ඔබේ පැනයට අපෙන් පිළිතුරු

ජනවාරි 26, 2024

 

මහරගම -ඉන්දීවරී

මම ගැබිණි මවක් මාගේ පළමු දරුවා උපදින වේලාව නිවැරදිවම ලබා ගන්නේ කෙසේද ?

ජ්‍යෝතිෂය විග්‍රහය =

දරුවකු උපදින වේලාව ලබා ගැනීම සම්බන්ධයෙන් විවිධ ජෝතිෂ්‍ය ගුරුකුල අතර විවිධ මත පවතී. ඇතමුන් පළමු හැඬීම ද දරුවා  උපන් වේලාව ලෙස සලකණු ලබයි. එහෙත් පොදුවේ බොහෝ ජ්‍යොතිෂවේදීන් පිළිගන්නා මතය නම් මව හා දරුවා අතර සම්බන්ධය විසන්ධි වන වේලාව , දරුවා උපන් වේලාව ලෙස ලබා ගත යුතු බවයි.

හෙට්ටිපොළ  - ලසන්ත කුමාර

විදේශ අධ්‍යාපනය ලබා ගැනීම සඳහා  අවශ්‍ය කටයුතු සාර්ථක කර ගැනීම වෙනුවෙන් මේ දිනවල මම වෙහෙසෙමි. මාගේ දෛවය හා මේ දිනවල ග්‍රහචාරය අනුව මට එය සාර්ථක කර ගත හැකිද ? එය සිදුවන්නේ කවර කාලයකදී ද

ඡ්‍යොතිෂය විග්‍රහය =

මේ දිනවල ඔබගේ 22 දෙර්කානාධිපතිගේ අතුරු දසාවක් ඔබ පසු කරමින් සිටී. ලබන මාර්තු මස ඔබට ඔබගේ සුබ ග්‍රහයෙකුගේ දසාවක් ලැබෙයි.  එනම් නවවැන්නාධිපතිගේ දසාව ඔබට ලබයි. මේ කාලය ඔබට වඩාත් සුබපල ලැබේ. එනම් ඔබගේ පෙර පින බලවත් වන කාලය මේ කාලය බැවිනි.  විදේශ රැකියා වාසනාවද මේ කාලය ඔබට උරුමයි. ඔබගේ කේන්ද්‍රයේ රාහුගේ පිහිටීම අනුව ද ඔබට විදේශගත රැකියා වාසනාව ඇත. 

වක්වැල්ල - රසිකා පියුමි

මාගේ කේන්ද්‍රය  අනුව මා පැලඳීය යුතු මැණික් වර්ගය කුමක්ද?

ජ්‍යෝතිෂය විග්‍රහය =

ඔබගේ කේන්ද්‍රයට අනුව ඔබට සුබ පල ගෙන දෙන  ග්‍රහයා වන්නේ ගුරු ග්‍රහයාය.  ගුරු ග්‍රහයාට අදාළ මාණික්‍යය  වන්නේ පුෂ්පරාග මැණිකයි.

කැලණිය -  තාරක

මම මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටිමි .  උසස් පෙළ විභාගයෙන් පසු වෘත්තීය අධ්‍යාපනය සඳහා යොමුවීමට මම කැමැත්තෙන් සිටිමි. මාගේ දෛවය අනුව  මා කුමන ක්ෂේත්‍රයකට යොමු වීමෙන් මා හට වැඩි වශයෙන් සුබ පල ලැබෙයිද ?

ජ්‍යෝතිෂය විග්‍රහය =

ඔබගේ කේන්ද්‍රයේ දහවැන්නාදිපති දොළොස්වැන්නේ  රාහු සමඟ සංයෝගව පැවතීම ඔබට විදේශ ගමන් වාසනාව උදා කරන්නකි. මේ තත්ත්වය තුළ ඔබ විදේශ රැකියාවකට සුදුසු වෘත්තීය අධ්‍යාපනයක් ලබා ගන්නේ නම් එය  වඩාත් සුදුසු වේ.  ඔබගේ කේන්ද්‍රයේ කුජ දහවැන්නේ තැන්පත්ව ඇත. කුජ යන්ත්‍ර සූත්‍ර නිවේදනය කරයි, කර්මාන්ත ශාලා   ද නිවේදනය කරනු ලබයි. එම නිසා කර්මාන්ත ක්ෂේත්‍රයේ රැකියාද ඔබට  සුදුසු වේ. මෙහිදී ඔබේ රුචිකත්වය ද මුල් කර ගනිමින් සුදුසු වෘත්තිය  අධ්‍යාපනයක නියැළිය යුතු අතර  ඉන් විදේශ රැකියාවකට යොමුවීමට ඇති අවකාශයද මූලිකවම විමසා බැලිය යුතුය.

කළුතර - රන්ජිත්

රූපයෙන්, අධ්‍යාපනයෙන්, හා මුදලින් අඩුපාඩු නොමැති වුවද මාගේ දියණියගේ විවාහය දිනෙන් දිනම ප්‍රමාද වේ. මෙයට හේතුව කුමක්ද කරුණාකර පැහැදිලි කර දෙන්න.

ජ්‍යෝතිෂය විග්‍රහය=

ඔබගේ දියණියගේ කේන්ද්‍රයේ බාධක ස්ථානය හත්වැන්න වන අතර බාධක ග්‍රහයා හත්වැන්නාධිපති සමග යෝගව පිහිටා ඇත. මෙය තරමක් විවාහය ප්‍රමාද කරන තත්ත්වයකි. සත්වැන්නට කාරක වන සිකුරු සමග ශනි යෝගව පැවතීමද එතරම් සුභ නැත. නමුත් මෙම තත්ත්වයන් නිසි ග්‍රහ ශාන්තිකර්ම තුළින් සමනය කර ගැනීමට නොහැකි නැත. එහිදී තමන් පළමුව පංචසීල ප්‍රතිපදාවේ වාසය කරමින් තමන්ගේ කුසල ශක්තින් වර්ධනය කර ගනිමින් පත්තිනි දේව මෑණියන්ගෙන් පිහිට අයදිය යුතුය. මේ එක් ක්‍රමයක් පමණකි.

රත්තනපිටිය -අමායා ගීතිකා

මාගේ දියණිය  මේ වසරේ සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිතව ඇත.  පෙර හොඳීන් පාඩම් කටයුතුවල නියැළුණත් දැන් ඇය දැඩි උදාසීන බවකින් කටයුතු කරයි.  මේ සඳහා අප කුමක් කළ යුතු ද?

ජ්‍යෝතිෂය විග්‍රහය =

ඔබගේ දරුවා මේ වන විට ගත කරන්නේ රාහුගේ අතුරු දශාවයි.  රාහු මේ දරුවාගේ කේන්ද්‍රයේ දුර්වලව ද ඇත. මේ නිසා රාහුගේ දශා කාලය තුළ දරුවාට එක් අරමුණක මනස රඳවා ගැනීම අපහසු කරයි. මේ කාලය තුළ බෝධිපූජා කිරීම, වැටකෙයියා මල් බෝධියට පූජා කිරීම ද යහපත් වේ.  දරුවා සමඟ ගොස් හැකි නම් බෝ මළුව සුද්ද පවිත්‍ර කරන්න. දරුවා ආතතියකින් ද පෙළෙනවා විය හැකිය. මේ සඳහා   අධ්‍යාපනය හා සම්බන්ධ දැනුමක් ඇති සුදුසු මනෝවිද්‍යා උපදේශකවරයෙකු වෙත දරුවා යොමු කරන මෙන්ද කාරුණිකව දන්වමි.

 

ශාස්ත්‍රපති, මනෝ විද්‍යා උපදේශක,

ජෝතිෂ්‍යවේදී

චසිත නුවන්තික බුලත්සිංහල

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
11 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.