බලි තොවිල් යනු සංස්කෘතික මිනිසාගේ ආරම්භයයි

පෙබරවාරි 16, 2024

“මහත්තයෝ...ඔයාකාරයෙන් අපහාස කරන එක හොඳ මදි නේද?”

හඬ උස්ය. තර්ජනයක් නැතත්, අසතුටක් ඇත.

“මට තේරෙන්නේ නෑ කියන්නේ මොකක් ගැන ද කියලා”

“මිනිස්සුන්ට භූතයෝ කියන එක”

“භූතයෝ, කියන්නේ කාටද?”

“අන්න මහත්තයාට තේරුණා. ඒකනේ මම කියන්න ආවේ භූතයෝ කියන්නේ භූතයන්ට මිසක් මිනිසුන්ට නොවෙයිනේ”

ඔහු කතා කරන්නේ “මුහුණු පොතේ විදිහටය. එක් අයකු “හොඳයි” කීවොත් ඒක ස්වල්පයක් හොඳයි කීවත්, ඒක නරකයි.” කීවොත් එය ඉදිරියට රැගෙන යන්නේ පෙළපාළියක් මෙනි. ඒ ගැන දැනුවත්ව නොවේ. ඔයත් ඒ අයගේ එකෙකි.

“ඔබතුමා භූතයා කියන්නේ කාටද?”

“භූතයන්ට නෙවැ මහත්තයෝ” ඔහුගේ හඬ මඳක් බාල වී ඇත. ස්වරය ඇදෙන සුලුය.

“ඒ ලිපියේ මාතෘකාව විතරක් කියවල එහෙම හිතුවට ඔබතුමාට තරහ ගියාම කරන්න තිබුණේ ඒක දිගටම කියන ඒකනේ. මහත්තයෝ “භූත” කියන්නේ හටගන්නවා කියලා. එතකොට භූතයා කීවේ හටගත්තු තැනැත්තා කියලා. ඉතින් අපිත් හටගත්තු අය නේද?

“ආ ඒක ද ඒ කීවේ.”

“අර අමු සිංදුවක් කියල බෝර්ඩ් එකක් එල්ල ගත්තු පිටකවරෙන් පොත මනින්ඩ එපා” වගේ තමයි. ඔහු සෙමින් සෙමින් පියමං කර ඉවතට ඇදී ගියේය.

භූතයෝ කීවම මිනිස්සු බයයි. ඒත් තමනුත් ඒ ජාතියේම කීවම නිහඬයි. එයින් පෙනී යන්නේ මේ දෙපිරිසම දෙපිරිසට බිය බවයි. ඒ අනුව වඩාත් බියට පත්වූ කෙනා අනෙකාට වඩා ඉක්මන් වූ විට අනෙකා බිය වෙයි. ඒ අනුව මිනිසා පරාජය කිරීමට නිතරම භූතයාට හැකිවී ඇත. ඒ අනුව භූතයාට වඩා මිනිසා බලවත් බව ඔහු දන්නා බැවිනි. අවසානයේදී ඔහු බියට පත් කළ මිනිසා බේරාගනු ලබන්නේද මිනිසකු විසිනි. එයින් පෙනී යන්නේ තවමත් බොහෝ මිනිසුන් තමා කවරේ දැයි හරි හැටි නොදැන සිටින බවයි. ඒ අනුව “යකා ගැහුවා” “භූතයා වැහීම”, ‘භූත කරදර” යනුවෙන් මිනිසා තමාට සිදු වන ආතුරකම්වලට ඇසට නොපෙනෙන භූතයන් හා යකුන් ඇඳා ගනු ලබයි. එය බොහෝ විට ගමේ නැකත්කරුවා විසින් නවග්‍රහ බලපෑමට අනුව සිදුවන අපල උපද්‍රව ගැන විස්තර කර දෙයි. එහිදී ග්‍රහයන්ට අධිපති දෙවිවරුන්ගේ රූප අඹා බලියාග කරයි. ශනි, රාහු මාරක අපල ගෙනෙන භයානක ග්‍රහයන් බව නැකැත් ඇඳුරන්ගේ අදහසයි. එහෙත් ඔවුන් කොතරම් අමාරුකම් මිනිසාට ඇති කළත් ඒ සඳහා කරනු ලබන තේවාව තොවිලවලදී මෙන් භයානක නොවෙයි. ඒවා සෙත් කවි මඟින්, නූලක් මතුරා බැඳීමෙන්, දෙහි අත්ත මැතිරීමෙන් දෙහිකැපීමෙන් හා බෝධි පූජාවන් වශයෙන් මඟ හරවා ගනු ලබයි.

මිනිසා විසින් ග්‍රහ ආරක්ෂාව හා අපල උපද්‍රව දුරු කරවා ගැනීම උදෙසා යාතු කර්ම, ශාන්තිකර්ම හා බලි යාග සිදු කර ගනු ලබයි. එය සිදු වෙන්නේ,

“උපණත් පේතව පව් කොට නො පණත්

කලකත් නොලැබෙයි සෙම් සොටු පමණක්

උගුරත් නොතෙමෙයි සුරඟන වැටුණත්

කලෙකත් පින් නොකළ කිමයි සිතුණත්.”

වීදාගම මෛත්‍රී හිමියන් ‘ලෝවැඩ සඟරාවේදී එසේ කියන්නේ එබැවිනි. මේ තත්ත්වය සමනය කර ගැනීම සඳහා අපගේ නැකත් ඇඳුරා සහ ශාන්තිකර්ම ශිල්පියා විසින් සකස් කරගත් ශාන්ති කර්ම කීපයක් දෙවියන් සතුටු කිරීම හා පිදීම වෙනුවෙන් යොදාගෙන ඇත. ගම්මඩු, දෙවොල්මඩු, පූනාමඩු, පහන්මඩු, කිරිමඩු, හෑල්ලුම් මඩු හා ගී මඩු ද මේ අතර වෙයි. මේවා අපේ රටේ විවිධ ප්‍රදේශවලදී දක්නට ලැබෙන්නේ වෙනස් වෙනස් ආකාරයටය.

නූගත් යැයි සලකණු ලබන මේ ක්‍රියාදාමයේ තිබෙන විශේෂත්වය එහි කිසියම් පිළිවෙළක් සහ විද්‍යානුකූල බවක් රැඳී තිබීමයි. ඒ අනුව මේ නූගත් ගැමියා සිය භූතාපසරණ ක්‍රමවේදය ඉතා වැදගත් සහ ක්‍රමානුකූල ක්‍රමවේදයක් මත පවත්වා ගෙන ආ බව පෙනේ. ඔවුහු පරිසරය සමඟ බද්ධ වූහ. කාලය සමඟ ගමන් ඇරඹීය. පිළිවෙළ සහ අනුපිළිවෙළ ගරු කළහ. හැම කටයුත්තකදීම පිරිසුදුකම ආරක්ෂා කළහ. ඒ සියල්ලම කරනු ලැබුයේ බුදුන් වහන්සේගේ ගුණ මුදිත කොටගෙනය. එය ඇරඹීමේදීත් ඔවුහු කිසියම් ශිල්පීය සම්මුතියක දැන හෝ නොදැන යෙදී සිටි බව පෙනේ.

ඒ අනුව ඔවුන්ගේ යාතුකර්ම මෙසේ බෙදී ගොස් ඇත. එම බෙදීම හා බැඳී ගිය ක්‍රියාවලිය තිසියම් විශ්ව සම්මුතියක සබඳතාවක් පෙන්නුම් කරන්නේ මිනිසාගේ විශ්වාස හා ඇදහීමක් ඒ අනුව සෙත් පැතීම හා ලබා දීමත් ක්‍රියාත්මක කළ ආකාරය අනුවයි.

මඩු ශාන්තිකර්ම ඔවුන් කරනු ලැබුවේ දෙවියන් උදෙසාය.

තොවිල් ශාන්ති කර්ම යක්ෂයින් හා භූතයන්ටය.

බලි ශාන්තකර්ම සිදු කළේ ග්‍රහයන් මුල් කරගත් දෙවියන්ට මේ කටයුතු දිවයිනේ විවිධ ප්‍රදේශවලදී විවිධ සම්ප්‍රදාය අනුව සිදු කරමින් පවතින්නේ කාලය සමඟ එය විවිධ වෙනස්කම්වලට මුහුණ දීමෙන් අනතුරුවය. උඩරට, පහතරට හා සබරගමු ප්‍රදේශ සමඟ විතැන් වූ සාම්ප්‍රදාය අනුව මේ ශාන්තිකර්මද සිදු වෙමින් පවතියි. එයට අමතරව, වන්නිහත්පත්තුවේ, ඌවේ හා නුවර කලාවියේ ද එම කටයුතු විතැන්ව ඇත.

වර්තමානයේදී මෙන්ම නුදුරු අතීතයේදී වදන් කියවූ මඳක් උගත් මිනිසා විසින් තමා නූතන යැයි අන්‍යයන්ට සංජානනය කරනු ලැබුයේ ආදි මිනිසාගේ ක්‍රියා හෙළා දකිමිනි. ඒවා නූගත් ජනමතයක උපන් බිය විසින් මෙහෙයවූ චින්තනයක ප්‍රාථමික මානව ක්‍රියකාරකම් ලෙස ඔවුහු නිර්වචනය කළහ. වර්තමානයේදී බොහෝ දෙනකු මිනිසාගේ නූතනත්වය මනිනු ලබන්නේ ඔහුගේ භාවිත මෙවලම් මඟිනි. ඒ අනුව අඳුන, බෙරය, බුදුගුණ යන්ත්‍ර මන්ත්‍ර සිය ආයුධ කරගත් නිහඬ සාමකාමී මිනිසා ඔවුනට නොදියුණු ආචීර්ණ කල්පිත සත්ත්වයකු විය. එහෙත් ඔහුගේ මෙවලම් මඟින් හෙළිවෙන සංස්කෘතිය ඉතා උදාර වූ ජනවංශ කතාවක ඇරඹුමකි. එසේම සංස්කෘතික මිනිසාගේ ආරම්භයයි. එසේම මහජන සබඳතාවයක පැවත්මයි. ඔහු ඒ පැවැත්මේදී ජනමත ප්‍රධානියකු වූයේ අගතියට පත් තවත් පුද්ගලයකුට මිනිස් කොට්ඨාසයකට පිහිට වීමෙනි.

එසේම එම ක්‍රියාවලිය උදෙසා ඔවුන්ට බුද්ධකාලීනව පවා සබඳතා ඇති බව “අංගුත්තර නිකාය”, එකාදස්සන නිපාතය” මෙත්තානිසංස සූත්‍රය ද , දීඝ නිකායේදී සුත්ත නිපාතයේදී එම සබඳතා දකින්නට ලැබෙයි. මේ සියල්ල තහවුරු කරන්නේ ආදි මිනිසා විසින් සිය තනිකම මතින් බිහිවූ ක්‍රියාවලිය පසුකාලීනව බුද්ධිමය සබඳතා ගැඹුරු වූ ආකල්පමය වෙනසකට මුල පිරූ බවයි.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 10 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.