බිය ගෝත්‍රික නායකයා ඉදිරියේ තැබිය යුතුය. හිරු උදාවත් සමඟ ඉඩම් අවශ්‍ය තැනැත්තා එතැනින් ගමන් අරඹා තමන්ට හැකි පමණ දුර වටයක් ගොස් හිරු බසින්නට පෙර එතැනට ආ යුතුය. ඔහුගේ වට ප්‍රමාණයට අයත් ඉඩම් කොටස කොතෙක් විශාල වුවද එය ඔහුට හිමිවෙයි. නමුත් හිරු බසින්නට පෙර පැමිණිය නොහැකි වුවහොත් ඉඩම් පමණක් නොව මුදල් පසුම්බියද ඔහුට අහිමිය.

සිය ආගන්තුකයාගෙන් අසා දැන ගත් දුර්ඝ මාර්ගය ඔස්සේ සිය අතවැස්සාද ගමන් කළ ගොවිරාළ නිසි තැනට පැමිණයේය. එහිදී ඔහුට දක්නට ලැබුණේ කමින්, බොමින්, නටමින්, ගයමින් කරත්තවල හා කූඩාරම්වල දිවි ගෙවන ප්‍රජාවකි. නායකයා හමු වූ ඔහු පසුදා හිරු උදාවත් සමඟ මුදල් තැන්පත් කර අදාල ක්‍රමවේදයට අනුව ඇවිදින්නට පටන් ගත්තේය මධ්‍යාහනය වන විට සැතපුම් 50 ක පමණ දුරක් පැමිණ සිටි ඔහු මේ වන විටත් තමාට අයත්ව තිබූ ඉඩම් ප්‍රමාණය දැක මවිතයට පත්විය. මල්ලෙහි වූ පාන් කැබලි කීපය යන ගමන්ම කා දැමූවේ ඒ කාලයද ඇවිද යාමට වැය කරමිනි.

නමුත් ඇතිවූ ගමන් විඩාව හේතුකොටගෙන ඉර බසින්නට පෙරාතුව යා හැකිදැයි පළමුවරට බියක් ඇතිවිය. ..දැන් ආපසු යනවා.. යි ඔහු හිත හදා ගත්තේය. ඒ සමඟම හිතද සන්සුන් විය. එහෙත් ඒ සන්සුන් කම පැවතියේ තම මඟෙහි දකුණු පසින් වූ පොකුණක් සහිත දෙණිපෙත දකින තුරු පමණි. ඉක්බිති දෙණිකඩද වට කරමින් ඇවිද ගිය ඔහුට ඊළඟට පෙනී ගියේ තමාට හිරු සමඟ තරගයක් ඇති බවය. හිරු පහළට ගමන් කරමින් තිබිණි. තරගය ඇරඹිණි. තමා යා යුතු කෙළවර හිතුවාට වඩා දුර බව පෙණිනි. ඔහු දුවන්නට පටන් ගත්තේ පාවහන්ද ගලවා විසි කරමිනි. ඉක්බිති කමිසයද ගලවා දැම්මේය. මතක ඇති කලෙක පල්ලියකට, පන්සලකට නොගියද දෙවියන් බුදුන්ගෙන් තමාව ඉර බසින්නට පෙර පටන් ගත් තැනට ළඟා කරවන ලෙස ඉල්ලා සිටියේය.

අවසානයේ සිහි විකල වූ මිනිසකු ලෙසින් නිරුවතින්ම පැමිණි හේ එතැනට ළඟාවන විටත් හිරු බැස ගොසිනි. එ සමඟම මහයායේ ගොවිරාළ බිම ඇද වැටුණේ සිය අවසන් හුස්ම පොදද නිකුත්

කරමිනි. ඔහු විසින් තැන්පත් කරන ලද ලක්ෂයේ මුදල් පසුම්බිය අතට ගත් ගම් නායකයා ගොවිරාළගේ අතවැස්සාට සවලක් දෙමින් මෙසේ පැවසීය. ..

“අපි ගාණෙ ඔහෙලට අඩි හයක් දෙන්නම්. මේ තමයි උන්නැහේට අයිති බිම් කොටහ”

(ලියෝ ටෝල්ස්ටෝයිගේ කතාවක් ඇසුරිනි) ප්‍රේමසිරි

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 12 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.